ලිච්ඡවි ක්‍රමයට රට පාලනය කරන බව කියූ රනිල් මේ හදන්නේ ෆැසිස්ට් ගමනක් යන්න

  👤  2991 readers have read this article !
By mawbima 2017-01-12

ඉෂාරා සිල්වා - උදයන්ති මුණසිංහ

ලිච්ඡවි ක්‍රමයට රට පාලනය කරන බව අගමැතිවරයා ආරම්භයේදී ප්‍රකාශ කළද මේ ආණ්ඩුව යන්නට හදන මිනීමරු ෆැසිස්ට් ගමනේ ප්‍රථම පියවර මාගම්පුරයේදී පසුගියදා තැබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්ධුල ගුණවර්ධන පවසයි.

හම්බන්තොටදී සංඝයා වහන්සේට සිදු කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අගමැතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා සඟ රුවනින් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බවද හෙතෙම අවධාරණය කළේය. මන්ත්‍රිවරයා මේ අදහස් පළ කළේ ඉකුත් 10 වැනිදා පුංචි බොරැල්ල වජිරාශ්‍රමයේ පැවැති 'එකාබද්ධ විපක්ෂයේ' මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බන්ධුල ගුණවර්ධන මහතා මෙසේද කීය.

"අවුරුදු දෙකක් තුළ රටේ ආර්ථිකය දරුණු ලෙස කඩා වැටිලා. රට සම්පූර්ණයෙන්ම නැවතිලා. ආර්ථික හා මූල්‍ය අර්බුද උත්සන්න වෙලා. දැවැන්ත මර්දනකාරී භීෂණ යුගයක ආරම්භය මාගම්පුරයේදී සනිටුහන් වුණා. යහපාලන ආණ්ඩුව ඇවිත් අවුරුදු දෙකක් පමණයි ගත වුණේ. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ආරම්භ කළ සංවර්ධනය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා. මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථිකය තමන්ගේ අතට අරගෙන තියෙනවා. ඔහු ඒකාධිපතියෙක් වෙලා. තමන්ගේ ගජ මිතුරන්ට වාසි වෙන්න වැඩ කරනවා.

මාගම්පුරයේදී පොලිස්පති සම්පූර්ණයෙන්ම ක්‍රියා කළේ අගමැතිගේ කීමට බව හොඳින්ම පැහැදිලි වෙනවා. එදා පොලිස්පති නියෝග කළේ 'ඕකුන්ගේ සිවුරු ගලවලා ගහපියව්' කියලා. එය ඉතාම නින්දිත ප්‍රකාශයක්. රනිල් පසුගිය කාලයේ සංවර්ධන විශේෂ විධිවිධාන පනත ගෙනැල්ලා සුපිරි ඇමැතිවරයෙක් හදන්න හැදුවා. අපරාධ යුක්ති කොමිෂන් සභාවක් ඇති කරලා දේශපාලන විරුද්ධවාදීන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ වැඩපිළිවෙළක් ගෙන එන්න කටයුතු කළා. ජේ. ආර්. ජයවර්ධනගේ පාලන කාලයේදීත් අධිකරණ පද්ධතියට පිටින් අධිකරණයක් හදලා සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න කටයුතු කළා.

ඒ ආකාරයට දැන් යහපාලන ආණ්ඩුවත් මහින්ද රාජපක්ෂට සහ ගෝඨාභය රාජපක්ෂට ඡන්දෙ ඉල්ලන්න බැරි වෙන විදියේ වැඩපිළිවෙළක් තමයි ගේන්න හදන්නේ.

වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවේ ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 26 යි. කටුනායක ගුවන් තොටුපොළ අලුත්වැඩියා කරන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 48ක් වෙන් කරලා තියෙනවා. ඒකෙන්ම පේනවා ආණ්ඩුව සොච්චම් මුදලක ආයෝජනයක් ගෙනැල්ලා වොක්ස්වැගන් ආයතනයේ නම විකුණලා ප්‍රෝඩාවක් කළ බව. පසුගිය අවුරුදු දෙක තුළදී මෙන්ම දැනුත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන්නේ ඔහුගේ ඒකමතික තීන්දු තීරණ අනුවයි. අගමැති හම්බන්තොටින් අක්කර 15,000ක් චීනයට පවරා දෙන්න සූදානම් වනවිට ජනාධිපතිවරයා කියනවා හම්බන්තොට ජනතාව අකැමැති නම් ඒ කර්මාන්තශාලා පොළොන්නරුවේ හදන්න ඉඩ දෙන්නම් කියලා.

එයින්ම පේනවා ජනාධිපතිවරයා හසුවී තියෙන්නෙ මොන වගේ උගුලකටද කියලා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වෙලා හිටපු කාලයේ කිසිම දවසක අගමැති දි. මු. ජයරත්න මහතාගෙන් ඉල්ලන්න ගියේ නැහැ අනේ මටත් ටිකක් දෙන්න කියලා. එයින්ම පේනවා ජාතික ප්‍රශ්නයකට මැදිහත් වෙලා එය විසඳන්න ජනාධිපතිවරයාට නොහැකි වී තිබෙන බව. දැන් ජනතාවගෙ ආදායම අඩුවෙලා. ඉතිරි කිරීම නැතිවෙලා. විරැකියාව වැඩිවෙලා. රුපියල බාල්දු වෙලා. පිටරටින් ගිනි පොලියට ණය ගත්තා. දැන් රටේ ආර්ථිකය කඩාගෙන වැටිල ඉවරයි.

මහින්ද රාජපක්ෂ යුගය තමයි මේ රටේ ස්වර්ණමය යුගය වුණේ. ඒ ස්වර්ණමය යුගය කඩාගෙන වැටුණෙ යහපාලන ආණ්ඩුව ප්‍රමුඛ අගමැති නිසා කියල මම කියනවා.
එහිදී අදහස් දැක්වූ මහාචාර්ය ජී. එල්. පීරිස්.

පොලිසියට විරුද්ධව ඉතාමත් ශක්තිමත් නීතිමය ක්‍රියාමාර්ගයකට අපි යොමු වෙනවා. සත්‍යග්‍රහයට පහර දුන් කිසිවකුට විරුද්ධව පොලිසිය නීතිය ක්‍රියාත්මක කර නැහැ. ඉතාම පක්ෂග්‍රාහීව තමයි පොලිසිය ක්‍රියා කළේ.

මේ රටේ නීතියක් තියෙනවා. පූජිත් ජයසුන්දරට හිතෙන හිතෙන විදියට අගමැතිවරයාගේ හිත දිනාගන්න කරන්න පුළුවන් දේවල්වල සීමාවක් තියෙනවා. එතුමාට අවශ්‍ය විදියට මේ රටේ නීතිය නවන්න පුළුවන්කමක් නැහැ. ඔහු සම්පූර්ණයෙන්ම එයට වගකියන්න ඕනේ.

පොලිසියේ කීර්තිනාමය නැතිවන ආකාරයේ දේවල් තමයි එතුමා සිදු කරලා තියෙන්නේ. පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉල්ලා අස්වෙලා තියෙනවා. ජාතික පොලිස් කොමිසමෙන් සත පහක වැඩක් තියෙනවාද මේ වගේ පොලිස්පතිවරයෙක්ට නිදැල්ලේ හැසිරෙන්න දෙනවා නම්.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්