එක කම්හලක් හෝ විවෘත නොකළ මහින්ද එදා ප්‍රේමදාස විවෘත කළ කම්හල් 150ක් වැහුවා

  👤  3137 readers have read this article !
By mawbima 2017-01-12

මහනුවර - කමල් සුරවීර

ජනතාවට පොරොන්දු වූ අයුරින් තම පාලන කාලය තුළ එකදු කර්මාන්ත ශාලාවක් හෝ විවෘත කර ගැනීමට නොහැකි වූ මහින්ද රාජපක්‍ෂ කළ එකම දේ හිටපු ජනපති ආර්. ප්‍රේමදාස මහතා බිහිකළ කර්මාන්ත ශාලා 300ක් අතරින් 150ක්ම වසා දැමීම බවත් හම්බන්තොට කර්මාන්ත කලාපයට අකුල් හෙළීමෙන් ඒකාබද්ධ විපක්ෂය රටට ප්‍රදර්ශනය කරන්නේ ඔවුන් සතු දේශපාලන කුහකකම බවත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

හම්බන්තොට කර්මාන්ත ව්‍යාපෘතිය යටතේ චීනයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.1ක මුදලක් හිමිවන බවත් පසුගිය ආණ්ඩුවේ අවිධිමත් මුදල් කළමනාකරණය හේතුවෙන් රට පත්ව තිබෙන අගාධයෙන් ගොඩ ගැනීමට මෙවැනි මහ පරිමාණ ආයෝජන රට තුළ ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවත් ඒ මහතා කීය.

මහනුවර මහවැලි රීච් හෝටලයේ පැවැති උත්සවයකින් අනතුරුව ඇමැතිවරයා මේ අදහස් පළ කළේය.

වරාය බදු දීම යටතේ මෙවැනි මුදලක් විදේශීය රටකින් ශ්‍රී ලංකාවට නොලැබුණේ නම් එම මුදල බදු වශයෙන් ජනතාවගෙන් උපයා ගැනීම පිණිස වැට් වැනි බදු හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි කිරීමට සිදුවන බව කී ඇමැතිවරයා රජය ජනතාව මත බරක් නොපටවා මෙවැනි ආයෝජන ව්‍යාපෘති දියත් කරන විට ඊට විරෝධය දක්වමින් ඒකාබද්ධ විපක්‍ෂය කියන්නේ චීනයෙන් මුදල් නොගෙන ජනතාව මත බදු පැටවීමටදැයි ප්‍රශ්න කළේය.

වසර 2015දී මැතිවරණ දෙකක් පරාජය වූ බව මහින්ද හා ඔහු බලයට ගෙන ඒමට සිහින දකින අය පිළිගත යුතු බවත් තමන්ට කළ නොහැකි වූ දේ වත්මන් රජය කරන විට ඔවුන්ට එය දරා ගැනීමට නොහැකි වී තිබෙන බවත් කිරිඇල්ල මහතා පැවැසුවේය.

මහින්ද රාජපක්‍ෂ පාලන කාලය තුළ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම එක් කර්මාන්ත ශාලාවක් ඇති කර රැකියා පන්සියයක් බිහිකරන බව ප්‍රකාශ කළත් ඔවුන්ට එකදු හෝ කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමට නොහැකි වූ බවත් මහනුවර පමණක් මහින්ද ජනපති සමයේ කර්මාන්ත ශාලා 24ක් වැසී ගිය බවත් හෙතෙම කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon