ආණ්ඩු විරෝධීන් කුමන දේ් කිව්වත් රටේ ආර්ථිකය කඩා වැටෙන්නේ නැහැ

  👤  2442 readers have read this article !
By mawbima 2017-04-21

ආණ්ඩුවට විරුද්ධව කුමන විවේචන කළත් ඉදිරි කාලය තුළ රට බරපතළ ආර්ථික කඩා වැටීමකට නොයන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රටට සහතික වෙයි.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මාධ්‍ය ප්‍රධානීන් සමඟ ජනාධිපති මන්දිරයෙ පැවැති විශේෂ සාකච්ඡාවකදීය. ජනාධිපතිවරයා එහිදී මෙසේද කීය.
පසුගිය කාලය තුළ ආර්ථික විශ්ලේෂකයන් හා විශේෂඥයන් ඇතුළු රටේ විවිධ ක්ෂේත්‍රවල වියතුන් සමඟ කළ සාකච්ඡාවලින් පසුව ගත් තීන්දු තීරණවලට අනුව රටට යහපත් හොඳ ප්‍රතිඵල ගෙනදෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බවට තමා රටට සුබ පණිවුඩයක් දෙන බව කී ජනාධිපතිවරයා රටේ පවතින මූල්‍ය තත්ත්වයන් හා තේ, රබර් හා පොල් නිෂ්පාදයෙන් ලබන ආදායම් වැඩිවී තිබීම ගැනත් වඩාත් දීර්ඝ විස්තරයක් කළේය.

විදේශ වත්කම් ඩොලර් බිලියන පහක වාර්තාගත සංචිතයක් තිබෙන බවත්, පසුගිය දිනවලදී පැවැති සාකච්ඡාවලට අනුව ඉදිරි මාස කීපය තුළදී සියලු චෝදනාවලට පිළිතුරු ලබාදෙමින් මේ වසරේ සිට ශක්තිමත් ආර්ථික ගමනක් ක්‍රියාත්මක කිරීමට සියල්ල සූදානම් බවටත් ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.
තේවල මිල මෙන්ම රබර් මිලද ඉහළ ගොස් ඇතත්, මාධ්‍ය ඒවායේ මිල පහත වැටෙන විට දැඩි ලෙස කරුණු උලුප්පා දැක්වුවත්, මිල වැඩිවීම ගැන කිසිවක් සඳහන් නොකරන බවට ජනාධිපතිවරයා නෝක්කාඩුවක්ද කළේය.

පොල් පාරිභෝගිකයාට යම් ආකාරයක මුදල් වැඩිවීමකට මුහුණ පාන්නට සිදුව ඇතත් පොල් නිෂ්පාදකයන්ට වාසියක් ලැබී තිබෙන බවද ජනාධිපතිවරයා කීවේය.
හැමදාමත් වී නිෂ්පාදකයා මිල පහළ වැටීම්වලින් බැට කන නමුත් අද වී සඳහා හොඳ මිලක් ලැබෙන බව කී ජනාධිපතිවරයා අද මෝල් හිමියන් තෙත වී පවා කුඹුරටම ගොස් කිලෝව රුපියල් 40ට මිලදී ගන්නා බවත් එසේ වුවත් පාරිභෝගිකයා සහල් සහ පොල් මිල සම්බන්ධයෙන් බලපෑමට ලක්ව තිබෙන බවත් සහල් මිල වැඩිවීම වළක්වා ගැනීමට හාල් ආනයනය කර ජනතාවට සහනයක් ලබා දුන් බවත් කීය.

ඔෟෂධ මිල අඩුවීම ගැන සඳහන් කළ ජනාධිපතිවරයා, කිසිම ආණ්ඩුවක් ඒ සඳහා අත නොගැසූ බවත් මේ ප්‍රශ්නයේදී සෞඛ්‍ය අමාත්‍යවරයා මැදිහත්ව ක්‍රියාකළ ආකාරය ගැන එතුමාට ස්තූතිය පළ කරනා බවත්, එසේ හෘද රෝගීන්ට අවශ්‍ය කරන ස්ටෙන්ට් සහ අක්ෂි කාච අඩු මිලකට ලබා දීමට කටයුතු කර තිබෙන අතර එහි වාසිය සලසා තිබෙන්නේ දුප්පත් අහිංසක පොදු ජනතාවට බවද කීය.

පසුගිය අවුරුදුවල ලංගම සේවකයන්ට ඊ.පී.එෆ් හා ඊ.ටී.එෆ්. රුපියල් බිලියන 12ක් ගෙවීමට තිබුණු අතර ඒ මුදල් නොගෙවීම නිසා ලංගම සභාපතිවරුන්ට හා අධ්‍යක්ෂවරුන්ට අධිකරණයට යන්නට පවා සිදුව තිබූ බවත්, වර්තමාන ආණ්ඩුව පසුගිය වසර දෙකක කාලය තුළ එම මුදල් බිලියන 6ක් මේ වන විට ගෙවා තිබෙන බවත් එසේම දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් පසුගිය කාලය තුළ කොල්ලකෑමක් සිදු වූ බවත් දැන් ඒ සියල්ල නිරවුල් කර මුදල් අමාත්‍යාංශය යටතේ එකී ආයතනයට පැවරීමට කටයුතු කර තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

කටුනායක ගුවන්තොටුපොළ ගුවන් පථය නවීකරණය කිරීම ගැන නොයෙකුත් දේ පැවසුවත් පළමුවරට ඉදිරි දින කීපය තුළ එම ගුවන් පථයට 380 ගුවන්යානයක් බස්සන බවද ජනාධිපති කීවේය.

කටුනායක ගුවන් තොටුපොළේ තීරුබදුවලින් නිදහස් වෙළෙඳසල් පසුගිය වකවානුවල බදු දී තිබුණේ මැති ඇමැතිවරුන්ගේ හිතවතුන්ට බවත් එවැනි කටයුතුවලදී මන්ත්‍රිවරුන්ටත් වඩා තැන ලැබුණේ ඇමැතිවරුන්ගේ හිතවතුන්ට බවත් ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කර, තීරුබදුවලින් නිදහස් වෙළෙඳසල් විවෘත ටෙන්ඩර් ක්‍රමය යටතේ බදුදීම නිසා සියයට 24ක්ව තිබූ රජයට ලැබෙන ආදායම සියයට 40 දක්වා වැඩිවී තිබෙන බවද පරාක්‍රම සමුද්‍රයට වඩා 6 ගුණයක් විශාල මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරයේ දැන් ජලය පිරවීම් සිදුකර තිබෙන බවද ඒ යටතේ වැව් 600ක් අලුත්වැඩියා කර හා අලුතින්ම සකස් කර ගොවීයන්ට වතුර ලබාදීමට පියවර ගෙන තිබෙන බවද ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් මිලියන 600ක් ලැබී තිබෙන බවද ජනපතිවරයා පැවසීය.

විදේශ ආයෝජකයන් මෙරට ආයෝජනය නොකරන බවට විපක්ෂය චෝදනා එල්ල කළත්, මේ රජය යටතේ එවැනි ගිවිසුම් අස්සන් කර ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නට සැලසුම් කර තිබෙන බවත්, විපක්ෂය කියන අන්දමට මේ රජය කිසිම කෙනකුට රටේ ඉඩම් හෝ දේපොළ කිසිවකුට දී නැති බවත්, රටට හිතකර විදියට මිස රටවල්වලට කිසිම දේපළක් විකිණීමේ කිසිවක් මේ රජය නොකරන බවත්, රටේ පාවාදීම් තිබුණේ පෝට්සිටි ව්‍යාපෘතිය යටතේ බවත් මේ රටේ කිසිම පාලකයකු නොකළ අන්දමට ඉඩම් හෙක්ටයාර් 200ක් චීනයට සින්නක්කර දී තිබුණත් අපි ඒ තීන්දු වෙනස්කර බදු ක්‍රමයට ගිවිසුම් වෙනස් කළ බවත් පැවසූ ජනාධිපතිවරයා කලින් පැවැති අන්දමට ඒ ඉඩම් භුක්තිය දුන්නා නම් ජනාධිපති මන්දිරයේ සිට කුඩා හෙලිකොප්ටරයට යන්නත් චීනයෙන් අවසර ගන්නට තිබුණු බවත් ඒ ගිවිසුම මේ ආණ්ඩුව වෙනස් කළ බවත් කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon