මහ වැස්සට තට්ටු පහක් කළ හදියක්

  👤  2868 readers have read this article !
By mawbima 2017-05-21

පසුගිය බ්‍රහස්පතින්දා (18දා) දහවල් කොළඹට අනෝරා වැස්සක් ඇදහැලුණේය. කොළඹ පාරවල් යටවිය. වෙසක් සතිය නිමා වුවත් තවමත් ගලවා නොතිබුණු තොරණ මහා සුළඟට කඩා හැලුණේය ඒ ‍ෙදාඹ සූරන වැස්ස වැල්ලවත්තේදී මහා ව්‍යසනයක් කළේය. ඒ වැල්ලවත්ත සැවෝයි සිනමාහල අසල පිහිටි එක්සලන්සි නමැති සත්මහල් උත්සව ශාලාව බිඳ දමා බිමට සමතලා කිරීමෙනි. ඒ වනවිටත් එම ගොඩනැඟිල්ලේ වැඩ සම්පූර්ණයෙන් නිමා කර තිබුණේ නැත. මුල් තට්ටු පහක් ඉදිකර තිබිණි. උඩ තට්ටු දෙක පැවතුණේ ඉදිකිරීම් මට්ටමේය. බිම් මහල වාහන නවතා තැබීම සඳහා කුලියට ලබාදී තිබිණි. සැවෝයි සිනමා ශාලාවේ වාහන මෙන්ම අසල වූ ශාන්ත පීතර විදුහලට පැමිණෙන වාහන නවතා තැබුවේ ගොඩනැඟිල්ල බිම් මහලේ වූ වාහන නැවතුමේය.

ගොඩනැඟිල්ල කඩාගෙන වැටුණේ බ්‍රහස්පතින්දා පෙරවරු 11ට පමණය. මහා වරුසාව අඛණ්ඩව ඇදහැලුණේය. මිනිස්සු පිරිසක් සුන්බුන් අතර සිරවූහ. ලොරි රථයක් හා වෑන් රථයක් මුළුමනින්ම විනාශ වී ගියේය. ඒ වැසි මධ්‍යයේ එදින සවස් වනතුරුත් පොලිසිය, හමුදාව හා ගුවන් හමුදාව එක්ව සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයන් මුදාගැනීමේ දැවැන්ත මෙහෙයුමක නිරත වූහ.

මේ මෙහෙයුම සඳහා යුද හමුදා භටයෝ 110ක් එක්වූහ. ගුවන් හමුදා නිලධාරීහු 33ක් එක්වූහ. ඊට අමතරව පොලිසියේ හා ගිනි නිවන හමුදාවේ නිලධාරීහු පිරිසක් මෙහෙයුමට එක්වී සිටියහ.

මේ වනවිට තුවාලකරුවෝ 27 දෙනෙකි. ඉන් නව දෙනෙක් ජාතික රෝහලේය. ඉතිරි 18 දෙනා කළුබෝවිල රෝහලේය. සුන්බුන් අතර සිරවී සිටියදී ඉතා අපහසුවෙන් මුදාගත් තරුණයකු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත්විය.

තුවාලකරුවන් අතර සිටි වැඩිදෙනෙක් එක්සලන්සි ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් සේවකයෝය. තව පිරිසක් එම උත්සව ශාලාවේ සේවයේ නියුතු සේවකයෝය. වාසනාවට උත්සව ශාලාවේ ඒ මොහොතේ උත්සවයක් තිබුණේ නැත. මෙහි මංගල උත්සවයක් යොදාගෙන තිබුණේ ඊට පසුදින වූ සිකුරාදාය.

ගොඩනැඟිල්ලේ හිමිකරුවන් මේ වනවිට ලංකාවේ නැත. ඔවුන් ඉන්නේ විදේශගතවය. දැන් අවට පිටේ හැමෝම කියන්නේ ගොඩනැඟිල්ල ඉදිකිරීමේ කිසිම ප්‍රමිතියක් තිබුණේ නැතැයි කියාය. ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා සැලසුම් අනුමත කරවාගෙන ඇත්තේ වර්ෂ 1980 දී බව කියැවිණි. ගොඩනැඟිල්ල කඩා වැටීමෙන් පසු එම ස්ථානයට ගිය ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සහ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ඉන්ජිනේරුවරියන් කීවේ ගොඩනැඟිල්ල නිසි ප්‍රමිතියකට හා සැලසුමකට ඉදිවී නැති බවය. අනුමත සැලසුමට පිටින් අලුතින් ගොඩනැඟිල්ලට එක් කළ කොටස් සඳහා කොළඹ නගර සභාවෙන් අවසර ගෙන නැති බව ඔවුහු පැවසූහ. ගොඩනැඟිල්ල කඩාවැටීමට හේතුව සොයා බැලීම සඳහා මේ වනවිට විෂය භාර අමාත්‍යවරයා විසින් විශේෂ කමිටුවක් පත්කිරීමට නියෝග කර ඇතැයි වාර්තා වන්නේය. මේ වනවිට මේ ගොඩනැඟිල්ල අවට අවදානම් කලාපයක් සේ සලකා තහනම් ප්‍රදේශයක් බව ප්‍රකාශයට පත් කර ඇත.

දැන් මොනවා කළත් පලක් නැත. ඛේදවාචකය සිදුවී හමාරය. අසරණ තරුණයෙකු ජීවිතයෙන් සමුගෙන අවසානය. තවත් මෙවැනි අටමගල් කීයක් තට්ටු පිට තට්ටු යවා කොළඹ අවට අටවා ඇත්දැයි කිසිවෙක් දන්නේ නැත. ඒ සම්බන්ධ නියාමනයක්ද නැත. එබැවින් මේ ඛේදවාචකය අපට බොහෝ දේ කියන්නේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්