පාර්ලිමේන්තුවේ ඩීල් විපක්ෂයයි හීලෑ විපක්ෂයයි ආණ්ඩුවට රිදෙන දේවල් එළියට දාන්නේ නෑ

  👤  2873 readers have read this article !
By mawbima 2017-05-21

විනිමය පාලන සංශෝධන පනතට ඒකාබද්ධ විපක්‍ෂය පමණක් විරුද්ධත්වය පළ කරන්නේ ඇයි?

ඒකාබද්ධ විපක්‍ෂය පමණක් නොව විනිමය පාලනය පිළිබඳ තාක්‍ෂණික දැනුමක් තිබෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ උසස් නිලධාරීන් ඇතුළු විදේශ විනිමය හොරකම, වංචාව, දූෂණයට විරුද්ධ බොහෝ දෙනෙක් මේ පනතට විරුද්ධයි. එහෙත් පාර්ලිමේන්තුව තුළ සිටින හීලෑ විපක්‍ෂයත්, ඩීල් විපක්‍ෂයත් එක්සත් ජාතික පක්‍ෂයට බරපතළ ලෙස රිදෙන කාරණාවක් එළියට ගන්නේ නැහැ. ඔවුන් සරල උද්ඝෝෂණවල යෙදිලා වක්‍රාකරයෙන් ආණ්ඩුවට සහාය දීමක් කරන්නේ. ඒකාබද්ධ විපක්‍ෂයට පෞද්ගලික න්‍යාය පත්‍රයක් නැහැ. අපිට වැදගත් ජාතික ආර්ථිකයේත් ජාතික ආරක්‍ෂාවේත් යහපතට හේතු වන දේට පක්‍ෂ වීම හා එසේ නොවන ඒවාට විරුද්ධ වීමයි.

මෙම සංශෝධන පනත ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් කියලා ඔබ සිතනවාද?

අවශ්‍යයෙන්ම ඔව්. මේ පනත ගෙන ඒමේ සැඟවුණු අර්ථය තමයි එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව විසින් අයථා ලෙස උපයාගෙන එතෙර රඳවාගෙන තිබෙන මුදල් මහ බැංකුවේ පාලනයෙන් තොරව රට ඇතුළට ගෙන්වාගෙන ඩයස්පෝරාවේ ආයෝජකයන්ට රටේ ආර්ථික මර්මස්ථාන අයිති කර ගැනීමට ඉඩ හැරීම.

මේ පනතේ කොතැනකවත් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව කියලා සඳහන් වෙන්නේ නැහැ නේද?

ඔව්. එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව කියලා සඳහන් වෙන්නේ නැහැ. නමුත් මුදල් අමාත්‍ය රවි කරුණානායක පැහැදිලිව ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා ප්‍රකාශයට පත් කළා විදේශවල රඳවාගෙන තියෙන ඩොලර් නීත්‍යනුකූල ලෙස උපයා ගත්තත් අයථා ලෙස උපයා ගත්තත් ලංකාවට අරන් එනවා නම්, ලංකාවේ ඩොලර් ආයෝජනයට අකැමැති අය තමයි මේ පනතට විරුද්ධ වෙන්නේ කියලා. රවි කරුණානායකගේ ප්‍රකාශය හරියට ගැළපෙනවා. ජනවාරි 08 ආණ්ඩු වෙනස් වීමෙන් පසු ඒ සඳහා දර දිය ඇද්ද සුප්‍රසිද්ධ විදේශිකයකු වූ එරික් සෝල්හයිම් මහතා හින්දු පුවත්පතට ලබා දී තිබූ සම්මුඛ සාක්ච්ඡාවකදී එහිදී ඔහු පැහැදිලිව ප්‍රකාශ කළා ශ්‍රී ලංකාවට සිටින හොඳම ආයෝජකයා චීනය නොවෙයි, හො½දම ආයෝජකයා එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව කියා. මොකද ඔවුන් සතුව විශාල මුදල් ප්‍රමාණයක් තිබෙනවා. ව්‍යාපාරික ඥානය තිබෙනවා. කළමනාකරණ හැකියාව තිබෙනවා. ඔවුන් එතෙර සිටියත් ඔවුන් ශ්‍රී ලාංකිකයෝ. ඒ නිසා ඔවුන්ගේ මුදල් ලංකාවේ වැඩි වැඩියෙන් ආයෝජනය කිරීමෙන් ලංකාවට ශීඝ්‍ර සංවර්ධනයක් ළඟා කරගත හැකි බව ඔහුගේ මතයයි. එරික් සෝල්හයිම්ගේ මතය අගමැති රනිල් වික්‍රමසිංහගේ සහ මුදල් ඇමැති රවි කරුණානායකගේ මතයන් හා ක්‍රියාමාර්ග හරියටම ගැළපෙනවා. ඒ නිසා මේ පනතින් බලාපොරොත්තු වන්නේ දැනට පවතින ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය පාලන දෙපාර්තමේන්තුවේ විනිමය පාලකගේ අවසරයෙන් තොරව නිදහසේ විදේශ විනිමය ගනුදෙනු කිරීමට ඉඩ ප්‍රස්තාව ලබා දීම.

විදේශ විනිමය ලිහිල්කරණයට පක්‍ෂව බොහෝ ආර්ථික විද්‍යාඥයන් මත පළකරනවා නේද?

ඔව්. ඒ ආර්ථික විද්‍යාඥයන් බොහෝ දෙනෙක් බටහිර අනුකරණවාදී මානසිකත්වයෙන් යුත් ඇමෙරිකා එක්සත් ජනපදය, සිංගප්පූරුව වැනි රටවල විනිමය ගනුදෙනු පරමාදර්ශ ලෙස සිතන අයයි. අපි ආසියාතික රටවල් ලෙස එලෙසින් සිතීම වැරැදියි. මක්නිසාද යත් මෙලෙසින් විදේශ විනිමය නීති ලිහිල්කරණය කරලා අපිට වඩා දියුණු රටවල් වූ තායිලන්තය හා මැලේසියාවේ ආර්ථිකය බින්දුවටම කඩාගෙන වැටුණා. සෝරෝස් සහ වෙනත් විදේශීය විනිමය ජාවාරම්කරුවන් තොග වශයෙන් එම රටට පැමිණිලා කෙටි කාලීන ආයෝජන කරලා වැඩි ප්‍රතිලාභයක් තමන්ගේ රටවලට ගෙන යන අවස්ථාවේදී ඒ ආයෝජන ආපසු ඇදගෙන ගියා. ඒ රටවල මුදලේ අගය බින්දුවටම කඩාගෙන වැටුණා. මට මතකයි තායිලන්තයේ එම අර්බුදය අවස්ථාවේදී තායිලන්තයේ පන්සල්වල හාමුදුරුවරු පන්සල්වල තියෙන රත්රන් ඔක්කෝම ආණ්ඩුවට දුන්නා. ඩොලර් රට ඇතුළට ගෙන්වා ගන්න හෝටල් කාමරයක් සම්පූර්ණ කෑම බීම ඇතිව ඩොලර් 100ට විකුණුවා.

තායිලන්තයේ-මැලේසියාවේ වැනි අවදානම් ලංකාවේත් ඇති වෙයි කියලා ඔබ හිතනවාද?

ඔව්. විශේෂයෙන්ම මේ රජය පැමිණිලා වර්ෂ දෙකක කාල පරිඡේදය තුළ විදේශ විනිමය වෙළෙඳපොළ සම්බන්ධයෙන් මකා දැමිය නොහැකි කළු පැල්ලමක් තිබෙනවා. 2015 පෙබරවාරි මාසයේ 27 වැනි දින මහ දවල් මහ බැංකුවේ ඇතිවෙච්ච මහා මුදල් මංකොල්ලය මුළු ලෝකයම දන්නවා. එයින් පසු ලංකාවේ ණය පොලී අනුපාත කරටි කඩලා යන විදියට ඉහළ ගිහින් තිබෙනවා. විදේශීය ආයෝජකයෝ ශ්‍රී ලංකාවේ සුරැකුම්පත්වල ආයෝජනය කර තිබූ මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් ආපසු ගෙනිහින් තිබෙනවා. ජාත්‍යන්තර සංචිතය බිලියන 8.2 සිට 2017 වසරේ මුල වන විට බිලියන 5ට අඩු වුණා. 2014දී ඩොලරයකට ගෙව්වේ රුපියල් 131යි. අද ඩොලරයකට රුපියල් 154ක් ගෙවනවා. රුපියල මස්ත බාල්දු වෙලා තියෙනවා.

රුපියලේ අගය පහළ යෑම ලංකාවේ නිර්යාතකරුවන්ට වාසිදායකයි, තේ, රබර්, පොල්වලට එහෙම වැඩි මිලක් ලැබෙනවා කියලා ආණ්ඩුව පැත්තෙන් තර්කයක් තියෙනවා නේද?

එය නොගැඹුරු නොමේරු තර්කයක්. රුපියල බාල්දු වන විට අපේ අපනයනකරුවන්ට ලැබෙන රුපියල් ප්‍රමාණය වැඩිවෙන බව ඇත්ත. නමුත් ඊට වඩා වැඩි වේගයකින් පිටරටින් ගෙන්වන භාණ්ඩ සඳහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය වැඩිවෙනවා. සීනි, පරිප්පු, කඩල, සහල්, කිරිපිටි වැනි පරිභෝජන භාණ්ඩ ගත්තත් පොහොර, තිරිඟු, රසායනික ද්‍රව්‍ය වැනි අතරමැදි භාණ්ඩ ගත්තත් යන්ත්‍රසූත්‍ර මෝටර් වාහන වැනි ප්‍රාග්ධන භාණ්ඩ ගත්තත් ඒවා වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය විශාල ලෙස වැඩිවෙනවා. එම නිසා වෙළෙඳ හිඟය පුළුල් වෙනවා. පිට පිට වර්ෂ දෙකක් 2015 සහ 2016 වර්ෂවල ගෙවුම් ශේෂය සමස්ත ශේෂය අවාසිදායක වෙලා තිබෙනවා. මේ අයට නොතේරෙන මහා විපත තමයි රුපියල බාල්දු වීමත් සමඟ රටේ ණය බර අහස උසට ඉහළ යනවා. රුපියල බාල්දු වීම නිසා 2015 වසරේදී රටේ ණය බර රුපියල් බිලියන 285කිනුත්, 2016දී ණය බර රුපියල් බිලියන 187කිනුත් වැඩිවෙලා. රුපියල බාල්දු වීම නිසා පමණක් යහපාලනය යටතේ රටේ ණය බර බිලියන 472කින් වාඩිවෙලා තිබෙනවා. මේ බිලියන හා ආර්ථික විද්‍යාත්මක සංඛ්‍යා පිළිබඳ වාර්තා අබමල් රේණුවකවත් අවබෝධයක් නොමැති දේශපාලන බාලයන්ට මේ ඇතිවුණු බිලියන 472 විශාලත්වය තේරෙන්නේ නැහැ. රවි කරුණානායක පාර්ලිමේන්තුවට අච්චු ගහලා දීලා තියෙන වාර්තාවට අනුව හම්බන්තොට වරායට, මත්තල ගුවන්තොටුපොළට, ශ්‍රී ලංකන් ගුවන් සේවයට, මිහින් ලංකා සමාගමට, නෙලුම් කුලුනට, අකුරෙගොඩ ආරක්‍ෂක මූලස්ථානයට, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාවට, සූරියවැව තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථානයට යන මහා පරිමාණ ව්‍යාපෘති 08ට ණය ඇතුළු රාජ්‍ය අයෝජනය රුපියල් බිලියන 301යි. ඒ බිලියන 301 වත්කම රට ඇතුළේ ඉතුරු වෙලා තිබෙනවා. නමුත් අවුරුදු දෙකට රුපියල බාල්දු වීම නිසා ජාතියේ ණය බර බිලියන 472කින් වැඩිවෙලා තියෙනවා. ඒ අනුව අර ව්‍යාපෘති 08ට වඩා බිලියන 171ක් වැඩිපුර විනාශ කරලා තියෙනවා යහපාලන ආණ්ඩුව. ඒ බිලියන 171 තිබුණා නම් හම්බන්තොට වරාය වගේ තවත් වරායක් හදන්න තිබුණා.

විනිමය පාලන සංශෝධන පනතේ ප්‍රධාන අහිතකර ප්‍රතිඵල ලෙස ඔබ දකින්නේ මොනවගේ කරුණුද?

පළමු කරුණ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට තියෙන බලතල දේශපාලනීකරණය වීම. විනිමය පාලන දෙපාර්තමේන්තුව අහෝසි වෙනවා. විනිමය පාලක දේශපාලනඥයන්ගේ පදයට නැටවෙන රූකඩයක් බවට පත්වෙනවා. අගමැතිවරයාට වාණිජ බැංකු හා පරිසීමිත වෙළෙඳුන් හැරුණු විට තමන්ට හිතෙන අයකුට බලයලත් විනිමය වෙළෙන්දෙක් ලෙස කටයුතු කරන්න අවසර දෙන්න පුළුවන්. අයථා විදේශ විනිමය ජාවාරම්කරුවන්ට තම ජාවාරම් මහා පරිමාණයෙන් කරගෙන යෑමට හොඳ උත්තේජකයක් ලැබෙනවා. මුදල් විශුද්ධිකරණයට අවස්ථාවක් ලැබෙනවා. ජාත්‍යන්තර කළු සල්ලි සුදු කරන ලොන්ඩ්‍රියක් බවට ශ්‍රී ලංකාව පත් වුණොත් රටේ ප්‍රතිරූපය කෙලෙසෙනවා. අතීතයේ විදේශ විනිමය වංචාකරුන්ට පවා මේ නව පනත යටතේ නිදහස් වීමට සූක්ෂ්ම වැඩපිළිවෙළවල් යොදලා තිබෙනවා.

මේ පනත සම්බන්ධයෙන් ඔබතුමා ශේ‍ර්ෂ්ඨාධිකරණයට පෙත්සමක් රැගෙන ගියා නේද?

ඔව්. ශේ්‍රෂ්ඨාධිකරණයේ උගත් විනිසුරුතුමන්ලා මම ඇතුළු තවත් උගත් නීතිඥයන් ඉදිරිපත් කළ පෙත්සම් විභාග කළා.
ඒ අනුව සංශෝධන ගණනාවක් ශේ‍ර්ෂ්ඨාධිකරණය නිර්දේශ කළා. එකී සංශෝධන කිරීමෙන් පසුව පනත ඉදිරිපත් කළොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශේ‍ර්ෂ්ඨාධිකරණය තීන්දු කළා.

ශේ‍ර්ෂ්ඨාධිකරණ තීන්දුව මඟින් ඔබ දැක්වූ අහිතකර කරුණු වෙනස් වන නිසා ඒ තීන්දුව පිළිබඳ සෑහීමකට පත් වෙනවාද?

සෑහීමකට පත්වෙන්නේ නැහැ. මක්නිසාද යත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවුණත් පනතේ ඇතැම් වගන්ති මඟින් ශ්‍රී ලංකා මහ බැංකුව හෑල්ලුවට ලක් වී විනිමය පාලනය දේශපාලනීකරණය වීම වැළැක්වීම සඳහා තවදුරටත් ඒකාබද්ධ විපක්‍ෂයේ අපි මහන්සි වෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ ආර්ථික සංවර්ධනය පිළිබඳ අධීක්‍ෂණ කාරක සභාවට පනතට සංශෝධන ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා. මෙම පනතේ අහිතකර වගන්ති පිළිබඳ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරු අස්සන් කරලා ජනාධිපතිතුමාව දැනුවත් කරනවා. ඒ වගේම ආණ්ඩු පක්‍ෂයේ ආණ්ඩුව තුළ සිටින එ.ජ.නි.ස. මැති ඇමැතිවරුන් ද දැනුවත් කරලා රටට අහිතකර වගන්ති සංශෝධනය කර ගැනීමට අපි උත්සාහ කරනවා.

සංවාදය _ ඉෂාරා සිල්වා
සේයාරූ - ලක්සිරි රුක්මන්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්