වෙසක් උළෙලේ රාජ්‍ය අමුත්තන්ට මහනුවරදී බස් නැතිවුණේ කාගෙ වරදින්ද?

  👤  2755 readers have read this article !
By mawbima 2017-05-21

එක්සත් ජාතීන්ගේ 14 වැනි ජාත්‍යන්තර වෙසක් උළෙල ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී නේපාල ජනාධිපතිනි විද්‍යා දේවි බන්ධාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් නිමා වූයේ පසුගිය 14 වැනිදාය. එම සමාප්ති උත්සවය මහත් හරසරින් පැවැත්වුණේ මහනුවර ශ්‍රී දළදා මාලිගා භූමියේ ඇති මහමළුවේදීය.

මෙම සමාප්ති උත්සවය සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු රටවල් හැත්තෑවකට අධික විදේශ ආරාධිතයෝද එක්ව සිටියහ.
කොළඹ සහ නුවර ප්‍රදේශයන්හි පැවැති මෙම උත්සව ගැන අපට ඇත්තේ අභිමානයකි. ඒ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වෙනස් උළෙල පැවැත්වීමේ අනගි අවස්ථාව ලැබීම පිළිබඳවය. කොළඹදී පැවති ආරම්භක උත්සවයේදී මෙන්ම මහනුවරදී පැවති සමාප්ති උත්සවයේදී ඒ ගෞරව අප ලබා ගැනීමට යුහුසුලුව කටයුතු කළෙමු.
එහෙත් මේ සටහනට අප තවත් යමක් එකතු කළ යුතුව ඇත. ඒ මින් ඉදිරියට හෝ මෙවැනි උත්සවයකදී විය හැකි දෙයක් එසේ නොවීමට වග බලා ගනු පිණිසය.
මහනුවරදී පැවැති සමාප්ති උත්සවයට අදාළව සැලසුම් කළ පරිදි ඊට සහභාගි වීමට නියමිතව සිටි විදේශීය ආරාධිත අමුත්තෝ කොළඹ සිට මහනුවර පැමිණීමට නියමිතව සිටියේ විශේෂ දුම්රිය දෙකකිනි.

සැලසුම් කර තිබූ පරිදි එදින එක් දුම්රියක් පෙ.ව. 9.50ට පමණ මහනුවරට ළඟා විය. මෙසේ ළඟා වූ අමුත්තන් අනතුරුව එහි ඇති වායුසමීකරණ පහසුකම් ඇති බස් රථවල නැඟී වැව රවුමේ ඇති හෝටලයකට රැගෙන යෑමට නියමිතව තිබිණි. ඒ අනුව පළමු දුම්රියෙන් ආ පිරිස බස් රථවලට ගොඩ වූහ.
ගතවූයේ නිමේෂයකි. තවත් මොහොතකින් ඊළඟ විශේෂ දුම්රිය මහනුවරට ළඟා වූ ආකාරය දිස්විය.
මේ දසුන දුටු ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරීන් කලබලයට පත් වූ ආකාරය අපට දැක ගන්නට හැකි විය.
'කෝච්චිය එන්න තියෙන වෙලාවට කලින් ඇවිත් දැන් මොකද කරන්නේ.'
එක් වගකිව යුතු නිලධාරියකු කලබලයෙන් කියනු අපට ඇසුණි.

තවත් මොහොතකින් විදෙස් රාජ්‍යවල මහා සංඝයා වහන්සේ ඇතුළු අමුත්තන් මහනුවර දුම්රිය පොළේ ප්‍රධාන ‍ෙදාරටුව අසලට ඇදී එනු අපි දුටුවෙමු.
එසේ පැමිණි පිරිස් ඊළඟට තමන් ගමන් කරන ස්ථානයට යායුතු වාහන පහසුකම් පිළිබඳව ප්‍රශ්න කරන බව හා ඊට අප රාජ්‍ය නිලධාරීහු හික්මීමකින් යුතුව ප්‍රතිචාර දක්වන්නට වූහ.

මේ ආකාරයට දුම්රිය ස්ථානයේ ප්‍රධාන ‍ෙදාරටුව අසල සීරුවට සිටි විදෙස් අමුත්තන් තවත් මොහොතකින් තමන්ට හිතැති තැන්වල අසුන් ගත්තේ දැඩි අව් රශ්මියත් ඉවසා දරා ගැනීමට නොහැකිකමත් තෙහෙට්ටුවත් නිසාමය.

රාජ්‍ය අමුත්තෝ විනාඩි 45ක් පමණ එහි ගත කරන්නට වූහ. එහෙත් ගමන් පහසුව සඳහා සූදානම් කොට තිබූ බස් රථ තවමත් නැත.
විදෙස් අමුත්තන්ගේ අපහසුව කලකිරීම හා කේන්තිය දක්වා වර්ධනය වීමට පෙර මහනුවර පොලිසිය ඊට විසඳුම් සෙව්වේ තවදුරටත් මේ වෙනුවෙන්ම පිළියෙල කර තිබූ බස් රථ පිළිබඳව ඇති බලාපොරොත්තුව ඉවත දමමිනි.

පොලිසිය වහා ප්‍රධාන මාර්ගයේ ගමන් කරන බස් රථ කීපයක් නවතා ඒවායේ ආධාරයෙන් මේ විශේෂ අමුත්තන් පිරිස අදාළ හෝටලය දක්වා පිටත් කර යැව්වේය. එසේ නොවන්නට ජාත්‍යන්තර වෙසක් උළෙලේ වැඩ කටයුතුවලට පමණක් නොව රටේ කීර්ති නාමයටද හානියක් වන්නට ඉඩ තිබිණි.
ලංකාවේ බොහෝ අය වෙලාවට වැඩ කරන්නේ නැත. කාලය කළමනාකරණය කර ගැනීම පිළිබඳව ඔවුන්ට වගක් නැත. ඒ හැමදේකටම වඩා පොදු වැඩ සටහනකදී එකිනෙකා අතර තිබිය යුතු සම්බන්ධතාවයේ වැදගත්කම පිළිබඳවද ඔවුන්ට වගක් නැත. මේ ප්‍රවාහන අර්බුදය නිසා විදේශ අමුත්තන්ට මහනුවරදී දහඩිය පිස දමමින් සීරුවෙන් සිටගෙන සිටීමට සිදුවූයේ ඒ නිසාය.

මහනුවර - ගයා ශ්‍රී කාරියවසම්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්