පොදු ජන හද ගැස්ම

  👤  3378 readers have read this article !
By mawbima 2017-05-21

'ඇමැති මණ්ඩල සංශෝධනයක් නිසා ආණ්ඩුව අවුලක. මෛත්‍රි - යූඑන්පීකාරයොත් එක්ක අටවාගත්ත ආණ්ඩුව' නම් වැටෙන්නේ ඔය කෙරුවාවෙන්ම තමයි. යූඑන්පීයට කොකා පෙන්නුවොත් උන් ටික හබක්. ශ්‍රී ලංකා එකේ අය තරහා කරගත්තොත් ඊට එහා.'

ඇමැති මණ්ඩල සංශෝධනය ගැන රට තොටේ ජනතාව කතා කළේ එහෙමය. ඇත්තටම කියනවා නම් යූඑන්පිය ඇතුළෙත් මේ නිසා අර්බුදය. තැන තැන එක එක කතා තිබුණේය. ශ්‍රී ලනිපයේ මෛත්‍රිට හිතවත් සගයන් අතරත් එක එක කසුකුසු තිබුණේය. කොටින්ම කියතොත් 'මෛත්‍රි යූඑන්පීයේ අයට බැටේ දුන්නොත් අපි ගොඩ' ය කියලා හිතුපු මෛත්‍රි වටා හිටපු අය බොහෝය.

ඇමැති මණ්ඩල වෙනසක් නිසා ආණ්ඩුව අර්බුදයකට තල්ලු වන බව දැනෙන්නට තිබුණු උච්චතම අවස්ථාවේ සුජීව සේනසිංහ...
'අපට සැලකුවේ නෑ. අපට වැඩ කරන්න ඉඩක් නෑ.' වැනි ආඩපාළි කියමින් රට පුරා ගියේය. හරීන් කීවේ... 'ආණ්ඩුව පිහිටුවලා මේ වනතුරු අපට හරියට වැඩක් කරන්න ලැබුණේ නෑ. මං ඇමැති වුණාට වැඩක් නෑ. ඇමැතිකම නමට විතරයි' වැනි අදහසක්ය.

හරීනුත්, සුජීවත් මෛත්‍රි දිනවන්න එජාපය වෙනුවෙන් බොහෝ දේ කළ තරුණ නායකයෝය. දෙදෙනාම කලකිරී සිටින්නේ බොහෝ කලකට පෙර බවත් මේ ඇමැති මණ්ඩල සංශෝධන කතා බහෙන් ඒ කලකිරීම් තව තවත් වැඩි වුණ බවක්ද පෙනෙන්නට තිබුණේය.
තවත් පැත්තකින් එජාපය තුළත් ශ්‍රී ලනිප මෛත්‍රි පිල තුළත් පැසවමින් තිබෙන අවිශ්වාසය, කලකිරීම හා අපේක්ෂාභංගත්වය තීව්‍ර තත්ත්වයක තිබුණේය.
පුත්තලම දිස්ත්‍රික් එජාප මන්ත්‍රි අශෝක ප්‍රියන්ත මහතා පැවැසුවේ......

'ජනාධිපති මෛත්‍රිට යූඑන්පීය කරපු උදවු අමතක වෙලා. රට රකින මුවාවෙන් ශ්‍රී ලනිපය ශක්තිමත් කරන වැඩපිළිවෙළට දිරි දීමක් ඉදිරියේදී සිදු වුණොත් එජාප පසුපෙළ මන්ත්‍රිවරුන් විදියට ඊට විරුද්ධව ක්‍රියාමාර්ගවලට එළැඹීමට බලාපොරොත්තු වෙනවා' ය කියලාය.
ඊට ප්‍රතිචාර දක්වන්නට වගේ දකුණු පළාත් ධීවර අමාත්‍ය එච්.ඩබ්ලිව්. ගුණසේන පැවැසුවේ... 'ඔය කැරැලි ගහන්න හදනවාය කියන යූඑන්පීයේ මන්ත්‍රිවරුන් දැනගන්න ඕනෑ.. මෛත්‍රිපාල පොදු අපේක්ෂකයා විදියට නාවා නම් එජාපය තාමත් විපක්ෂයේ' කියලාය.

ඇච්චෝ බැච්චෝ ඒ විදියට වාග් ප්‍රහාර එල්ල කර ගනිද්දී කැබිනට්ටුවේ ප්‍රබලයකු වූ ඡන්දෙන් පස්සෙ මෛත්‍රිගෙ දෑත් ශක්තිමත් කරන්න ගිය ලක්ෂ්මන් යාපා කීවේ...
'ජනාධිපතිතුමා තද තීන්දුවක් ගනීවි' කියලාය. ඒ කතාව අහපු යූඑන්පීයේ ප්‍රබලම අමාත්‍යවරුන් අතර 'ඇමැතිකම ගහලා යාවිදෝය' කියන භීතිය දැඩි වී ඇත. තම තමන් තවමත් දරා සිටින, ඇමැති වරප්‍රසාද හනි හනිකට භුක්ති විඳිමින් ලබා ගත යුතුව තිබෙන දීමනා ලබා ගනිමින්, වාහන රෙපෙයාර් කර ගනිමින්, අවශ්‍ය කරන වැදගත් ලියැකියවිලි ඇතුළත් ෆයිල් පිටින් නිවෙස් කරා ගෙන යමින් ඇමැතිවරු මෙහෙයුමක නිරත වූහ.

මෛත්‍රිට හිතවත් ඇමැතිවරුන්ට එහෙව් ගායක් නොතිබුණාට ඔවුන් තුළත් භීතියක් තිබුණු බව පෙනෙන්නට තිබිණි.
'ආණ්ඩු හදන්න ඕනෑ නම් අපට ඒකාබද්ධ විපක්ෂයේ අය ඉන්නවා' ය කියලා ධෛර්යය අරන් දකුණු පළාත් ධීවර අමාත්‍ය එච්. ඩබ්ලිව්. ගුණසේන කීවේ නිකමට වෙන්න බැරිය. ගුණසේනලා හිතනවා ඇත්තේද 'එහෙම වුණොත් මේ යූඑන්පී කැඳහැළිය නැතිව යන්න ගමනක් හැදේවි' කියලාය.

ඒ වුණත් ජනතාව නම් හිතන්නේ 'වැඩ කරන්න බැරි නම්, කරපු වැඩේ හරි නැත්නම්, ඒ ඇමැති අයින් කළොත් වෙන කෙනෙක් පත්කරන්න ඕනෑ. එයා මෛත්‍රිගේද, රනිල්ගේද කියලා බලන්න ඕන නෑ. අපට ඕනෑ රටට වැඩ කරන මිනිස්සු. එහෙව් අය හොයාගෙන හරි ඉස්සරහට දාන්න' ඕනෑ කියලාය.
ආණ්ඩුවේ මෛත්‍රි පිලත්, රනිල් පිලත් කැබිනට් සංශෝධනයට කොහොම මුහුණ දුන්නත් හාල් මිල නැඟපු නැඟිල්ල තවමත් මේ කොයි අයියලාටවත් බස්ස ගන්න බැරි තැනකය. හාල් මිල පාලනය කරන්න ඒ පිළිබඳ භාර ඇමැතිටවත්, ඇමැති මණ්ඩලයටවත්, අගමැතිට, ජනාධිපතිටවත් බැරි වෙලාය. තොග සහ සිල්ලර වෙළෙඳුන් කියන්නේ...

'මෝල් හිමියන් වී හංගගෙන නැති හිඟයක් මවනවා.
මිල වැඩි කරනවා. මේක ඕනෑකමින් මවන දෙයක්. ඒ නිසා ආණ්ඩුවට හාල් මිල බස්සන්න ඕනෑම නම් මහා පරිමාණ හාල් මෝල්කාරයන් මෙල්ල කරගන්න වෙනවා. එහෙත් එහෙම වෙන්නෙ නෑ.'

වෙළෙන්දන් එහෙව් උත්තර දෙද්දී ආණ්ඩුව බීරි අලින් වගේය. ඒ අතර සිවාජිලිංගම් මන්ත්‍රිවරයා 'ජනාධිපතිවරයට උතුරට එන්න එපා' යැයි කීමත්, සිවාජිලිංගම්ලාගේ හමුදා විරෝධයත්, ප්‍රභාකරන් සැමරීමේ ප්‍රයත්නයත් ශක්තිමත් වෙමින් තිබුණේය.
'ජනාධිපතිට එන්න එපා කියන්නත් ප්‍රභාකරන් සමරන්නත් සිවාජිලිංගම්ලාට පුළුවන් වුණේ මේ ආණ්ඩුවේ කොන්ද පණ නැතිකම නිසයි.'
ජනතාව තැන තැන කතා වෙන්නේ එහෙමය. ජනතාව විතරක් නොව ආණ්ඩුව හදන්න දත කාපු ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහත් පසුගියදා පැවැසුවේ...

'සිවාජිලිංගම් ප්‍රභාකරන්ගේ සරණ යමින් බෙදුම්වාදය පාර කපනවා. වෙසක් සතිය ඉවර වුණාට පස්සෙ මැයි 19දා සිහිපත් කරන්න රටම පෙළ ගැහෙනවා. ජනතාව තුළ ඒ කෘතවේදීත්වය තියෙනවා' කියලාය. වර්ණසිංහලා එහෙම කියන්නේ...

'ඇයි ආණ්ඩුව යුද ජයග්‍රහණය සමරන්න බයද?' කියලා අහන්න ඉඩක් තියලා වගේය. ඊට හේතුවක්ද ඇත. එනම් යුද්ධය නිමා කළාට පස්සෙ මහින්ද ඒ නිමා කරපු දිනය දා හැම අවුරුද්දේදීම රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පුද කළත් මේ ආණ්ඩුවට එහෙම හයියක් නැති වීම දැනෙන්නට තිබෙන නිසාය.
'සමහරුන්ට දැන් රණවිරුවා නිසා රටට සාමය උදා වුණා කියලා කියන්නත් අමතක වෙලා. රණවිරුවන්ට සලකනවා වෙනුවට රණවිරුවන් හිරගෙදරට දක්කන්න තරම් පහතට වැටිලා.'

ජනතාව එහෙම කතා වෙන්නේ ආණ්ඩුව එහෙම හිතන්නට පාර කපා තිබෙන නිසාය.
'යුද්ධයට දේශපාලන නායකත්වය දුන්න මහින්දත්, ගෝඨාභයත් ආරක්ෂක ලේකම් හැටියට දැවැන්ත කාර්ය භාරයක් ඉෂ්ට කළා. මුළු ලෝකයම යුද්ධය දිනාගන්න පැත්තට නම්ම ගත්තේ මහින්ද. ගෝඨාභය ඒක හරියටම කළමනාකරණය කළා. රණ භූමියේදී ෆොන්සේකා ඊට අද්විතීය නායකත්වයක් දුන්නා. ඔහුට ගුවන් හමුදාවත්, නාවික හමුදාවත්, සුපිරි සහායක් දුන්නා. සරත් වීරසේකරලා, සිවිල් ආරක්ෂක බළඇණි පෙරට අරන් ගම් බිම් රැකගත්තා. ඒක අමතක කරන්න කවුරුත් සූදානම් නෑ.'

මධ්‍යස්ථ ජනතාව එහෙම හිතන්නට ගන්නේ ආණ්ඩුවේ නායක කාරකාදීන් රණවිරු සැමරුම දියාරු කරන කතා කියන නිසාය. මහින්දත් ගෝඨාභයත් සිහිපත් වෙන උත්සව මඟහරින නිසාය. ඒ උත්සව සැමරුවොත් ආයෙත් මහින්ද, ගෝඨා මතක් වීම ආණ්ඩුවට අවාසි වෙන දෙයක්ය කියලා දැනෙන නිසාය.
එයින් ගම්‍ය වන්නේ ශවේන්ද්‍ර සිල්වලා, චාගි ගාල්ලගේලා, කමල් ගුණරත්නලා, කරන්නාගොඩලා මතක් වෙන එක හොඳ නැතිවා වන්නට පුළුවන. කවුරු කවුරුත් එක්ව කළ සටනින් ජයගත්තාම ඒ ජය ස්ථාවර කරගෙන රටේ ජනතාව යහතින් ජීවත් කරනවා වෙනුවට 'මානව හිමිකම්' රකිනවා කියා ආණ්ඩුව බහුබූත සදාචාරවත් රංගනයක නිරත වීම ජනතාව දකින්නේ පිළිකුල් සහගතවය.

ජනතාවගේ හිතේ කැකෑරෙන මේ අදහස් ආණ්ඩුව තේරුම් නොගෙන කටයුතු කරද්දී පසුගියදා රියර් අද්මිරාල් සරත් වීරසේකර ආණ්ඩුවට දැනෙන්න මෙහෙමත් කීවේය.

'ත්‍රස්තවාදියා කියන්නේ මාතෘ භූමිය දූෂණය කරපු පිරිසක්. අරන්තලාව භික්ෂු ඝාතනය, දළදා මැඳුරට කළ ප්‍රහාරය, ශ්‍රී මහා බෝධිය ළඟ ප්‍රහාරය, කාත්තන්කුඩි මුස්ලිම් ප්‍රජාව ඝාතනය වැනි ඝාතන කළ අය සිවාජිලිංගම්ලා සමරන්න හදනවා. මේක නවත්වන්න කියලා අපි රජයට කියනවා. මේක හරියට තමන්ගේ මව දූෂණය කර මැරූ එකාට පහන් පත්තු කරනවා වගේ වැඩක්.'

පාලකයන්ට එවැනි නිවට තත්ත්වයකට පත් වෙන්න එපාය කියලා සරත් වීරසේකර එසේ කීවේ බැරිම තැනය. ඊට ශක්තියක් වෙමින් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ මෙසේද පැවැසූහ.

'අපි කවුරුත් නිදහසේ හුස්ම ගන්නේ රණවිරුවන් ජීවිත පරදුවට තියා සටන් කරපු නිසයි. ඒ වුණත් අද රණවිරුවන්ට සලකන්නේ කෘෘර විදියට. 'අමුතු බත් දීම අත ඇල්ලුමෙන් දැනේ' කියලා කියමනක් තියෙනවා. ඒ වගේ මේ ආණ්ඩුවත් රණවිරුවන්ට හිරිහැර කරමින්, රණවිරුවන් ඇප නැතිව හිරේ දමමින්, සුළු රණවිරු සැමරුමක් කරන්න යනවා.'

කිව්වත් වගේ රණවිරුවන් අගය නොකරන මේ ආණ්ඩුව නොකර බැරිකමට දියාරු උත්සවයක් කළේය. එය කළාටත් වඩා නොකළා වගේය. එහෙම වෙද්දී මේ ඇත්ත දන්න, මේ දුක දන්න ජනතාවට ඒක පපුවට දැනුණේය. ඒ නිසා ජනතාවගේ හිත්වලින් අෑත් වෙන උන්දැලාට අනාගතයක් නැතිය කියන කියමන සිහිපත් කළ යුත්තේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්