ආණ්ඩුවේ කිසි කෙනෙකුට හොරකම් කරන්න අයිතියක් නෑ

  👤  2713 readers have read this article !
By mawbima 2017-05-21

මොකක්ද මේ හදිසි කැබිනට් සංශෝධනය?
හදිසියෙන් එන එකක් නොවේ. රට ඇතුළේ මතයක් ආවා කැබිනට් සංශෝධනයක් ඕන කියලා.
* ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවශ්‍යතාවකට අනුවනේ සිදුවන්නේ.

මේක ශ්‍රීලනිපයේ ඉල්ලීමක් නොවේ. රට ඇතුළේ යම් යම් ප්‍රශ්න ආවා කැබිනට් එකේ සමහර ඇමැතිවරුන්ගේ ක්‍රියාකලාපය ගැන, සමහර ප්‍රශ්න ගැන. ඒක නිසා ජනාධිපතිතුමත් අගමැතිතුමත් සාකච්ඡා කරලා කැබිනට් සංශෝධනයක් කරන්න තීරණය කළා.
* කැබිනට් එක සංශෝධනයට අගමැතිතුමා විරුද්ධ වුණා. ජනාධිපතිතුමා කැබිනට් එකට එන්නේ නැහැ කිව්වා. ආණ්ඩුව ඇතුළේ අභ්‍යන්තර ගැටුම් නිසයි මේක සිදුවෙන්නේ?

නෑ. නෑ. අගමැතිතුමාටත් ජනාධිපතිතුමාටත් ඕන විදියට තනි තනිව ඒක වුණේ නැහැ. දෙදෙනාම කතා කරලා තමයි කැබිනට් සංශෝධනය ගෙන එන්නේ. යහපාලන ආණ්ඩුවට වසර දෙකක් ඇතුළත යම් සංශෝධන ක්‍රියාවලියක් සිදුවිය යුතුයි කියන මතයේ හිටියා. නායකයන් දෙදෙනාම ඒ මතයේ හිටියා. මේ කැබිනට් සංශෝධනයට බලපෑවේ ඒකයි. නැත්නම් එජාපයට හෝ ශ්‍රීලනිපයට ඕන විදියට කැබිනට් සංශෝධන වුණේ නැහැ.

* ආණ්ඩුවේ ප්‍රධාන ඇමැතිවරු කිහිප දෙනකුට දූෂණ චෝදනා එල්ල වෙලා. ඒ නිසයි මේ කැබිනට් සංශෝධනය.
මේ ආණ්ඩුවේ කිසිම කෙනකුට හොරකම් කරන්න අයිතියක් නැහැ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා 2015 ජනවාරි 8 පත් කළේ හොරකම් කරන එක, වංචා දූෂණ කරන එක වළක්වන්න. මහින්ද රාජපක්ෂ මහතාගේ හොරකම් වංචා දූෂණ ගැන කතා කරලා තමයි මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට ගෙන ආවේ.
* ඔබ එතැන හිටියේ නැහැ.

ඔව්. මම එදා වැඩ කළේ මහින්ද මහත්තයාගේ ජයග්‍රහණයට.
* එදා ජනාධිපතිවරණ වේදිකාවේදී ඔබ මෛත්‍රිපාල මහතා විවේචනය කළාද?
එදා ඒ පැවැති විදිය. එදා පක්ෂයේ නායකයා මහින්ද මහත්තයාගෙන්.

* එතකොට දැන්?
පස්සේ මෛත්‍රිපාල මහතා පක්ෂයේ නායකත්වයට ආවා. ඒ සමඟම එතුමා ගෙන ආපු ක්‍රියාවලිය අපේ ක්‍රියාවලියක් බවට පත් වුණා. ඒ නිසා අපි අද දරන මතය තමයි මේ ආණ්ඩුව බලයට ගෙන එන්න උරදීපු අයට හොරකම් කිරීමේ අයිතියක් නැහැ කියන එක. නමුත් සමහර අයට විවිධ චෝදනා එල්ල වෙලා තියෙනවා.
* හැබැයි ඒ අයගේ නම් ගම් හෙළි වුණා?
මෙහෙමයි. ඒ සමහර අයගේ චෝදනාවලට ඒ අයට උත්තර දෙන්න නොදී ඒ අයට බැනලා ගොරවලා උද්දච්චකම් කරලා මේ ප්‍රශ්න විස¼දාගන්න බැහැ. සමහර චෝදනා තිබූ අය උත්තර නොදී හිටියා. සමහර අයට මේ චෝදනාවලින් ගැලවෙන්න පුළුවන්. සමහරුන්ට බැහැ. හැබැයි රටේ මතයක් තිබෙනවා. ආණ්ඩුව ඇතුළේ මතයක් තිබෙනවා මේ ආණ්ඩුවෙත් හොරු ඉන්නවා කියලා. එනිසා එවැනි චෝදනාවලට ලක්වුණු අය ගැන පියවරක් ගැනීම ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ යුතුකමක්.

* මේ නිසානේ කැබිනට් සංශෝධනය ඉක්මන් වුණේ?
නැහැ.
* ශ්‍රී ලංකා එකට ආණ්ඩු බලය ඉක්මනින් ගන්න තමයි මේ වෑයම?
නැහැ. ශ්‍රීලනිපයේ අපට එහෙම ඉක්මනින් බලය ගන්න උවමනාවක් නැහැ. අපි ඒක 2020 දී කරගන්නවා. එහෙත් ආණ්ඩුවක් විදියට එකට එකතුවෙලා යනවා නම් වගකීම් භාරගෙන එක සමානව ප්‍රතිඵල භාර ගැනීමත් එකට කළ යුතුයි.
* අගෝස්තු වෙද්දි යහපාලන ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුව ඉවරයි නේද?
කිසිම කොන්ත්‍රාත්තුවක් නැහැ. සාමූහික ගිවිසුමක් විතරයි තිබුණේ.

* යහපාලනය ඉදිරියට යනවාද?
ඒ සඳහා තීන්දුවක් ගත යුත්තේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවත් එජාප කෘත්‍යධිකාරී මණ්ඩලයත්. අපි ඒ ගැන කතා කරලා තීන්දු කරනවා.
* 2020 ශ්‍රීලනිපයට බලය ගන්න පුළුවන්ද?
ඔව්.

* මහින්ද මහත්තයා උතුරු මැද බලය පෙරළන්න හැදුවනේ?
පළාත් සභාවක බලය තියෙන්නේ කාටද, බහුතරය තිබෙන්නේ කාටද කියා පළාත් සභා ව්‍යවස්ථාවේ තියෙනවා. පළාත් සභා බලය පෙරළන්න පුළුවන්ද බැරිද කියලත් තියෙනවා. ඒක නොදැන පළාත් සභා පෙරළන්න බැහැ.
* පක්ෂය දෙකඩ වෙලා. ජනතා බලය තියෙන්නේ මහින්ද මහත්තයා ගාව?
මහින්ද මහත්තයටත් යම් ජන බලයක් තියෙනවා. හැබැයි ඒක ආණ්ඩුවක් පෙරළන්න තරම් නැහැ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පිට පක්ෂ කඩාගෙන ගිහින් මේ රටේ ආණ්ඩු බලය ගන්න බැහැ.
* ඔබට ලැබෙන අලුත් ඇමැතිකම මොකක්ද?
ඒක මම දන්නේ නැහැ. ජනාධිපතිතුමයි අගමැතිතුමයි ඒක තීරණය කරයි.
* ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් ප්‍රකාශක ලෙස ඔබයි පත්වෙන්නේ.
මම ඒක දන්නේ නැහැ.

* දුන්නොත් ගන්නවා.
බලමු ඉතින්.
* ඒ කියන්නේ වැඩේ හරි?
ඒක ජනාධිපතිතුමයි අගමැතිතුමයි කියයි. එහෙම වගකීමක් දුන්නොත් ඒ වගකීම හරියට නිවැරදිව කරන්න බලනවා.
* සුජීව සේනසිංහ, හරීන් ප්‍රනාන්දු ඇතුළු එජාප ඇමැතිවරු කලකිරීමෙන් ඉන්නේ. ඔබ ඒ අය වෙනුවෙන් කතා කළා. මේ අය දැඩි ප්‍රකාශ පවා කළා. මේ ගැන ඔබත් කලකිරීමෙන්ද හිටියේ?

ඒක ඇත්ත. ඔවුන්ට ඇමැති ධුර ලබාදීමේදී සිදුවුණු ක්‍රියාදාමය ගැන බලන්න ඕන. ඒ ගැන ඔවුන්ගේ ප්‍රශ්න ගැන එජාපයයි බලා ගන්න ඕන. කෙසේ වෙතත් මෛත්‍රිපාල මහත්තයා ජනාධිපති කරන්න, එජාපයට යළි නැඟී සිටීමේදී උපරිම ශක්තියක් ලෙස හරින් ප්‍රනාන්දු ගොඩක් වැඩ කළා. මේ පෙරළිය කළේ ඔහු. මම එජාපය දාලා ගියට පස්සේ පක්ෂය නඟා සිටුවීමට පක්ෂය ඇතුළේ සහ පිට විශාල වැඩ කොටසක් කළා. ඒ නිසා ඔවුන්ගේ දුක් ගැනවිලි සලකා බලන්න ඕන මම නෙමෙයි, පක්ෂයේ නායකතුමා.

* පක්ෂයේ නායකතුමා මන්ත්‍රිවරුන්ගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්නේ නෑනේ.
ඒක මට කියන්න බැහැ.
* ඔබ එජාපයෙන් ගියෙත් ඒ නිසා නේද?
(සිනාවෙන් පිළිතුරු දී) අයියෝ අයියෝ.
* බැඳුම්කර කොමිසමට පගා දීලා, අල්ලස් දීලා පරීක්ෂණ යට යවන්න හදනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ගැටලුවේදී සාධාරණ තීන්දුවක් දෙන බව ප්‍රකාශ කරනවා. ඒත් ඒ ගැන ජනතා විශ්වාසය මදි කියායි පෙනෙන්නේ?

මේ කොමිසම නිවැරදිව ක්‍රියා කරයි කියා අපි විශ්වාස කරනවා. විවිධ කාරණා හෙළිදරව් වෙනවා. මුදල් හුවමාරු වීම් ගැන තොරතුරු ලැබෙනවා. මම හිතන්නේ අනාගතයේදී හොඳ සහ රටට වැදගත් තීන්දුවක් ලබාදෙයි කියා මම විශ්වාස කරනවා.

* ජනතාවට අමාරු කාලෙක ආර්ථික අපහසුතා වැඩි යුගයක බදු ගහන එක, විදුලි සහ ජල බිල වැඩි කරන එක ඔබතුමා අනුමත කරනවාද?

බර පැටවීමක් නොවෙයි. ලංකාව විශාල වශයෙන් ණය බරක ඉන්නේ. අනික අපේ රටේ විශාල වශයෙන් බදු ආදායම කඩාවැටිලා. සියයට 14ක්ව තිබූ බදු ආදායම සියයට 8-9ට වැටිලා. ඉතින් මෙය නැවත වර්ධනය කරගත යුතුයි. ඉතින් මෙය තරමක් දුරට වර්ධනය කර ගැනීමට නම් බදු ආදායම තරමක් දුරට වැඩි කළ යුතුයි. ඒක කරන්න අවශ්‍ය දෙයක්. අපි බලාපොරොත්තු වන්නේ සෘජු බදු අඩු කරලා වක්‍ර බදු වැඩි කරන ක්‍රමයක්. මේ සියල්ල කරන්නේ රාජ්‍ය ආදායම වැඩි කර ගන්න. රාජ්‍ය ආදායම වැඩි වුණොත් ණය ගැනීම අඩු කරගන්න පුළුවන්. එතකොටයි අපේ සංවර්ධනයට අවශ්‍ය මුදල් සොයාගත හැකි වෙන්නේ. ඒ සඳහා යම් සංක්‍රාන්තික වකවානුවක අපි යන්නේ. ඒ නිසා අලුත් බදු ක්‍රියාවලියකට ගොස් බදු සරල කොට ජනතාවට යම් සහනයක් ලබා දෙනවා.

* ජනතාවට බදු ගහලා ඩියුටි ෆී්‍ර වාහන ඇමැතිවරුන්ට ගෙන්වීම හරිද?
ඒක අවශ්‍ය දෙයක්. මන්ත්‍රිවරයකුට ආසනය පුරා යන්න, අනෙකුත් වැඩ කටයුතු සඳහා හොඳ වාහනයක් අවශ්‍යයි.
* වාහන ගන්නෙ නෑනේ. පර්මිට් එක විකුණන එකනේ කරන්නේ.
හැමෝම වාගේ පර්මිට් එක විකුණලා තියෙනවා.

* අනුර කුමාර දිසානායක ජවිපෙ නායකයා පසුගියදා හෙළි කළෙත් ඒ අයගේ තොරතුරු තමා?
ජවිපෙත් වාහන පර්මිට් විකුණලා තියෙනවා. එයාලට ඒකෙන් ගැලවෙන්න බැහැ. එහෙම නම් යම් වැඩපිළිවෙළක් එන්න ඕන මේ වාහන වෙනුවෙන් මොකක්ද අපි කරන්නේ කියලා. මන්ත්‍රිවරයාට යන්න තියෙන දුර ප්‍රමාණය, ජනතා සේවය, මළගෙදර, මඟුල් ගෙදර, පන්සල්වල උත්සව මේ සේරටම යන්න ඕන. නොගියොත් ඡන්ද නැහැ. මිනිස්සු තරහ වෙනවා. ඒ නිසා ඔවුනට සංචාරකයෝ වගෙයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. අපේ තිබෙන ක්‍රමවේදය අනුව තොරණට, මඟුලට, අවමඟුලට මන්ත්‍රිවරයා සල්ලි දෙන්න ඕන. මන්ත්‍රිවරයා බල ගන්වන ක්‍රමවේදයක් නැහැ. සමහරු මේ පර්මිට් එක විකුණලා ඡන්දයට ගත්ත ණය ගෙවනවා. ඒ නිසා මේ ක්‍රියාදාමය හරියට හදාරගෙන වැඩ කළ යුතුයි. චෝදනා කරන එක නෙමෙයි කරන්න ඕන.

* අමාත්‍යාංශවලට වාහන ගැනීම ගැනත් පසුගියදා කතා බහට ලක් වුණා. ඒකත් ඔය විදියට සාධාරණීයකරණය කරනවාද?
ඒකේ යම් දෝෂයක්, ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ඒ අමාත්‍යාංශයට එක් වසරකට එන පිරිවැයට තමයි වාහන ගැනීම ඇතුළත් කරලා තිබෙන්නේ. ලංකාවේ පළමු වතාවට තමයි එහෙම දෙයක් වෙලා තියෙන්නේ. ඒ ඒ ඇමැතිවරුන්ට වාහන ගන්න කියලා අයවැය ඇස්තමේන්තු සම්මත කළේ ලංකාවේ පළමු වතාවට. ඒක නොවිය යුතු දෙයක්. වාහන ගෙන්වන ක්‍රමයට පිටින් සමහර දේ සිදුවෙලා තියෙන බව පෙනෙනවා. මිනිස්සුන්ගේ අතරට ගියේ මේක පසුගිය ආණ්ඩුව කාලයේ මීට වඩා වාහන ගෙන්වලා තියෙනවා. ඒ නිසා හරියට බලලයි මේ ගැන කතා කළ යුත්තේ.

ප්‍රගීත් සම්පත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්