ජාතිවාදී බලලෝභියෝ

  👤  2883 readers have read this article !
By mawbima 2017-05-21

"සමහර අය හිතනවා මේ ආණ්ඩුව හෙට අනිද්දා වෙනස් කරන්න පුළුවන් කියල. මැයි දිනයට ගෝල්ෆේස් එකට ආපු ඔළුගෙඩි සංඛ්‍යාවෙන් සමහර අය හිතුවා පහුවදාට ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා. පිට්ටනියකට සෙනඟ ගෙනැල්ලා ඔළුගෙඩි සංඛ්‍යාව මෙච්චරයි කියල ඒ ඔළුගෙඩි දැකල හිටන් ආණ්ඩුවක් හදන්න පුළුවන් කියල හිතනවා නම් ඒක ලොකු විහිළුවක්. තවමත් උත්තරයක් දීල නෑ අවුරුදු දෙකක් බලයේ ඉන්න තියෙද්දි ඡන්දෙකට ගියේ ඇයි කියල."
"ඡන්දෙකට ගියේ බැරි හින්දා. ආර්ථික අර්බුදය, විදේශ ණය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාවලට මුහුණ දෙන්න බැරිකම. ඒ ප්‍රශ්න හින්දා තමයි ඡන්දෙකට ගියේ. අපි ඒ ප්‍රධාන ප්‍රශ්න අවසන් කෙරුවා. කතා කරපු විදුලි පුටු, ජාත්‍යන්තර යුද අධිකරණ ඒ පිටුව වැහුවා මම.

දැන් පහුගිය දවස්වල කිව්වා වෙසක් දවසට කළු කොඩි දාන්න කියල. ඉන්දීය අගමැතිතුමා එන්නේ මේ රටේ කොටසක් අරගෙන යන්න කියල කිව්වා. ගිවිසුම් අස්සන් කරන්නයි කිව්වා. බොහෝම පැහැදිලිව මං කිව්වා ඉන්දීය අගමැතිතුමා එන්නේ මගේ ආරාධනාවකට සම්පූර්ණ වෙසක් උත්සවයේ වැඩ සටහන් විතරයි කිසිම නිල සාකච්ඡා, සංවාද නැහැ. ගිවිසුම් අස්සන් කිරිලි නෑ. ලියකියවිලි නෑ කියල.

ඉන්දීය අගමැතිතුමා එනකොට කළුකොඩි දාන්න කියපු අය රෑ 11ට ගිහිල්ලා ඉන්දීය අගමැතිතුමා හම්බ වුණා. හම්බ වෙන්න කලින් ඉන්දීය මහ කොමසාරිස්තුමා මට කිව්වා මෙහෙම හම්බ වෙන්න ඉල්ලීමක් තියෙනවා කළු කොඩි කට්ටිය මොකද කියන්නේ කියල. මම කිව්වා අනේ හම්බ වෙන්න දෙන්න කියල. රෑ 11ට තමයි ගිහිල්ල හම්බ වුණේ."

මහවැලි ඉඩම් ජනතාවට ලබා දුන් උත්සවයකදී අරලගංවිල, විලයාය මහා විද්‍යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කළ කතාවෙන් උපුටා ගත් කොටසකි.
ඒ කතාවට අනුව කළු කොඩිවංශලාගේ නායකයා කර ඇත්තේ පට්ට කුජීත වැඩකි. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගේ ගෝල්ෆේස් පිටියේදී ඉන්දීය විරෝධීය. රෑ 11ට ඉන්දීය ආයෝජකයන් මෙරටට පැමිණීම ගැන ඉන්දීය අගමැතිට ප්‍රශංසා කරන්නේ දවල් මිගෙල් රෑ දනියෙල් විලසිනි.

ඉන්දියානු මහ කොමසාරිස් ඉදිරියේ කනිපින්දන් ගසා, කන්නලව් කර මහ රෑ ඉන්දීය අගමැති මෝඩි හමුවන්නට යෑම කළුකොඩිවංශ න්‍යායාචාර්යගේ කන් අඩියටම ගැසීමෙකි. එසේ නැත්නම් මහා පාවාදීමෙකි. එසේත් නැත්නම් කන්න වුවමනා වූ විට කබරගොයා තලගොයා කර ගැනීමේ පිළිකුල් වැඩෙකි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට මහා ඉන්දීය විරෝධයක් රට පුරා මවන ඉන්දියානු - ශ්‍රී ලංකා ආර්ථික සහයෝගිතා ගිවිසුම මහින්ද පාලන සමයේ අප රට විසින් ඉන්දියාවට කළ යෝජනාවකි. තෙල් ටැංකි ගිවිසුමද මහින්ද රජය කළ යෝජනාවකි.

රාත්‍රි 11 හමුවේදී ඉන්දීය අගමැතිවරයා මහින්ද රාජපක්ෂ මන්ත්‍රිතුමාට ඒ බව මතක් කර දී තිබිණි. "ඔබට වෙහෙසයි වගේ" යැයි මහින්ද කියද්දී මෝඩි අගමැති "ඔබ දැකීමෙන් මගේ වෙහෙස නිවුණා" යැයි පවසා ඇති බව මාධ්‍ය වාර්තා කර තිබ්බා. හැබැයි මෝඩි එය පවසා ඇත්තේ ඒක වචනයෙනි. "ඔබ දැකීමෙන්" කියා පමණි. රැගෙන ගිය අනෙක් දෙදෙනා තඹේකට මායිම් කර නැති සේය. එසේ නම් ඔහු වචනයෙන් "ඔබලා දැකීමෙන්" කියා කිව යුතුය. අනෙක් අතට මෝඩි කියා ඇත්තේ ඔබ දැකුමෙන් මගේ වෙහෙස නැතිවූවා කියා පමණි. "ඔබ දැකුමෙන් මගේ කේන්තිය වැඩිවූවා කියා කළු කොඩි දමන්න කියූ වාචාල කතාව සිහිවී සිතින් සිතුවා වන්නටද බැරි නැත. ආසියාවේ මහා බලවතාට රටකට පැමිණෙන විට ඒ රටේ කළු කොඩි දමන්නට යෝජනා කරන අසික්කිත, අශීලාචාර, වාචාල දෝශපාලනඥයන් සිටින්නේ මොන රටේද....?

"ජාතියක් නසන්නේ ජාතිවාදීන් යැයි" ඇමෙරිකාවේ හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන් ප්‍රකාශ කර ඇත. මාටින් ලූතර් කිං ප්‍රකාශ කර ඇත්තේ ජාතිවාදය යනු ලේ් පිපාසිත බව යන්නය. ජනතාව ඉදිරියේ හුළං ගිය වීරයන් ගිරිය පුප්පා උඩු බුරන්නේ ගිලිහී ගිය බලය කුප්පීදු ලෙසින් හෝ ලබා ගන්නටය.

මේ ජාතිවාදී අමන කල්ලිය පසුගියදා රටට මහා විනාශයක් කළේය. බරවා වසංගතය වෙනුවෙන් ලේ පරීක්ෂාවට රාත්‍රියට ගෙන් ගෙට රාජකාරියේ නිරත මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සේවයට අමු කෙප්පයක් රට පුරා පතුරුවා එම වැඩකටයුතු අඩාල කළේය. මුසල්මානුවන් ඒඩ්ස් පතුරන්නට ගෙන් ගෙට ලේ ගන්නට එනවා යැයි මේ තක්කඩි කැනහිල් ජාතිවාදීන් රට පුරා පැතිරෙව්වේය. මේ ජන පීඩිත කටකතාවේ තේරුම බරවා රෝගයට කෙරෙන ප්‍රතිකාරය අඩාල කිරීමය. කඩාකප්පල් කිරීමය. තමන්ගේ බලය ලබා ගැනීමේ අරමුණ වෙනුවෙන් රටේ ජනතාව අතර වසංගත බෝ වුවද මේ නිහීනයන්ට කමක් නැත.

රටේ ජනතාව මර බිල්ලට ගන්නා මිනීමරු වෛද්‍ය සාපරාධීන්ද යළි යළිත් තවත් වර්ජනයකට නිවටයන් පිරිසක් කූට්ටාලි කර ගනිමින් අරඅඳින්නේ රටේ අහිංසක රෝගීන් පළිහක් කර ගනිමිනි. එයද අර ජනද්‍රෝහී බලලෝභී පරාජිතයන්ගේ නූල් සූත්තරයට රූකඩ වෙමිනි. නර්ස් නිකායේ කසාවත දරණ නායකයන්ද මේ ගොරතර පාපකර්මයට ආවඩති. සෙත් පතති.

බලලෝභී පරාජිතයකු වෙනුවෙන් පනහක කණ්ඩායමක් රටක් විනාශයට ඇද දමන මහා කරුමයක අරුමය කෙසේද...?

ජාතික දේහය සරුසාර වනවාට යහපත සිදුවෙනවාට මේ කරුම නරුම පාපිෂ්ටයන් අකැමැතිය.

ජී. එස්. පී. ප්ලස් බදු සහනය ලබා ගන්නට සාකච්ඡා පවත්වන විට මේ කරුමක්කාරයෝ මේ රට නොපිට ගැසූහ. ඉහවහා ගිය අශීලාචාරකම පෙන්වමින් සමලිංගිකත්වය, සමලිංගික විවාහ මේ රටේ ස්ථාපිත කරන්නට පොරොන්දු වී ජී. එස්. පී. සහනය ලබා ගන්නට රජය සූදානම් වෙනවා යැයි කියමින් ජන මනස දූෂිත කළෝය.

"සිරිසේනයි වික්‍රමසිංහයි සමලිංගිකත්වය නීති පොතට ඇතුළු කරන්න පනත් ගෙනැල්ලා. ජී. එස්. පී. ගන්නයි හදන්නේ.... ඒ කිසිදු දෙයකින් තොරව ජී. එස්. පී. සහනය මේ රටට ලබා ගත්තේ කුපාඩි කතා කී වාචාල ද්විලිංගිකයන් නිරුවත් කරමිනි.
අපේ රටේ සවිඥානික, සබුද්ධික ජනතාව මේ නිරුවත දැකිය යුතුය. මේ කුහක කතා තුළ ඇති දේශපාලන නිරුවතද දැකිය යුතුය.
යුරෝපා සංගමයෙන් ජී. එස්. පී. සහනය ලැබෙන අතරවාරයේ චීනයට ගිය අගමැති රනිල් වික්‍රමසිංහ චීනය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා තාක්‍ෂණ සහයෝගිතාව වර්ජනය කිරීම සඳහා යුවාන් මිලියන 400ක ප්‍රදානයක් ලබා ගත්තේය.

චීන අගමැති ලී ජියාන් මහතා සහ ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ගිවිසුමට අස්සන් තැබුවේ චීනයේ නියෝජ්‍ය වෙළෙඳ අමාත්‍ය ෆූ ෂියිං මහතා සහ ශ්‍රී ලංකාවේ සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාය.

මෙවැනි ආර්ථික වාසිදායකයන් රටට ලැබෙද්දී ඒකාබද්ධ බල පිපාසිතයෝ රට තුළ තව තවත් භීෂණයන්, භීතිකාවන් අන්තගාමි උද්ඝෝෂණයන්, වැඩ වර්ජනයන් දියත් කරනු ඇත. ඔවුනගේ දේශපාලන අවිය වෛරී වූ අගතිකාමිත්වයයි. රට සහ රට වැසියා තත්ත්පරයෙන්, තත්ත්පරය පීඩනයට, පීඩාවට පත්කර රජය අපහසුතාවට පත් කිරීමයි.

ටික කාලයක් නිහඬව මුල්ලකට වී සිටි නානාසාරලා යළි අළුගසා නැඟිට ඇත්තේ තවත් කළු ජූලියක්, කළු බේරුවලක් රට තුළ ඇති කිරීමේ පවිටු චේතනා පෙර දැරිවමය. ඉදිරියේදී ඉන්දියානු භීතියක්, මුස්ලිම් භීතියක්, කතෝලික භීතියක්, දමිළ භීතියක් රට තුළ මවා ගොනාට අඳින ජනතාව කුලප්පු කිරීමට නොඅනුමානවම දීන උත්සාහ දරනු ඇත.

මේ නින්දිත ජාතිවාදී අරමුණු පෙරට දමන්නන්ට උඩගෙඩි දෙන්නේ මෙහෙය වන්නේ, ඇති පදම් මුදල් වියදම් කරන්නේ කවුරුන්ද කියා ජනතාව මොළේ පාවිච්චි කර පිරිසිඳ ගත යුතුය. ලැජ්ජා නහර සහ උණ්ඩුක පුච්චය කපාගත් කොන් වූ ‍ෙදාස්තර සංගමයත්, නර්ස් නායක වංශිකයනුත් තවත් වෘත්තීය සමිති අතකොළු කිහිපයකුත් දැනටමත් පාරම් බා ඇත්තේය. ඊනියා නීච වර්ජකයන්ගේ තේමා පාඨය වී ඇත්තේ රජය විසින් විසඳුම් රැසක් යෝජනා කර ඇති මාලබේ සයිටම් ප්‍රශ්නයයි. තීරුබදු රහිත වාහන ලබා ගැනීමට දරුවන්ට ජනප්‍රිය පාසල් ලබාගැනීමට මේ රටේ මිනිස් ජීවිත බිල්ලට ගත් ආත්මාර්ථකාමි රොත්තකින් බලාපොරොත්තු විය හැක්කේ මෙවැනි පල්දෝරු නාගෙන බලලෝභයේ දේශපාලන ඉත්තන් වීම පමණකි.

"නියම ත්‍රස්තවාදය නම් ජාතිවාදය යැයි වෝන් ෆෙප්ලර් ප්‍රකාශ කර ඇත. බලය කෙසේ හෝ ගන්නට පොළොවේ පස් කන බල කෑදරයන් මේ උත්සාහ කරන්නේ ජාතිවාදී ත්‍රස්තවාදය රටේ ප්‍රචලිත කිරීමටය.

මේ උගුලේ හසු නොවන්නට ජනතාව වගබලා ගත යුතුමය. සැබෑ මිනිසාට ජාතියක් නැත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්