පන්තියෙ පැංචො ඉදිරියේ පිහිය දික් කරලා ටීචර්ගෙ මාලෙ කඩලා ගිරිබාව ගිනියම් කළ “ෆුල් ෆේස්” යකා

  👤  2867 readers have read this article !
By mawbima 2017-05-21

කලින් කලට අප රට තුළ නිර්මාණය වන්නේ පුදුමාකාරයේ සිදුවීම්ය. කලක් ලංකාවේ මිනිස්සු සුදු වෑන් සංස්කෘතියට උරුමකම් කීහ. ගමක තොටක සුදු වෑන් රියක් දකිද්දී ඔවුන්ගේ දෑස් නිලංකාර විය. මහා බියක් මවාපාමින් කාලයාගේ ඇවෑමෙන් සුදු වෑන් සංස්කෘතිය අඩුවී ගියේය. එහෙත් ඉන්පසු කරළියට ආවේ ෆුල්ෆේස් හෙල්මට් අපරාධ සංස්කෘතිය ය. විවිධ අණ පනත් සම්මත වුවද තවමත් ෆුල්ෆේස් හෙල්මට් අපරාධ සංස්කෘතිය අභාවයට ගොස් නැත. රට තොට විවිධ අහුමුලු අස්සේ දැන් දැන් පාතාලය රජයන්නටද පටන් ගෙන ඇත. පාතාලයන් තවත් පාතාල කණ්ඩායමක් විසින්ම ඝාතනය වනු ලබන යුගයක රට පුරා ගම්බිම් පුරා විවිධ සොරකම් ජඩකම් මැරකම් රජයන්නට පටන් ගෙන තිබේ. දුකසේ හරි හම්බ කරගන්නා මිනිසුන්ගේ සොච්චම සොරා ගන්නා තරමට අද මිනිසුන් පහත් තත්ත්වයට පත්ව ඇත. සොරකමත් විවිධ ක්‍රම හරහා සිදු කරන්නටත්, කොල්ලකෑම් කරන්නටත්, පැහැර ගැනීම් කරන්නටත් මිනිසා අද විවිධ ක්‍රම සියල්ල සොයා ගෙන ඇත. පාතාලයේ පුහුණුකාරයන් අද බොහෝ ගම්වල යතුරුපැදි සමඟ අනන්තවත් දැකිය හැකිය. මාධ්‍ය ඔස්සේ විවිධ අවස්ථාවලදී අත්අඩංගුවට ගත්තාය යැයි පවසන්නේ පුරුදු වන පාතාලකරුවන්ය.

එවන් සිදුවීමක් ඉකුත් දිනකදී අසන්නට ලැබුණේ ගල්ගමුව ගිරිබාව ප්‍රදේශයේදීය. ඒ පාසලක් හා සම්බන්ධ සිදුවීමක් සමඟිනි. මහව අධ්‍යාපන කලාපයට අයත් ගිරිබාව අධ්‍යාපන කොට්ඨාසය යටතේ පාලනය වන ගිරිබාව ප්‍රාථමික පාසල් ගුරුවරුන්ටත්, පුංචි දරුවන්ටත් ඒ දින කිහිපයේම හරි හැටි පාඩමක් නැතිවා සේය. ඇතැම් ළමුන් බියවී රෝහල් ගත කෙරිණි. හිටි හැටියේ පාසලට හොරකු පැන්නා යැයි පාසල පුරා පැතිර යද්දී පුංචි ළමුන් කෑ ගැසුවේ මර ළතෝනි තබාය. කිසිදු බියක් සැකක් නොමැති මංකොල්ලකරුවකු පන්ති කාමරයේ උගන්වමින් සිටි ගුරුවරියකගේ රන් භාණ්ඩ කොල්ලකෑම ප්‍රදේශය පුරා පමණක් නොව රට පුරාම කුතුහලයක් ඇති කරන්නට හේතු විය.

දිනය 2017 මැයි මස 16 වැනිදාය. ගුරුවරිය පුංචි පැටවුන්ට අකුරු කියා දෙමින් සිටියාය. එහෙත් මේ සියල්ල පාසල ආසන්නයේ සිටි මහත්මා වේශය ගත් පුද්ගලයකුගේ උකුසු ඇසින් නිරීක්ෂණය වන සැටි පාසලේ කිසිවකුත් දුටුවේ නැත. ගිරිබාව ප්‍රාථමික පාසලත් ගිරිබාව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයත් අතර හිඳිමින් කොල්ලකරු මේ සියල්ල නිරීක්ෂණය කර තිබුණේය. ඒ නිරීක්ෂණය පැයකට ආසන්න කාලයක් බව ගුරුවරුන් පවා දැනගත්තේ සියල්ල සිදුවී හමාර වෙද්දීය. උදෑසන 10 පමණ සිට සියල්ල නිරීක්ෂණය කළ කොල්ලකරු උදෑසන 11.10 ට පාසලේ පන්තියට කඩා වැදුණේ කාගේත් දෙනෙත් වසන් කරය. ඒ පාසලේ කෙළවරටම වන්නට පිහිටි පළමු ශේ‍ර්ණියේ පන්ති කාමරයටය.

පුංචි දරු පැටවුන්ගේ දෙනෙත් එක්වරම යකකු දුටු කලෙක මෙන් නිලංකාර වී ගියේය. "පන්තියට යකෙක් ආවෝ" යැයි කියමින් ඒ පුංචි දරුවෝ පන්තිය පුරාම මහ හ¾ඩින් බෙරිහන් දෙමින් දුවන්නට වූහ. 'ආදරණීය ගුරුතුමිය මරන්නට යකෙක් ආවෝ' යැයි කියමින් ඒ කුඩා දරුවෝ මර ළතෝනි දුන්හ. එහෙත් කොල්ලකරුගේ හැඩිදැඩි සිරුරත් කළු පැහැයෙන් ආවරණය වූ මුහුණත් ඉදිරියේ ඒ ගුරුතුමියද භිරාන්ත වූවාය. කිසිවක් කියා ගන්නටවත් කර ගන්නටවත් ඇයට ඒ අවස්ථාවේ හැකියාවක් නොතිබිණි. එහෙත් කොල්ලකරු පැමිණියේ තම රන් භාණ්ඩ කොල්ලකා පලා යන්නට යැයි ගුරුතුමියට සිතී තිබිණි. ඇය සිතුවාක් මෙන් කොල්ලකරු එක්වරම ගුරුවරිය දෙසට උල් පිහියක් දික් කොට ඇගේ ගෙල බැඳි මාලය කඩා ගැනීමට වෙර යෙදීය. එහෙත් ගුරුවරියගේ වෑයමෙන් කොල්ලකරුගේ විශාල අතකට වුවද කැඩී ආවේ රන් මාලයේ අඟල් 7ක පමණ කොටසක් පමණි.

"මම කළු ලෑල්ල පැත්තට හැරිලා අකුරු වගයක් ලිය ලියා ඉඳලා ළමයිගේ පැත්තට හැරුණා විතරයි එකපාරම මම ගැස්සිලා වගේ ගියා. ඒ එක්කම වගේ තමා ඒ හොරා මගේ ළඟට ආවේ. එකපාරම උල් පිහියක් දික් කළා. මට නිකමට වගේ හිතුණා මගෙ මාලේ කඩා ගන්න තමා ආවේ කියලා. ඒත් එක්කම වගේ මම මාලේ අල්ලගෙන පහත් වුණා. මම පහත් වෙනවත් එක්කම වගේ ඒ හොරා මගේ පිටට අත තියලා තවත් පහළට තද කළා. ඒ වෙලාවේ මට කෙළින් වෙන්න හයියක් තිබුණේ නෑ. ළඟ තිබුණේ ළමයකුගේ ඩෙස්ක් එකක්. ඒ හොරා මාව සම්පූර්ණයෙන්ම ඒ ඩෙස් එකක් ඇතුළට දාලා මගෙ මාලේ කඩා ගන්න මගෙත් එක්ක පොර බැදුවා. ඒත් මම මාලෙ අත්හැරියේම නෑ. කොහොම හරි ඒ හොරාගේ අතට මගෙ මාලෙන් කොටසක් කැඩිලා ගියා. අඟල් 7ක විතර චේන් කෑල්ලක්. ඒ වෙලාවේ මුළු පන්තියේම ළමයි හයියන් කෑ ගහන්න ගත්තා මෙන්න පංතියට යකෙක් ඇවිත් අනේ අපේ ටීචර් මරන්න හදනවා කියලා. මම හරි බයෙන් හිටියෙ ඒ පුංචි දරුවකුට කරදරයක් වෙයි කියලා. මම ඒ හොරා එක්ක පොරබදන ගමන් කෑ ගැහුවා ළමයිනේ එළියට දුවන්න කියලා. ඒත් ළමයි මාව දාලා ගියේ නෑ. යටිගිරියෙන් කෑ ගගහා මුළු පන්තිය පුරාම දිව්වා. ඒත් එක්කම වගේ තමා මගේ පන්තියට එහා පැත්තෙ පන්තියේ හිටපු මිස් මගේ පන්තියට ආවේ. ඒත් එක්කම වගේ මගෙත් එක්කල පොර බදපු හොරා පන්තියෙන් පැනලා යන්න ගියා. ඒ යද්දි මගේ පන්තියට ආව මිස් හිටියෙ ‍ෙදාර ළඟ. එයාගේ මාලෙත් කඩාගෙන යන්න හදලා තියෙනවා. ඒත් හදිස්සිය නිසා ඒ මාලේ කඩා ගන්න බැරි වුණා. මගේ අතේ තිබුණා මුදු 02ක්. මගෙත් එක්ක පොරබදන අතරේ ඒ මුදු 02 ගලවගෙන තියෙනවා. රුපියල් 45,000ක් විතර වටිනවා මුදු දෙක. මේ හොරා ආවේ ජීවිත හානියක් කරන්න නෙවේ. එහෙම ඕනා කමක් තිබුණා නම් ඒ හොරා අරන් ආව පිහියෙන් ඒ දේ කරන්න තිබුණා. පවුම් 02ක විතර මාලයක් තමා මගෙ කරේ තිබුණෙ. සැලැසුම් කරලා කරනවා ඇරෙන්න නොදන්න කෙනකුට මෙහෙම දෙයක් කරන්න බෑ" යැයි රන් භාණ්ඩ කොල්ලකෑමට ලක් වූ ගිරිබාව ප්‍රාථමික විදුහලේ එච්. එම්. නදීශා ගිම්හානි මහත්මිය කියා සිටියාය.

එමෙන්ම ඇය තවදුරටත් කියා සිටියේ "මේ සිදුවීමත් එක්ක මගේ පන්තියේ ළමයි විශාල වශයෙන් මානසිකව වැටිලා. ඒ අය ගිය බදාදා බ්‍රහස්පතින්දා පන්ති කාමරයට යන්නත් බෑ කිව්වා. ඒ ආව මනුස්සයා මම කවදාවත් දැකලා නෑ. මට මතක විදියට ෆුල්ෆේස් හෙල්මට් එකක් දාගෙන හිටියෙ. සුදුපාට අත් දිග කමිසයක් ඇඳලා අත් දෙකට ග්ලවුස් දාලා තිබුණේ. කළු කලිසමයි කළු සපත්තු දෙකකුයි දාලා හිටියා. ඇස්දෙක විතරයි එළියට පේන්න තිබුණෙ. අඩි 6ක් විතර උස් විශාල සිරුරක් තියෙන කෙනෙක්. එහෙම කෙනෙක් එකපාරම පන්තියට ඇවිත් මෙහෙම සිදුවීමක් වෙද්දි මේ පුංචි ළමයි බය වෙනවා. ඒකයි ඒ අය පන්තියට පවා දැන් යන්න බෑ කියන්නෙ. මට ඊට පස්සෙ දින දෙකම හරියට වැඩ කරන්න තරම් මානසික පසුබිමක් තිබුණෙ නෑ. සමහර ළමයි රෑ නින්දෙන් පවා බය වෙලා තියෙනවා. තවත් ළමයින්ට උණ හැදිලා තියෙනවා බය වුණු පාරට."

අදාළ සිද්ධියට මුහුණ දුන් එම පාසලේ ඉගැන්වීම් කටයුතු කරන ජේ. කේ. සංජීවනී ජයසිංහ මහත්මිය අදාළ සිදුවීම සම්බන්ධයෙන් කියා සිටියේ මෙවැන්නකි.
"මේ වගේ සිදුවීමක් මගේ ජීවිතේ අත්විඳපු, අත්දැකපු පළමුවැනි වතාව මේ. මොකද මේ වගේ සිදුවීමක් මේ පළාතෙ මීට කලින් සිදුවෙලා නෑ. සිදු වෙන්නත් එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. කොහොම හරි මම උගන්වමින් ඉද්දි තමා ගිම්හානි මිස්ගෙ පන්තියේ ළමයි හයියෙන් කෑ ගහන්න පටන් ගත්තෙ. මම හිතුවෙ පන්තියට සර්පයෙක් වත් ගිහින් වෙන්න ඇති කියලා. මොකද මීට කලින් කිහිප සැරයකදීම ඒ පන්තියට ගැරැ¾ඩියෙක් රිංගලා මේ විදියටම ළමයි කෑ ගැහුවා. ඒත් මම ඉක්මනට ගිහින් බැලුවා මොකද කියලා. මම ‍ෙදාර ළඟට යද්දිම තමා දැක්කේ ඒ හොරා ගිම්හානි මිස්ව ඩෙස් එකක් යටට ඔබාගෙන පොරබදන බව. මම හිතුවෙ ළමයෙක් පැහැරගෙන යන්න හදනවා කියලා. ඒත් එක්කම වගේ මගේ පන්තියේ හිටපු ළමයිනුත් දුවගෙන ආවා. හොරා මම ඉන්නවා දැක්ක ගමන් පන්තියෙන් එළියට දුවන්න ඇවිත් මගෙ කරේ තිබුණු මාලෙත් කඩා ගන්න හැදුවා. ඒත් මම ඒ හොරා එක්ක පොරබදලා මාලේ ආරක්ෂා කර ගත්තා. මගෙත් එක්ක පොරබදද්දි වෙනත් තැනක හිටපු මිස් කෙනකුත් අපි ඉන්න පැත්තට ආවා. ඒ එද්දිම තමා හොරා පැනලා දිව්වේ. දුවලා මෝටර් සයිකලයක නැඟලා ගියා."

කුරුමානම වැරැදුණු කලෙක මෙන් කොල්ලකරු ක්ෂණයකින් පාසල් වත්තෙන් පලා ගොස් තිබිණි. එහෙත් මුළු පාසල පුරාම වූයේ බියක් මුසුවූ ස්වභාවයකි. තම ගුරුතුමිය මරන්න යකෙක් ආවෝ යැයි කියමින් දිව ගිය පුංචි දරුවන් නැවැතී තිබුණේ පාසල ඉදිරියේ ඇති තේ කඩයේ මේස පුටු යටිනි. ඔවුහු මේස පුටු යටට වී මහා හයියෙන් හඬමින් ගැහෙන්නට වූහ. එහෙත් පොලිස් හදිසි ඇමතුම් අංක ඔස්සේත් ගිරිබාව පොලිසියට මේ ගැන දැනුම්දීම ඔස්සේත් ගිරිබාව පොලිස් නිලධාරීහු වහා පැමිණියහ. කොල්ලකරු අල්ලන්නට විවිධ මාර්ග ඔස්සේ පොලිස් නිලධාරීන් පිටත් කර හැරීමට ගිරිබාව පොලිස් ස්ථානාධිපති කේ. වී. පී. සී. දීපාල් මහතා ඒ වන විටත් කටයුතු කර තිබිණි. එමෙන්ම ස්ථානීය පරීක්ෂණ නිලධාරි කණ්ඩායමක්ද නොබෝ වේලාවකින් පාසලට පැමිණ ඇත. අඹන්පොළ පොලිස් ස්ථානයේ නිල සුනඛ "රිකී"ගේද සහාය ඇවැසි නිසා විවිධ ඉව ඔස්සේ සැකකරු පිළිබඳ යමක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට අවශ්‍ය කර තිබිණි. එහෙත් ඉව කරන්න සැලැස්සූ යම් යම් දෑ සමඟින් "රිකී" දිව ගියේ කොල්ලකරුගේ යතුරුපැදිය නවතා තිබූ තැනට පමණි. එතැනින් එහා ගොස් සැකකරු ගැන හෝඩුවාවක් ලබා දෙන්නට රිකීද අසමත් විය. සියල්ල ඒ ආකාරයෙන් සිදු වෙද්දී මහා වේගයකින් පැමිණි කොල්ලකරු මහා වේගයකින්ම ඉගිළීී ගොසින් තිබිණි.

'අදාළ සිදුවීමත් එක්ක මම ඒ වෙලාවේ පොලිස් ස්ථානයේ හිටපු පොලිස් නිලධාරීන් 25කට ආසන්න දෙනෙක් හැම පාරකම පිටත් කළා. අතුරු පාරවල්වල පවා මගේ නිලධාරීන් ගිහිල්ලා බැලුවා. කොල්ලකරු ගැන හෝඩුවාවක් සොයාගන්න. ඒත් එක්කම අපි ගිරිබාවෙන් පිට වෙන්න පුළුවන් ප්‍රවේශ මාර්ග 05ක් පොලිස් නිලධාරීන් යොදවා රැකවල් යෙදුවා. ඒ අනුව අපි කටයුතු කළා. සිද්ධිය සිදුවුණු දාට පහුවදා වෙනකොට අපිට පිළිගන්න පුළුවන් තරමේ සාක්ෂි සටහන් කිහිපයක් ලැබිලා තිබුණා. ඒ සාක්ෂිත් එක්ක අපි අපේ පරීක්ෂණ කටයුතු සිදුකරගෙන යනවා. ඒ කටයුතුවලට පරාසයන් කිහිපයක් අපි යොදාගත්තා. සැක කටයුතු පුද්ගලයන් කීප දෙනෙක් මේ වෙද්දි ඉන්නවා. මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට අරන් නීතිය හමුවට ඉදිරිපත් කරන්න කටයුතු කරනවා.

ඒ වගේම තමා අදාළ සිදුවීමෙන් මේ පුංචි දරුවො විශාල වශයෙන් කම්පනයට පත් වෙලා තියෙනවා. අපි පොලිස් නිලධාරීන් විදියට හැම අවස්ථාවේදීම පුංචි ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවෙලා ඉන්නවා. ඒ නිසා මමත්, අපේ පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියනුත් එකතු වෙලා මේ ළමයින්ට පොඩි වැඩසටහනක් තියලා ඒ අයගේ හිත් යථා තත්ත්වයට ගන්න කටයුතු කළා. මේ වගේ සිදුවීමක් ගිරිබාව පැත්තෙ වුණ පළමු අවස්ථාව. ඒ නිසා ප්‍රදේශය පුරා වුණත් තරමක බියක් තියෙනවා" යැයි ගිරිබාව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. වී. පී. සී. දීපාල් මහතා කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසු පාසලේ මවුපියන් මෙන්ම දරුවන්ද දැඩි බියකට පත්ව ඇත. මෙහිදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් පාසලේ විදුහල්පති වීරසූරිය මහත්මියගෙන් විමසීමේදී ඇය කියා සිටියේ පාසලට කැළලක් ඇතිවිය හැකි නිසා මාධ්‍යයට කිසිවක් කිව නොහැකි බවත් මාධ්‍ය මඟින් මෙය ප්‍රචාරය කළහොත් පාසල අපකීර්තියට පත්වීමට ඉඩ ඇති බවත්ය.

දැන් ගිරිබාව ප්‍රථමිකය සොර බියෙන් වෙළීී ගොසිනි. මෙතෙක් කලක් පාසලේ සිදු නොවූ සිදුවීමක් නිසා ඔවුන් තම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විවිධ පියවර රැසක් ගෙන තිබේ. ඒ අනුව දිනකට මවුවරුන් තිදෙනා බැගින් එක්ව පාසල් ගේට්ටුව අසල ආරක්ෂකයන් ලෙස රැඳී සිටීම ඔවුන් ගත් එක් පියවරකි. එහෙත් "මව්බිම" වෙත අදහස් දක්වමින් මවුපියන් කියා සිටියේ මෙවැන්නකි.

"අපේ පාසලේ තිබුණේ ගුරු ගැටලුව විතරයි. දැන් හොරු එන්නත් පටන් අරන්. පාසල් වත්තට එහායින් තියෙන්නෙ ගන කැලෑව. හොරා ඇවිත් තියෙන්නෙ ඒ කැලේ පැත්තෙන්. ඒ කියන්නෙ කොට්ඨාස කාර්යාලය පැත්තෙන්. පාසල වටේම වැටක් තිබුණත් පිටුපස පැත්තෙන් වැටක් නෑ. හොරකුට විතරක් නෙවෙයි ඕනෙ කෙනකුට පාසල් වත්තට ඇතුළු වෙන එක මහ ලොකු දෙයක් නෙවේ. මේ වත්ත වටේම වැටක් තිබුණ නම් මේ වගේ දෙයක් සිදු වෙන්නේ නෑ. දැන් අපේ ළමයි ලොකු බයකින් තමා පාසල් එන්නෙ. අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නෙ මේ පාසල් වත්තෙ පිටුපසින් වැටක් ඉදිකරලා දීලා අපේ ළමයිගේ ජීවිතවලට තියෙන අවදානම නැති කරලා දෙන්න කියලා."

එහෙත් සියල්ල සිදුවී අවසානය. ගිරිබාව ප්‍රාථමිකයේ පමණක් නොව ලංකාවේ තවත් පාසලක මෙවැනි දෙයක් හෙට දවසේ සිදුවිය හැකිය. ඒ නිසා අවදානමට පෙර සූදානම ඇත්තේ පාසල් ප්‍රජාව ඇතුළු සමස්ත සමාජයේමය. දරුවන් රැකීමට නම් පාසල් වත්ත පමණක් නොව පාසලේ සේවයේ නිරත වන්නන්ද සිහිබුද්ධියෙන් සිටීම වඩාත් වටනේය. පුංචි දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කළ හැක්කේත් ඔවුන්ට රැකවරණය ලබා දිය හැක්කේත් එවිටය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්