යුද්ධය ඉවර වෙලා අවුරුදු 8 යි

  👤  2992 readers have read this article !
By mawbima 2017-05-21

මහා කුරිරු යුද්ධය අවසන් වෙලා මේ වෙනකොට අවුරුදු අටක්ම ගතවෙලා හමාරයි. යුද්ධය අවසන් වුණු එක ගැන හැම කෙනෙක්ම කතා කරන්නේ දැඩි සතුටකින් යුතුවයි.

මේ යුද්දෙ ඇත්තම තත්ත්වය අත්වින්දේ යුද්ධය පැවතුණු උතුරු කරේ මිනිස්සු ටික තමයි.
උතුරු කරේ මිනිස්සු කියලා කිව්වම සිංහල, දෙමළ, මුස්ලිම් කියන හැම ජන කොටසක්ම මේ ලංකා සිතියමේ ඔළුව කෑල්ලේ ඉන්නවා.
මහා යුද්දෙ සිද්ධ වුණෙත් මේ උතුරු කරේ මිනිස්සු ටික ඔක්කොම මේක ඇතුළේ ජීවත් වෙලා ඉන්න කොටමයි.
අවුරුදු 30ක්ම දිග්ගැසුණු මහා යුද්දෙ අවසන් වෙලා අවුරුදු 8ක් ගතවෙලා. අවුරුදු 8ක් කියන්නේ මහා ලොකු කාලයකුයි. මිනිස්සු අවුරුදු 30ක්ම පීඩා විඳලා දැන් සාමයත් එක්ක අවුරුදු 8ක් ජීවත් වෙනවා.

දැන් මේ ජනතාව බොහොම සතුටෙන් ඉන්නව කියලා රටේ හැම කෙනෙක්ම හිතනවා. ඇත්තෙන්ම යුද්ධය නිමා වීමෙන් පසු පැමිණි සමයේ ප්‍රතිලාභ මේ යුද්දෙට සෘජුවම මුහුණ දුන්න මිනිසුන්ට ලැබිලා තියෙනවද?
මේ ගැන කතා කරන්න මම මුලින්ම හමුවුණේ වවුනියාව මහකච්චකොඩිය පුරාණ ගල්ලෙන් විහාරයේ විහාරාධිපති මඩුකන්ද ශ්‍රී ධම්මරතන විද්‍යායතන පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති මහකච්චකොඩියේ ධම්මානන්ද හිමියනුයි.

"යුද්දෙ ඉවරවුණු එක ගැන අපි හැම කෙනෙක්ම සතුටු වෙනවා. මහා යුද්ධ කාලේ මේ ගම්මානවල මිනිසුන්ගේ හැම දෙයක්ම නැති වුණා. මේ මුළු පළාතම මායිම් ගම්මාන විදියට හඳුන්වලා බංකර් වැටක් ගහලා තමයි යුද හමුදාව මේ පළාත් ආරක්ෂා කළේ.
යුද්දෙ ඉවර වෙලා අවුරුදු අටක් ගතවෙලා බලන කොට මේ පළාත්වලට සිද්ධ වෙලා තියෙන සංවර්ධනය මදියි කියලා හොඳටම පෙනෙනවා. පාරවල් හැදුවට, නගර දියුණු වෙලා අලුත් අලුත් බෝඩ් ලෑලි වැටුණට මේ යුද්දෙට කෙළින්ම මුහුණ දුන්න මිනිසුන්ට සංවර්ධනය තුළින් ප්‍රමාණවත් පහසුකම් ලැබිලා නැහැ.
මුලින්ම අධ්‍යාපනය ගැන කතා කළොත් ඉස්කෝලවල කැඩිලා ගිය ගොඩනැඟිලි වෙනුවට ගොඩනැඟිලි හැදුවා. ඒත් ඇත්ත තත්ත්වය ළමයින්ට වාඩි වෙන්න පුටුවක් නැති ඉස්කෝල තියෙනවා.

ආණ්ඩුවෙන් ගුරුවරු ලබා දෙනවා. ඒත් ගණිතය, විද්‍යාව වගේ අත්‍යවශ්‍ය විෂයන් උගන්වන්න ගුරුවරු නැහැ. පාසල් කළමනාකරණයේදී දෝෂ ගොඩක් පෙනෙන්න තිබෙනවා.

මේ මුළු පළාතම කෘෂිකාර්මික පළාතක් කියලා තමයි මුළු රටම එදා ඉඳලා දන්නේ. ඒත් පළාතේ අබලන් වුණු වැව් තවම ප්‍රතිසංස්කරණය වෙලා නැහැ. ඇළවේලි සකස් වෙලා නැහැ. වැවට එකතු වෙන වතුර ටික විනාශ වෙලා යනවා. ඉතින් අවුරුදු 8ක් ගිහිල්ලත් මේ වගේ පුංචි පුංචි දේවල් පුංචි පුංචි තැන් තවමත් සකස් වෙලා නැහැ.
උතුරු පළාතට එක පාරටම ඕන වෙන්නේ මහා සංවර්ධන කටයුතු නෙවෙයි. ගම් මට්ටමේ බිම් මට්ටමේ වැසියන්ට ඕනේ දේවල් සිද්ධ වෙන්න අවශ්‍යයි. ඒකට හේතුව මේ පිරිස දෛනිකව එදා වේල සොයා ගන්න පිරිසක් නිසයි. තවම ගම්වල මිනිස්සු ඉන්නේ දුකෙන්. ආණ්ඩුව මේ ගැන හොයලා බලන්න ඕනේ. යුද්දෙට මැදිවුණු සිංහල මිනිසුන්ට වඩා දෙමළ මිනිසුන්ට ප්‍රශ්න ගොඩක් තියනවා. මේවා විසඳන්න කටයුතු නොකිරීම හරිම භයානකයි.

උතුරු පළාත තුළ ඇවිදින කොට මේ දවස්වල ගැවසෙන සෙනඟ දිහා බලන කොට මේ පළාතේ යුද්ධයක් තිබුණද කියලා හිතෙන වාර ගණන අනන්තයි. දෙමළ කොල්ලො කෙල්ලෝ සිංහල කොල්ලෝ කෙල්ලෝ එක්ක එකට කදේ දාගෙන පැණි බීම බොනවා. අයිස් ක්‍රීම් කනවා. බැදපු රට කජු තාලෙට ලෙලි ඇරගෙන ඇටේ ඇටේ කටේ දාගන්නේ බොහොම ළෙන්ගතු හැඟීම් එක්කයි.

මේ පරිසරය දිහා බලන කොට කරුණු කීපයක් ඉතාම පැහැදිලි වෙනවා. පළමුවැනි කාරණේ තමයි දැන් මේ සිංහල දෙමළ තරුණ තරුණියන් අතරේ සැකය, අවිශ්වාසය කියන එක කෙමෙන් කෙමෙන් පහව යනවයි කියන එක.

ඒ වගේම තමයි භාෂාව ගැන දැන් හැමෝටම ලොකු වුවමනාවක් ඇති වෙලා තියෙනවා. දෙමළ තරුණ තරුණියෝ සිංහල භාෂාව හසුරුවලා යමක් කරගන්න පුළුවන් තත්ත්වයකට පත්වෙලා ඉන්නවා. සිංහල අයත් එහෙමයි. මේක නිසා උතුරේ බොහෝ නගරවල වෙළෙඳපොළ ආර්ථිකය දියුණු වෙමින් පවතිනවා. එක දවසක් හරි කිලිනොච්චිය නගරයට ගිහින් ඇවිද්‍ෙදාත් මේ තත්ත්වය හොඳට පැහැදිලි වෙයි.

හැබැයි යුද්ධ කාලෙදිත් උතුරේ මේ දෙමළ තරුණ තරුණියෝ සිංහල යාන්තම් දැනගෙන හිටියා. ඔවුන් ඒකට කිව්වේ "චෙක් පොයින්ට් සිංහල" කියලයි. නම මොකද්ද? යන්නේ කොහෙද?, ඉන්නේ කොහෙද?, මොනවද කරන්නේ? ඇයි කොළඹට යන්නේ කියන දේ කැඩිච්ච සිංහල භාෂාවෙන් හරි මුර කපොලුවල හිටිය ආරක්ෂක අංශවල සාමාජිකයන්ට තේරුම් කරලා දෙන්න උතුරේ දෙමළ තරුණ තරුණියෝ දැනගෙන උන්නා. ඒකට කිව්වේ "චෙක් පොයින්ට් සිංහල" කියලා.
යුද්දෙ ඉවර වෙලා අවුරුදු 8ක් යනකොට උතුරෙදි නම් සාමාන්‍ය ජනතාවට දෙමළ, සිංහල කියලා භේදයක් නෑ. ඒත් උතුරේ ලොම් හැලිච්ච දෙමළ දේශපාලනඥයෝ ටික නම් මේ වැඩේට එච්චර කැමැති නෑ වගේ කියලා හිතෙන අවස්ථා ඕනේ තරම් තියෙනවා. මේ තත්ත්වය දකුණටත් සාධාරණයි.
යුද්දෙ ඉවරවෙලා අවුරුදු 8ක් පිරෙන මේ කාලය ඇතුළතදීවත් දකුණේ දේශපාලනඥයෝ, දකුණේ ජනතාව, උතුරේ මේ මිනිස්සු දිහා සාධාරණව සමානාත්මතාවයෙන් යුතුව හිතලා බැලුවද කියලා හදවතට තට්ටුවක් දාගෙන අහන්න ඕනේ."

කිලිනොච්චියේ ධර්මපුරම් පළාතේ පදිංචි එස්. මලර්වතීට දැන් වයස අවුරුදු 64ක් වෙනවා. ඇය කියන්නේ යුද්දෙන් පස්සේ වෙන්න ඕනේ දේවල් මේ වෙනකල් සිද්ධ වුණේ නෑ කියලයි.

"යුද්දෙන් පස්සේ දැන් අපේ පවුල් කියලා ඉතුරු වෙලා ඉනනේ මමයි මගේ ළමයි දෙන්නයි විතරයි. ලොකු පුතාට වයස අවුරුදු 31යි. උසස් පෙළ ගණිත අංශයෙන් හොඳට පාස්. රස්සාවක් නෑ. රජයේ රැකියාවකට යන්න බෑ. ඒකට හේතුව මෙයාට තියාගන්න කියලා දුන්නු පාර්සලයක් යුද හමුදාව පරීක්ෂා කරද්දී ඒක ඇතුළේ තිබිලා ඩයිනමයිට් කරල් 12ක් හම්බ වුණු සිද්ධිය. කොටි සංවිධානෙ එකෙක් තමයි මේ පාර්සලය දීලා තිබුණේ.

උසාවියට ගියා. අපේ ළමයට බනිද්දී පිළිගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ.
දැන් අවසාන ප්‍රතිඵලය මෙයාට රස්සාවක් දෙන්නෙ නැති එකයි. ඒත් එල්.ටී.ටී.ඊ.යේ ඉඳලා මිනිස්සු මරපු ගෙවල් කඩපු අයට ආණ්ඩුවේ ලොකු රස්සාවල් ලැබිලා තියෙනවා.

මගේ අනිත් දුවට රස්සාවක් කරන්න බෑ. එයා ඉගෙන ගෙන ඉන්නවා. ඒත් කාලතුවක්කු උණ්ඩෙකට එයා අහුවෙලා ආබාධිත කෙනෙක් වුණා. කසාදයක් කරගන්නත් බැහැ. රස්සාවකුත් නෑ. මගේ බාල පුතා අද වෙනකල් කොහෙද කියලා නෑ. යුද්ධ කාලේ ගියා ගියාමයි. දැන් අතුරුදන් කියනවා. හැම තැනම අපි එයාව හොයනවා."
මේ ප්‍රශ්න තමයි දැන් උතුරේ ලොකුම ප්‍රශ්නය වෙලා තියෙන්නේ. යුද්ධ කාලෙදි 20000ක් විතර අතුරුදන් වුණා. ඒ අයට මොකද වුණේ කියලා අවුරුදු 8ක් ගිහිල්ලත් ආණ්ඩු දෙකටම කියන්න බැරි වුණා. මේ අය අතුරුදන් වුණාට පස්සේ ඒ ගෙවල්වල අය ගොඩක් අසරණ වෙලා. කීයක් හරි පවුලට හරි හම්බ කරලා දෙන්න හිටිය උදවිය තමයි මෙහෙම අතුරුදන් වෙලා තියෙන්නේ. එක්කෝ ආණ්ඩුවෙන් වන්දියක් දෙන්න ඕනේ. නැත්නම් එහෙම පවුල්වලට ආණ්ඩුවෙන් උදව්වක් කරන්න වෙනවා. ඒත් ඒ මොකවත්ම වෙන්නේ නැහැ.

ඒ වගේම අවුරුදු 30ක් යුද්දෙත් එක්ක හිටපු වැඩිහිටි දෙමළ මිනිස්සුන්ගේ සිතිවිලි තවමත් දුවන්නේ එක රාමුවක. ප්‍රභාකරන්ගේ මරණය ඇත්තයි. ඔහු මැරුණා. ඒත් ප්‍රභාකරන් තමන්ගේ ගෝල බාලයොත් එක්ක මුළු පළාත පුරාම වපුරපු විසබීජ මැකිලා ගියේ නැහැ. ප්‍රභාකරන්ට කරගන්න බැරිවුණු දේ කොක්කෙන් හරි කෙක්කෙන් හරි කරන්න දෙමළ දේශපාලනඥයන් හැම වෙලාවකම වළි කනවා. මැතිවරණයක් එනකොටම උතුරු පළාතෙන් එළියට එන්නේ එදා ප්‍රභාකරන් කිව්ව දේවල්මයි. මේ දේශපාලනඥයන් තැතින් තැන වපුරපු දේවල් කොච්චර පැළ වෙලාද කියලා මේ පළාත්වල වැඩිහිටි මිනිසුන් එක්ක කතා කරන කොට තේරෙනවා.
මාන්කුලමේ පදිංචි සුප්පයියා රාමසේකරන් අවුරුදු 80කින් 70ක්ම ජීවත් වෙලා තියෙන්නේ වන්නියේමයි. ඔහුගේ කතාවේදී කියැවුණේ දෙමළ ජාතික සන්ධානයේ පිරිස් කියන දේවල්මයි.

උතුරේ ආර්ථික සංවර්ධනය ගැන කතා කරන කොට උතුරේ මුස්ලිම් ජනතාව කියන්නේ ඔවුන්ට තමයි හැම පැත්තෙන්ම අසාධාරණයක් වුණේ කියලා. යාපනය මුවර් වීදියේ ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ ශ්‍යාමන් රහීම් මවුලවිවරයා කිව්වේ යුද්ධ කාලෙදිත් දැනුත් උතුරු පළාතේදී අසාධරණකම් වුණේ තමන්ගේ මුස්ලිම් වැසියන්ට කියලයි.

"යුද්ධ කාලෙදි අපේ මුස්ලිම් ජනතාව උතුරු පළාතෙන් එල්. ටී. ටී. ඊ. එක එළවලා දැම්මා. සේරම දේවල් නැති වුණා. යුද්දෙ ඉවර වෙලා ආවහම දැන් අපේ ඉඩම් නැහැ. ඒවාට වෙන අය ඔප්පු හදාගෙන ලියලා.

දැන් මන්නාරමෙත් ඒකමයි. මුස්ලිම් අය ජීවත් වෙන්නේ ගොවිතැන් කරලා, මාළු අල්ලලා නෙවෙයි. මේ අයගේ ප්‍රධාන රස්සාව වෙළෙ¼දාමයි. යුද්දෙන් තිබුණු සේරම විනාශ වෙලා ගියාට පස්සේ මහා පරිමාණයේ වෙළදාම් ආය පටන් ගන්න බැරිවෙලා තියෙනවා. වෙළෙ¼දාමක් කරන්න ඉඩක් නැහැ. දෙමළ පළාත්වලින් කුලියට වත් ගොඩනැඟිලි අපේ් අයට දෙන්නෙ නැහැ."

යුද්දෙන් පස්සේ ගතවුණු අවුරුදු අටේම අපි උද්ඝෝෂණ කරනවා. ඉල්ලීම් කරනවා. පෙළපාළි යනවා. මුස්ලිම් නායකයන් ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරනවා. ඒත් මේ අවුරුදු අටේම මුස්ලිම් වැසියෝ ජීවත් වෙන්න උත්සාහ කළ එක විතරයි වෙලා තියෙන්නේ."

යුද්ධය හමාර වුවත් උතුරේ වැසියන්ට ඇති ප්‍රශ්න ජාතිය, ආගම අනුව කොටස් කරලා වර්ග කරන්න අමාරු බව අපිට මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න දිහා බලන කොට තේරුම් යනවා. උගතුන්ට රැකියා නැහැ. රැකියා නැති උපාධිධාරීන් සිංහල, දෙමළ මුස්ලිම් විදියට උතුරු පළාතේ 6000ක් විතර ඉන්නවා.
තිස් අවුරුද්දක යුද්දෙ යුද ස්මාරක කඩලා දාලා වහන්න ගියා වගේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වහන්න බැහැ. යථාර්ථය එයයි.

කොළඹ සිට යාපනය දක්වා බස් රථ ගමන් කරන කොට අති සුඛෝපභෝගි දුම්රිය අධික වේගයෙන් උතුරට පියඹන කොට දකුණේ හැම කෙනෙක්ම හිතන්නේ දැන් මේ ප්‍රදේශ සංවර්ධිතයි කියලයි. ඒත් විශේෂයෙන්ම කිලිනොච්චිය, මුලතිව් වගේ පළාත්වල ප්‍රධාන මාර්ගයෙන් මඳක් ඇතුළුට ගිහින් ඒ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා ටිකක් හොයලා බැලුවොත් යුද්දෙන් පස්සේ මේ පළාත්වලට සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද කියලා ඔබලටම දැක ගන්න පුළුවන් වෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්