සයිටම් වෙනුවෙන් මරාගෙන මැරෙන සංගම්වලට නොපෙනෙන හොර ‍ෙදාස්තරලා හතළිස්දාහක් රට පුරාම

  👤  3207 readers have read this article !
By mawbima 2017-05-21

ගතවෙමින් ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමිතිය ගැන වෙන කවරදාටත් වඩා උනන්දු සහගත සංවාදයක යෙදෙන වකවානුවකි. "සයිටම්" වෙනුවෙන් මරාගෙන මැරෙන්නට රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සූදානම්ය. ශිෂ්‍ය සංගම් සූදානම්ය. දේශපාලන ව්‍යාපාර සූදානම්ය. මේ ජීවිත පරිත්‍යාග ප්‍රාප්ත සටන සෞඛ්‍ය සේවයේ ගුණාත්මක අගය, ප්‍රමිතිය පවත්වා ගැනීම වෙනුවෙන්ය.

සයිටම් හෝ වෙනත් ඕනෑම ප්‍රමිතිගත නොවන අධ්‍යාපන ආයතනයක් ව්‍යසනයක් බව සැබෑය. සයිටම් පිළිබඳව මතු කරන ගැටලුව එය පෞද්ගලික අධ්‍යාපන පීඨයක් වීම නොව එහි ප්‍රමිතියය. එහෙත් රටක් ලෙස අප වටහාගත යුතු යථාර්ථය නම් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය සඳහා මරාගෙන මැරෙන්නට යෑමෙන් පමණක් රටේ ගුණාත්මක සෞඛ්‍ය සේවයක් නූපදින බවය.

සයිටම්හි ප්‍රමිතිය වෙනුවෙන් දිවි පුදන්නට සූදානම් සෞඛ්‍ය සේවා සමාජයක් ස්වකීය අරගල කරන්නේ හතළිස් දහසකට ආසන්න හොර ‍ෙදාස්තරවරුන් සහිත රටකය. මොනම සෞඛ්‍ය අධ්‍යාපනයක්, විධිමත් ශික්ෂණයක් රහිත සදාචාර විරෝධී මිනීමරු ව්‍යාපාරයක් කරන මේ හොර ‍ෙදාස්තරවරුන් විෂයෙහි ක්‍රියාත්මක නීතියක් නැත. ඔවුන් ඉලක්ක කරගත් සමාජ විරෝධයක් නැත. තේරුම්ගත යුතු යථාර්ථය වන්නේ සයිටම් හොර උපාධි කඩයක් නම් ඒ හොර උපාධි කඩයෙන් දැනට රටේ සිටිනා තරම් හොර ‍ෙදාස්තරවරු බිහි කිරීමට වසර සීයක්වත් ගත වන බවය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ පවසන පරිදි එම සංගමය විසින් මීට තෙවසරකමට පෙර රටේ හොර දොස්තරවරුන් පිළිබඳ සමීක්ෂණයක් පවත්වා ඇත. එම සමීක්ෂණය ප්‍රකාරව රට පුරා සිටින ව්‍යාජ වෛද්‍යවරු ගණන 22,331කි. ඒ අතරින් වැඩිම ව්‍යාජ වෛද්‍යවරු ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් එවැනි පුද්ගලයන් 5,280ක් වාර්තා වී තිබේ. සමස්තයක් ලෙස ගත් කල බස්නාහිර පළාත අන් පළාත් අභිභවා මේ තර්ජනයට ගොදුරු වූ පළාත බව හඳුනාගෙන ඇත. බස්නාහිර පළාත පුරා සිටින එවැනි ව්‍යාජ වෛද්‍යවරු ගණන 9551කි.
පළාත් මට්ටමෙන් ගත් කළ උතුර පළාතෙන් හොර ‍ෙදාස්තරලා 1067ක් වාර්තාවේ. සබරගමුව පළාතෙන් වාර්තා වන ප්‍රමාණය 3,482කි. දකුණු පළාතෙන් 5,497ක්ද, උෟව පළාතෙන් 2,716ක්ද වාර්තා වී තිබිණි.

මේ 2014 වසරේ තත්ත්වයයි. අදවන විට ඒ තත්ත්වය ඊටත් වඩා දරුණු වී ඇත.
මේ සමීක්ෂණය සිදුවන කාලය වනවිට වත්මන් ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරයාය. මේ ව්‍යසනය නැවැත්වීම සඳහා යෝජනා මාලාවක් විෂය භාර ඇමැතිවරයාට භාර දුන් බව වෛද්‍ය අලුත්ගේ කියයි. ඔහු සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් කියයි. ඒ කිසිම දෙයකින් පලක් නොවූ බව කියයි.

"මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් අපි ඇමැතිවරයාට යෝජනා කළා තොරතුරු දැනුම් දීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න කියලා. අඩුගානේ ඒ දේවත් ක්‍රියාවට නැංවුණේ නෑ. වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා සමඟත් මේ තත්ත්වය ගැන දිගින් දිගටම සාකච්ඡා කළා. ඒවායින් කිසිදු පලක් වුණේ නැහැ." ඔහු වැඩිදුරටත් පවසයි.
එහෙත් "සයිටම්"ට එරෙහිව පෙළගැසුණු බලපෑම වැනි මතවාදී අරගලයක් මේ සැබෑ මිනීමරුවන් කෙරෙහි මුදා හරින්නට මේ වෘත්තීය සංවිධාන සූදානම් නැත. මක්නිසාදයත් මේ සැබෑ ගැටලු තුළ සයිටම් තරම් දේශපාලන රහක් නැත.

හඳුනාගෙන ඇති පරිදි මේ හොර ‍ෙදාස්තරලාගේ ඉතිහාසය කෙළවර වන්නේ ඩිස්පෙන්සරියක බෙහෙත් කලවම් කිරීමෙනි. ෆාමසියක නුපුහුණු සේවකයන් සේ වැඩ කිරීමෙනි. නැතහොත් දන්ත වෛද්‍යවරයකුගේ සහායකයකු ලෙසිනි. සයිටම් ශිෂ්‍යයන්ගේ සායනික පුහුණුව ගැන උනන්දු වන තරමටම මේ හොරුන් තිස් හතළිස් දහසේ ප්‍රමිතිය ගැන සෙවීම රටට වැදගත්ය.

වාර්තාවන තොරතුරු අනුව මේ රටේ නීත්‍යනුකූල ලියාපදිංචියක් නොමැති ෆාමසි 25,000ක් පමණ වේ. මේ ෆාමසි පවත්වාගෙන යන්නෝ සුදුසුකම් ලත් ඔෟෂධවේදීහු නොවෙති.

සුදුසුකම් ඇති ඔෟෂධවේදියකුගේ නෛතික වගකීම වෛද්‍යවරයෙක් විසින් ලබාදෙන නිර්දේශයකට අනුව ඔෟෂධ සැපයීමය.
ෆාමසියකින් වෛද්‍ය නියමයකින් තොරව බෙහෙත් නිකුත් කිරීම අද වන විට සාමාන්‍ය තත්ත්වයකි.

ස්වකීය රෝගය ගැන කියා ෆාමසියකින් දිනකට ඔෟෂධ ලබා ගන්නා රෝගීන්ගේ ගණන දළ වශයෙන් 25 ක් ඉක්මවන බව ගණන් බැලීමය. මේ ෆාමසිවලින් රෝගීන්ට කෝකටත් තෛලයක් සේ ලබාදෙන වේදනා නාශක නිසා වේදනාව සමනය වීමෙන් රෝගියා සිතන්නේ "වෛද්‍යවරයකු කුමකටද ෆාමසියෙන් අසා බෙහෙතක් ගන්නවා" කියාය. එහෙත් වෛද්‍යවරයෙක් එම බෙහෙත නිකුත් කිරීම සඳහා පුරා පස් වසරක වෘත්තීය ශික්ෂණයක් හා සායනික පුහුණුවක් ලබන බව ඔවුන් වටහා ගන්නේ නැත.

වෛද්‍ය මතය අනුව ඩෙංගු වැනි මාරාන්තික රෝගයක අනතුරුදායක බව වේදනා නාශක භාවිතය හේතුවෙන් දස ගුණයකින් ඉහළ යන්නේය.
එසේම විවිධ රෝග සඳහා ලබාදෙන ඇතැම් ඔෟෂධ වර්ග මත්ද්‍රව්‍ය ලෙස මිලට ලබාදෙන ෆාමසි නිසා තරුණ ජීවිත මත් උවදුරට යොමු වීමත් අවසානයේ ඔවුන් විවිධ දරුණු රෝගවලට ගොදුරු වීමේ අවදානම ඉහළ යෑමත් සිදුවන්නේය.

හොර ‍ෙදාස්තරලා අතර වැඩිමනත් පිරිස දේශීය වෛද්‍ය වෘත්තිකයන් ලෙස ක්ෂේත්‍රයට පැමිණි පිරිසය.
දේශීය වෛද්‍යවරු ලෙස ආයුර්වේද වෛද්‍ය සභාව පිළිගන්නේ එහි ලියාපදිංචි වූ වෛද්‍යවරු පමණි. ඔවුන් තෝරාගන්නා ආකාර කිහිපයකි. බොරැල්ල සහ යක්කල පිහිටි දේශීය ආයුර්වේද විශ්වවිද්‍යාලවලින් සමත්වන උපාධිධාරීන්ට දේශීය වෛද්‍යවරු ලෙස නෛතික අධිකාරීත්වයක් ආයුර්වේද වෛද්‍ය සභාව හරහා පිරිනැමේ. එසේම එම ආයතන විශ්වවිද්‍යාල බවට පත්කිරීමට පෙර ඒවායින් බිහිවූ ඩිප්ලෝමාධාරීන්ටද වෛද්‍යවරුන් ලෙස ආයුර්වේද සභාවේ ලියාපදිංචිය ලබාදී ඇත.
එසේම බාහිරව පවත්වන ආයුර්වේද ඩිප්ලෝමා (ච්ඪනතධථච ඪද ඒරභපමඥඤඪජ) විභාගයේ කොටස් තුනම සමත් වූ පසුද ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිත්වය හිමිවේ.

ඊට අමතරව විවිධ වෙද පරම්පරා විකාශනය වෙමින් හෙළ වෙදකමට සමත් පරපුරක් එම වෙද පරම්පරා හරහා බිහිවෙත්ද වාචික හා ලිඛිත පරීක්ෂණයක් ඔස්සේ එම පරපුරට වෛද්‍ය සභාවේ ලියාපදිංචිත්වය ලබාදීම සිදුවේ.

මෙවැනි නීත්‍යනුකූල ලියාපදිංචියක් හිමි දේශීය වෛද්‍යවරුන්ට වඩා එසේ නොවන ව්‍යාජ දේශීය වෛද්‍යවරු රට පුරා සිටින බවට තොරතුරු වාර්තාවී ඇත. කනගාටුවට කරුණ නම් එවැනි ව්‍යාජ වෛද්‍යවරු අද සමාජයේ නම ගිය බොහෝ දෙනා පිළිගන්නා තත්ත්වයේ පසුවන ආයුර්වේද වෛද්‍යවරු වීමය. තවත් පිරිසක් දේශපාලන බලය භාවිතයට ගනිමින් මේ කූට ව්‍යාපාරයේ නියැළෙති. මුදල් යහමින් වියදම් කර ලියාපදිංචි අංකයක් හොරට ලබාගෙන හොර වෙදෙක් වීම අපහසු කරුණක් නොවේ.
අෂ්ටාංග ආයුර්වේදයට අයත් බලිතොවිල්, යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් ආශ්‍රයෙන් රෝග සුවකිරීම සඳහා ඉදිරිපත් වන පිරිසක් වෙති. අෂ්ටකර්ම ප්‍රතිකාර සඳහා ලියාපදිංචියක් ලබාගන්නා කට්ට¾ඩි එම ලියාපදිංචි අංකයම යොදා ගනිමින් රෝගීන් සඳහා බෙහෙත් හේත් කිරීමද අද සිදුවන තවත් එක් කූට ව්‍යාපාරයකි.

තේරුම් ගතයුතු ඇත්තක් තිබේ. හොර ‍ෙදාස්තරලා විසි තිස් දහසක් නිදහසේ ජාවාරම් කරන රටක, හොර ෆාමසි විසි පන්දහසක් සහිත රටක, ෆාමසිකාරයන් ‍ෙදාස්තරලාගේ වැඩේ කරන රටක, කට්ට¾ඩියන් සෘෂිවරයන් සේ වෙස්වළාගෙන බෙහෙත් කරන රටකළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමිතිය හැදීම සඳහා සයිටම් විරෝධය පමණක් ප්‍රමාණවත් නොවන බවය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය වැනි ක්ෂේත්‍රයක ප්‍රමිතිය නිර්මාණය වන්නේ අධ්‍යාපනික ශික්ෂණයක් පමණක් නොව, උසස් ආකල්ප සංවර්ධනයෙනි. කොළඹ හෝ පේරාදෙණිය වෛද්‍ය පීඨවලින්, රුහුණෙන් හෝ කැලණිය වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය රැගෙන එළියට බැස්ස පමණින් පුද්ගලයෙක්ට ප්‍රමිතිගත වෛද්‍යවරයෙක් බවට සහතිකයක් ලබාදිය නොහැක්කේ එබැවිනි.

අප හැමදාම ප්‍රශ්නයක නිවැරැදි ඉසව්ව ස්පර්ෂ කිරීමට අපොහොසත්ව හිඳිමු.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්