ලක්ෂ 62 ක පාරිභෝගිකයන්ට විදුලිබල මණ්ඩලයට කරන්ට් වැදුණු ට්‍රාන්ස්ෆෝමර් මගඩිය

  👤  2759 readers have read this article !
By mawbima 2017-05-21

සී/ස ඹ්ඊඹ් හෝල්ඩින්ස් (පෞද්ගලික) සමාගම ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවිය යුතු ලාභාංශ නොගෙවීමේ මූල්‍ය අක්‍රමිකතාවක් හෙළි කරගන්නට "මව්බිම"ට හැකිවී තිබේ. අප සොයා ගත් අන්දමට රාජ්‍ය විගණනය මඟ හරිමින් අදාළ සමාගම මූල්‍ය වංචා රැසක් සිදුකර ඇති බව පෙනීයයි. රාජ්‍ය දේපළ උගසට තබා බැංකුවලින් අති විශාල ණය ලබා ගැනීමද ඒ අතර වෙයි.

සී/ස ඹ්ඊඹ් හෝල්ඩින්ස් (පෞද්ගලික) සමාගම ලංකා විදුලිබල මණ්ඩලය සමඟ සියයට 63 හා 27 වශයෙන් ඒකාබද්ධ සමාගමකි. එහි වැඩි කොටස් ප්‍රමාණය අයත් වන්නේ විදුලිබල මණ්ඩලයටය. මණ්ඩලයට ට්‍රාන්ස්ෆෝමර් සපයන සමාගම එය සිදු කරන්නේද මිල ගණන් කැඳවීමෙන් තොරවය. එම ගනුදෙනු 62 ලක්ෂයක් විදුලි පාරිභෝගිකයන් අසීරු තත්ත්වයට පත්කර ඇත.

අදාළ සමාගම මණ්ඩලයට ගෙවිය යුතු ලාභාංශ නිසි අන්දමින් ගෙවා නැත. සේවයකයන් සඳහා ගෙවිය යුතු ලාභාංශ ගෙවීමද පැහැර හැර ඇත. සමාගමේ සාවද්‍ය මූල්‍ය පරිහරණය ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයටද පැමිණිලි කර ඇති නමුත් මේ පිළිබඳ පරීක්ෂණ උදාසීන තත්ත්වයේ පවතින බව පෙනේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ උප සමාගමක් ලෙස අදාළ සමාගම ලියා පදිංචිකර තිබෙන්නේ 1982 දීය. කොටස් හිමිකාරිත්වය 63%, 27%, 10% වශයෙන් 27%ක්වූ කොටස් සමාගමට සම්බන්ධ උප සමාගමක් වන ඹ්ඊඹ් ඊසොට් ලිමිටඩ් වෙතද ඉතිරි 10% සේවකයන් සඳහාද ලබාදී තිබේ. අපට දැන ගැනීමට ලැබෙන ආකාරයට ලාභාංශ ගෙවීම නිසියාකාර සිදුකර නැත.

සමාගම් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තු වට ඉදිරිපත් කර තිබෙන පෝරමයක සඳහන් වන ආකාරයට සමාගමේ සේවක ලාභාංශය වූ රුපියල් 85,300,200ක මුදල ගෙවා තිබෙන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් 7 දෙනා වෙතය. ඔවුහු ආයෝජනය කර ඇති මුදල රුපි. 70කි. එනම් රුපි 10 බැඟින් වූ කොටස් 7කි. එය ඉතා බරපතළ මූල්‍ය අවභාවිතාවකි. මංකොල්ලයකි. 2013, 2014 වර්ෂ සඳහා වූ එම සමාගමේ විගණන වාර්තා අනුව සමස්ත ලාභය රුපි. දශ ලක්ෂ 746.38ක් හා රුපි. දශ ලක්ෂ 634.34කි. 2010/11, 2011/12 වර්ෂ දෙකේ ලාභාංශ රුපි. දශ ලක්ෂ 15 හා 75කි. එහෙත් එම මුදල් නිසි අයුරු ලංකා විදුලිබල මණ්ඩලයට සහ සේවක භාරකරුවන් වෙත ගෙවා නැත.

2013 වර්ෂය සඳහා කොටස් වෙනුවෙන් වූ ලාභාංශය රුපියල් 1,366,908,117කි. 2014 වර්ෂය සඳහා එම මුදල 1,926,246,182කි. පෙනී යන ආකාරයට මෙම මුදල් ප්‍රමාණයන් පරිහරණය කර තිබෙන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් 7 දෙනා විසින් ඉතා පැහැදිලි ලෙස පෙනී යන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ 63%ක් වූ කොටස් වෙනුවෙන් ලාභාංශ ගෙවීමක් සිදුකර නැති බවය. එය සෘජුවම රජයට ලැබිය යුතු මුදල් අවභාවිතාවකි. එම මුදල්වලට සිදු වූයේ කුමක්ද යන්න රාජ්‍ය විගණන අංශ විසින් වහා සෙවිය යුතුය.

මෙහිදී අපට හෙළිවූ තවත් කරුණක් තිබේ. ඹ්ඊඹ් හෝල්ඩින්ස් (පෞද්ගලික) සමාගමක් බැවින් රාජ්‍ය විගණන දෙපාර්තමේන්තුවට සමාගමේ මූල්‍ය කටයුතු විමර්ශනයට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බව පවසමින් සමාගම මූල්‍ය විමර්ශන මඟහැර යෑමට දිගින් දිගටම උත්සාහ කර තිබෙන බවය.
ලංකා විදුලිබල මණ්ඩලය සමාගමේ 63%ක කොටස් හිමිකාරිත්වය දරයි. එසේනම් පොදු ව්‍යවසාය කාරක සභාවට සමාගමේ මූල්‍ය ක්‍රියා කාරිත්වය විමර්ශනයට අයිතියක් ඇත. යටකී නිලධාරීන් එම අයිතිය පිළිගෙන තිබෙන්නේ කෝප් කමිටුව නීති මඟින් සමාගමට එරෙහිව පියවර ගන්නා බව දැනුම් දීමෙන් පසුවය. යටකී මඟහැර යෑමේ ප්‍රසත්නයන්ගෙන් සමාගමේ මූල්‍ය කටයුතුවල විනිවිදභාවයක් නැති බව තහවුරුවේ.

සමාගම සම්බන්ධයෙන් කෝප් කමිටුව නිකුත් කළ 2016. 02. 09 හා අංක 1 දරන වාර්තාවට අනුව ලංවිමට ලැබිය යුතු මිලියන 7184ත්වූ ලාභාංශවලින් ඇත්තේ මිලියන 6952ක් පමණි. මිලියන 232ක මුදලක් ගෙවීම සමාගම විසින් පැහැර හැර තිබේ. සමාගමේ අධ්‍යක්ෂවරයකුට එක් රැස්වීම් ධුරයක් සඳහා රුපියල් 25,000 බැගින්ද සභාපතිවරයාට රැස්වීම් වාරයකට රුපි. 40,000 බැගින්ද ගෙවා ඇත. මෙවැනි දූෂිත මූල්‍ය වට පිටාවක් තිබියදී ලංකා විදුලිබල මණ්ඩලය ඹ්ඊඹ් හෝල්ඩින්ස් (පෞද්ගලික) සමාගම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් ක්‍රියාකර තිබෙන ආකාරය ගැන බරපතළ සැක මතුවේ. කෝප් කමිටුව මඟ හැරීමටත් විගණකාධිපතිගේ විගණනයට යටත් නොවීමටත් සමාගම ප්‍රයත්න දැරුවේ මන්ද යන්නට ජනතාවට නිසි පිළිතුරු ලැබිය යුතු බව "දූෂණ විරොධී හඬ" සංවිධානයද අදාළ අංශවලට පැමිණිලි කර තිබේ.

අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්