උතුරු මැද අර්බුදය පෙරැළියක ඇරැඹුමද?

  👤  2817 readers have read this article !
By mawbima 2017-05-21

පාලන ලේකම්ලා පළාත් සභාව බූදල් කරගෙන

මට නම් හිතෙන්නේ ඔය පළාත් පාලන මැතිවරණය පවත්වන්න ඕන වෙලාව දැන් පහුවෙලා ඉවරයි කියලා. ආණ්ඩුවේ මතය ගැන මං නං දන්නේ නැහැ. මම කිව්වේ මගේ මතය. ගිය ආණ්ඩුව තමන්ට වාසි සහගත විදියට කොට්ඨාස කැඩුවා. ගැටලුව ඒකයි. මම නම් කියන්නේ ජනවාරි 08 අපිට ජනවරම ලැබුණු වෙලාවේ මැතිවරණය තිබ්බා නම් හරි දින 100යේ ඒවා දදා ඉන්නේ නැතිව. දැන් මේක තනිකරම කැඳ හැළියක්, අච්චාරුවක් වෙලා ඉවරයි.

අවුරුදු ගාණක් දුක් විඳපු මිනිස්සු බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙන තමයි අලුත් ආණ්ඩුව පත් කර ගත්තේ. හැබැයි ඒ කාගෙවත් බලාපොරොත්තු ඉටු වෙලා නැහැ. මේක සුරපුරයක් වෙයි කියලා හිතුවත් ජනතාව හිඟන්නෝ වුණා විතරයි. දැන් ඉන්න පළාත් පාලන ලේකම්ලා පළාත් සභාව තමන්ගේ බූදලයක් කරගෙනයි වැඩ කරන්නේ. ඒ අය හරිම හිතුවක්කාරයි. මම දන්නේ නෑ කාගෙ වුවමනාවටද එහෙම හැසිරෙන්නෙ කියලා. මේ රට බොහොම අපූරුවට, ලස්සනට හදන්න පුළුවන් රටක්. අපරාධයක් මේ රටට කරන්නේ. මට නම් තේරෙන්නේ නෑ මේ මොන මඟුලක්ද කියලා.

සල්ලි වියදම් කරලා
ඔළුගෙඩි පෙන්නුවට
බලය ගන්න බෑ

මේකට මුල තමයි මහින්ද රාජපක්‍ෂ මැතිඳු මැයි පළමුවැනිදා මහා සෙනඟක් මැයි රැලියට අරගෙන ආපු එක. එතුමා හිතනවා ඒ කරපු දෙය මහා ලොකු දෙයක් කියලා. ඉතින් ඔළුගෙඩි මාරු කරලා බලය දිනා ගන්න ක්‍රියාමාර්ගයක් විතරයි මේක. සල්ලි වියදම් කරලා ඔළුගෙඩි ටිකක් පුරෝලා පෙන්නුව පමණින් බලය ගන්න බැහැ. එතුමාට බලයක් නැති නිසා පළාත් සභාවලට බලය ගන්න හදනවා. එයාලගේ ෆැසිස්ට්වාදී, ජාතිවාදී අදහස් ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි. උතුරුමැදට වුණු දේ හෙට මධ්‍යම පළාතටත් විය හැකියි. ඒකට මෛත්‍රිපාල සිරිසේන මහත්මයා සූදානම් වෙලයි ඉන්නේ.

සැබෑ ජන මතය වෙනස්

හරිම පැහැදිලියි මේ ආණ්ඩුව ජනතාවගේ මූලික අයිතියක් වුණු මැතිවරණයකදී ඡන්දය පාවිච්චි කිරීමේ අයිතියත්් උල්ලංඝනය කළා කියන එක. ජනතාවට අයිතියක් තියෙනවා රජයට පක්ෂව හෝ විපක්ෂව තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීමට. ජනමතයට ඉඩ සෑදීම වෙනුවට එයාලා උත්සාහ කරනවා සරල නීති දාලා තාක්ෂණ දෝෂ පොයින්ට් එකක් කරගෙන මැතිවරණය කල් දාන්න.

උතුරුමැද පළාත් සභාවේදිත් සිදුවුණෙ පොඩි තාක්ෂණික කරුණුවලින් පොයින්ට් හදාගෙන ඇඟ බේරාගැනීමක්. නමුත් සාමාන්‍ය ජනතාවගේ ජනමතය ඒක නෙමෙයි. සාමාන්‍ය ජනතාවගේ ජනමතය වෙනස් නිසා තමයි ඔවුන් ඡන්දය තියන්නේ නැත්තෙත්. මේ ආණ්ඩුවේ ඉන්න අය කයිවාරු ගහලා වචන කෙළ කෝටියක් මහපොළොවට හලනවා විතරයි.

ඒකාබද්ධ විගඩම් නවත්තලා ආණ්ඩුවට වැඩ කරන්න දෙන්න ඕනෙ

උතුරුමැද ඇත්තටම වෙලා තියෙන්නේ ඒකාබද්ධ විපක්‍ෂය බලය අල්ලා ගන්න කරන සූදානම නිසා ගැටලු මතුවීමක්. මේ වෙද්දි මහ ඇමැතිට විරුද්ධ වුණු අයම ඇමැතිකම් අරගෙන ඉවරයි. හිටපු කණ්ඩායමම අද උතුරු මැද පළාත් සභාවේ පාලනය ගෙනියනවා. ඒකාබද්ධ විපක්ෂයේ අරමුණු ගිලිහිලා ඉවරයි.
අවුරුදු ගාණක් බලයේ ඉඳලා ඒ බලය අහිමි වුණාම ඔවුන් කොහොම හරි නැවත බලය අල්ලගන්න තමයි උත්සහ කරන්නේ. ජනවාරි අටවැනිදා වගේම 2015 මැතිවරණයේදිත් මේ රටේ ජනතාව මහින්ද රාජපක්‍ෂ මහත්තයාට හොඳම උත්තරේ දුන්නා. ඒ විරෝධය ප්‍රකාශ කළා. යහපාලනයට බලය දුන්නා. එතැනින් එහාටත් තමන්ට බලය තියෙනවා කියලා පෙන්වන්න ඒකාබද්ධ විපක්ෂය මේ කරන විගඩම් ටික නතර කරලා යහපාලන ආණ්ඩුවට වැඩ ටික කරගෙන යන්න ඉඩ දුන්නා නම් හරි.

ප්‍රජාතන්ත්‍රවාදයක් නැති
ආණ්ඩුවක්

මම අහන්නේ හරි හෝ වැරැදි ලියුමක් ආණ්ඩුකාරයාට දුන්නට භාර ගන්නේ නැත්නම් මොකක්ද එතන තියෙන යහපාලනේ සහ ප්‍රජාතන්ත්‍රවාදය. කොහෙද අපි නවතින්නේ. ලියුම භාරගෙන අස්වෙන එක වෙන කතාවක්. මේක ප්‍රජාතන්ත්‍රවාදයක් නැති ආණ්ඩුවක් යූ.එන්.පි. යට කොහොමත් අපි එක්ක ප්‍රශ්නයක් තියෙනවා. අපි මහ බැංකුවේ බැඳුම්කර සිදුවීමත් එක්ක ඉන්න නිසා තමයි රනිල්ට හොරකම් කරන්න බැරිවෙලා තියෙන්නේ. මෙයාලා මැයි දිනේට ආපු සෙනඟ දැකලා රෑට ගෙදර ගිහිල්ලත් බය වෙනවා, ඒකයි.

වතුර හැළිය රත් වෙනකල් නැටිලි තමයි

මෙහෙමයි, මොන අරගල තිබුණත් ඔය කොයි කවුරුත් දැනගන්න ඕනා 2020 වෙනකන් කාගෙත් හිත් රිදවන්නේ නැතිව වැඩ කරන්න. යූ.එන්.පි. ය හැමදාමත් විනීතයි. ශ්‍රී .ල.නි.ප. ය බොරුවට චූන් වෙලා දඟලනවා. එයාලා දන්නේ නෑ එයාලටත් වෙන්නේ අර කකුළුවට වුණු දේ කියලා. මොකද හැළිය රත් වෙනකන් තමයි නැටිල්ල. පළාත් සභාවේ සිද්ධ වෙන අර්බුදයට යහපාලන ආණ්ඩුවේ බලපෑමක් නැහැ. අපි ඕවාට වගකියන්නෙත් නැහැ.

රටට නිවැරැදි
නායකත්වයක් නෑ

මේ හැමදේකටම බලපාන ප්‍රධානතම සාධකය තමයි රටට නිවැරැදි නායකත්වයක් නොතිබීම. මේ රටේ සෑම ක්ෂේත්‍රයක්ම අර්බුදකාරි තැනක තමයි තියෙන්නේ. උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්නට තමන්ගේ මන්ත්‍රිවරු ටිකවත් ජනතාවත් දිනා ගන්න බැරිවුණා. මේ බල ගැටුමට ඒකාබද්ධ විපක්ෂය නායකත්වය දෙනවා කියන කතාව බොරුවක්. ජනතාවගේ අයිතීන් උල්ලංඝනය වෙද්දී ජනතාවට ආදරේ කරන පිරිසක් විදියට අපි හැමදාම ඉන්නේ ජනතාවගේ පැත්තේ. අපි කියන්නේ බහුතර කැමැත්ත අනුව තනතුරු දිය යුතුයි. එහෙම නැත්නම් මේක විසුරුවාහැරිය යුතුයි. උතුරු මැද පළාත ඒකාබද්ධ විපක්ෂය ජයගත්තොත් අපි ජනතාව වෙනුවෙන් කැපවුණු ඉතාමත් හොඳ පළාත් සභාවක් හදලා පෙන්වනවා.

කවුරු බලය තහවුරු කරගත්තත්
ජනතාව වෙනුවෙන් නෙවෙයි

අපි දකිනවා, අපිට පක්ෂයක් විදියට පේනවා මේ රට පාලනය කරන ආණ්ඩුව ප්‍රමුඛ සියලු දෙනාටම ලොකු ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න වෙලා තියෙන බව. මූල්‍ය අරමුදලේ කොන්දේසි වැටිලා, ඒ අතරතුර ජනතා උද්ඝෝෂණ වැඩිවෙලා තියෙනවා. බලය තිබෙන පිරිස් බලන්නේ කෙසේ හෝ තම තමන්ගේ බලය වැඩි කරගන්න. ඔවුන් කරන එකකිසිම දෙයක් ජනතාව වෙනුවෙන් කරන දේවල් නොවෙයි. ජනතාවට බැලුබැල්මට පේන්නේ ඔවුන් මේ සේරම කරන්නේ තමන්ගේ ප්‍රශ්න විසඳීමට කියලයි. නමුත් පැහැදිලිවම ජනතා ප්‍රශ්නය මේ පළාත් සභා බල ක්‍රීඩාවෙහි කිසිම සම්බන්ධයක් නැහැ.
කවුරු බලය තහවුරු කරගත්තත් ඒක කරන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න නෙමෙයි. ජනතාවත් මෙතැනදි බල අරගලයට විසිල් ගැහුවා කියලා කිසිම යහපතක් වෙන්නේ නැහැ.

මැතිවරණ ඉල්ලන්න
මහින්දට සදාචාර
අයිතියක් නෑ

තමන්ට පක්ෂ බලය තහවුරු වෙනකන් ඡන්ද කල් දැමීමත් වැරැදියි. මහින්ද රාජපක්ෂ පාලන සමයේත් මේ ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ආකාරයට තමයි මැතිවරණ පැවැත්වූවේ. ඒ සඳහා විශාල වශයෙන් ජනතා විරෝධයක් ඇතිවීමේ ප්‍රතිඵලය විදියට තමයි මෛත්‍රිපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ බලයට ආවේ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරන්න ඔවුන්ටත් සදාචාරාත්මක අයිතියක් නැහැ.

පැස්බරා තමන්ගේ ඔළුව වැල්ලේ හංගගෙන හිටියට උගේ පශ්චාත්භාගය හැමෝටම පේනවා. මේ ආණ්ඩුවත් හරියට ඒ වගෙයි. ජනතාව දන්නවා මේ ආණ්ඩුවේ සියලුම දුබලතා. ඒ වගේම මේ කාරණයත් සඳහන් කළ යුතුයි. සුමනදාස හදපු හඳහන සහ වේලාව අනුව මැතිවරණ පවත්වපු මහින්ද රාජපක්ෂටත් කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ මැතිවරණ ඉල්ලා සිටින්න. එක තමයි ලොකුම විහිළුව.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්