කුරුන්දන්කන්ද ගමම කාපු අවතාර කුඹියෝ

  👤  2923 readers have read this article !
By mawbima 2017-05-21

කාන්තාර බිමක හිස පමණක් ඉතිරි වන සේ වළ දැමූ මිනිසෙක් ජීවිත ගලවා ගන්නට වෙහෙසක් දරයි. එහෙත් මොහොතකින් ඔහු වෙත ඇදෙන්නේ කුහුඹුවන් දෙතුන් දෙනෙකි. තප්පර කිහිපයක් ගත වෙද්දී කෝටි ප්‍රකෝටි ගාණක් කුහුඹුවෝ ගොදුර කරා ඇදෙයි. මොහොතකින් ඉතිරි වන්නේ හිස් මහ පොළොව පමණි.
මිනිසා කුහුඹුවන්ගේ ගොදුරක් වී හමාරය.

ජ්ඪපඥ ඒදබඵ චිත්‍රපටයේ කියවෙන්නේ අති බිහිසුණු මිනීමරු කුහුඹුවන් ගැනය. මනුස්ස ජීවිත බිලිගන්නා බිහිසුණු කුහුඹුවන් ගැන බොහෝ විට අප අසා තිබෙන්නේ සුරංගනා කතාවලය. නරඹා ඇත්තේ චිත්‍රපටවලය. ඇමසන් වනයේ මෙවැනි අද්භූත සතුන් සිටින බව කියවා තිබෙන අතර සැබෑවට ඒවා අත්විඳ තිබෙන්නේ නම් එය අතිශය කලාතුරකින්ය.

එහෙත් කුහුඹු ආක්‍රමණයට බිය වී මිනිසුන් අත්හැර දමන්නට සැරසෙන ගමක් තිබේ. විපිලිසර වන ඔබ ඒ ගම 'පිට රටක එකක්' කියා සිතනු ඇත. එහෙත් ඒ ගම පිහිටියේ මෙහේය. ලංකාවේය. බෝපේ, පෝද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අක්මීමන 'කුරුන්දකන්ද' ගම කූඹි ආක්‍රමණයකට හසු වෙලාය. දැන් මුළු ගමම කුහුඹුවන්ගේය.

කුරුන්දකන්ද ගමේ මීට මාසයකට පමණ පෙර මිනිසෙක් අතුරුදන් විය. ගම්වැසියෝ එක්ව ගම පුරා පීර පීරා බැලුවද අතුරුදන් මිනිසා හමුවූයේ නැත. දින කිහිපයකට පසු අහම්බෙන් කුරුන්දකන්ද රක්‍ෂිතයට ගිය ගැමියන් කිහිපදෙනකුට භීතියෙන් ඇලළී යන දසුනක් දැකිය හැකි විය.
ගෙල වැලලාගෙන මියගොස් සිටි මිනිසාව කූඹි කා දමා තිබිණි. කුරුන්දකන්ද බිහිසුණු අඩවියක් වූයේ ඒ සමඟිනි. මිනී කන කුහුඹුවන් කුරුන්දකන්ද ආක්‍රමණය කළේ එහෙමය.

දැන් කුරුන්දකන්ද මිනී කන කුහුඹුවන්ගේ රජදහනකි.
කුරුන්දකන්ද දුෂ්කර ගමකි. 1974 සමඟි පෙරමුණ රජය විසින් ලබාදුන් ඉඩම්වල නිවෙස් 400ක් පමණ ඉදිවී තිබේ. නිවාස ඉදිකරද්දී ගල් ගොඩැලි නිසා අක්කර කිහිපයක් අත්හැර දමා තිබෙන අතර එය වන ලැහැබක්ව තිබේ.

මේ කුහුඹු ආක්‍රමණය සිදුව ඇත්තේ ඒ ගමේ කොටසකටය. දිනෙන් දින කුහුඹුවන් ආක්‍රමණය කරන නිවෙස් සංඛ්‍යාව ඉහළ නඟී.
ඔබ අහම්බෙන් හෝ කුරුන්දකන්දට යන්නේ නම් ඔබව විමතියට පත්වන බොහෝ දෑ එහි සිදුව තිබෙන හැටි බලාගත හැකිය.
ගම්මානයේ නිවෙස්වල තුරුවැල් කිසිවක දලුකොළ ඉතිරිව නැත. සියල්ල කුහුඹුවන් කා දමලාය. බොහෝ ගස්වල දැවැන්ත බඹර වද තරම් විශාල කුහුඹු ගොහොටා සිය ගණනකි. ගස් සියල්ල කුහුඹුවන් අයිති කරගෙනය. කුහුඹු ගොහොටයක කෝටි ගාණක් කුහුඹුවෝය.

අවි දැරූ ත්‍රස්තවාදීන් සේ නිවෙස්වලට කඩා වදින කුහුඹුවෝ පැමිණි මඟ සලකුණු පවා ඉතිරි කරති. ගමන් ගන්නා මඟ තැවරෙන ඉටි වැනි ද්‍රාවණයකින් පිලිස්සුම් සලකුණු දැකිය හැකි බව කියැවේ. ගෘහස්ථ විදුලි රැහැන් පද්ධති පවා කා දමන කුහුඹුවන් ඇඳුමක්වත් ඉතිරි කරන්නේ නැත.

'ගෙවල්වල කූඹි කොහොමත් ඉන්නවා. නයි කූඹි, තෙල් කූඹි, කළු කූඹි, බැඳි කූඹි වගේ උන්. ඒත් මුන් මොක්කුද කියලා අපි දන්නේ නෑ. මේ යක්‍ෂ කූඹි වර්ගයක්. මුන් කෑවම රතු පාට ලප එනවා. අපි ‍ෙදාස්තර මහත්වරු ගාවට ගියාම එයාලා අහනවා ඩෙංගුද කියලත්. අපිට වෙලා තියෙන්නේ කූඹි කෑවා කියන්න. පොල් ගෙඩියක් කඩාගන්න, කොස් ගෙඩියක් කඩාගන්න මනුස්සයෙක් ගහකට යවා ගන්න බෑ. ඉස්සර අලි කරදරේ. ඒත් උෟ ඇහැට පේනවා. මුන් කනකට රිංගුවත් හොයා ගන්න බෑ. අනික කෝටියක් විතර එනවා.'

ඩී. ධර්මකාන්ති මහත්මිය එසේ කීවාය. අෑ කියන්නේ අලි කරදරේ මීට වඩා හොඳ බවය.
'හරියටම මැර හමුදාවක් වගේ කඩා පාත්වෙන්නේ. ගහකොළ විතරක් නොවේ, ජීවිත පවා විනාශ කරලා තියෙන්නේ. රංචු රංචු ගාල් වෙලා ඉඳලා කඩා පනිනවා. ගස් මුදුන්වල කූඩු තියෙන්නේ. ගිනි තියන්න, බෙහෙත් ගහන්න බෑ. එහෙම කළත් ආයේ ටිකකින් එනවා. බැරිම තැන අපි මේ කූඹි ගොහොටවලට දිමි ගොහොට දැම්මා. පස්සේ බලන කොට දිමියෝ නෑ. උන් සේරම කූඹි කාලා. බලධාරීන්ට කීවා. කිසිම පලක් වෙලා නෑ.'

කේ.ටී. අමරසිංහ මහතා කුරුන්දකන්ද ගම් වැසියෙකි. ඔහු මේ උවදුර ගැන කීවේ එවැන්නකි.
'හරියට පෙරහරක් වගේ එන්නේ. අහල තියෙන රක්‍ෂිතයෙන් තමා මුන් බෝ වුණේ. අපිට වගාවක් කරන්න බෑ. පැලපතේ ඉඳන් කනවා. ගෙඩිමල් සේරම ඉවරයි. ඉලෙක්ටි්‍රක් බඩු පවා ඉවර කරනවා. කරන්ටෙක හිටි ගමන් පිච්චෙනවා. ගොවි නියාමකලා, සමෘද්ධි නියාමකලා විසඳුමක් දෙන්න සද්දයක්වත් නෑ.
එම්. කාරියවසම් මහත්මිය මේ ව්‍යසනයෙන් උග්‍ර පීඩාවක් විඳින්නියකි.

පෘථිවියට ආගන්තුක කෘමි වර්ගයක් හේතුවෙන් ඇමෙරිකවේ නිව් ඉන්ග්ලෑන්ඩ් හි දැවැන්ත ගස් මිලියන ගණනක් මිය යමින් සිටින බව හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් හෙළිකර ගත්තේ ඉකුත් වසරේදීය. අදාළ ආගන්තුක කෘමි විශේෂය හමුදාවක ස්වරූපයෙන් විශාල වශයෙන් පෙරට ගමන් කරමින් සියලු ගස් විනාශ කිරීමේ නිරතව සිටි බව එවක හාවර්ඩ් සරසවියේ පරිසරවේදියෙක් වූ ඩේවිඩ් ඔර්විග් අනාවරණය කළේය. ඉදිරි වසර 10 තුළ ඇමෙරිකාවේ වනාන්තරවලින් සියයට 63ක්ම මෙම කෘමි හමුදාව විසින් විනාශ කරනු ඇති බවට පරිසරවේදීන් අනතුරු හැඟවීය.

'වනජීවී එකෙන් වතාවක් ආවා. ඇවිත් කීවේ කෘමිනාශක ගහලා තමයි පාලනය කරන්න තියෙන්නේ කියලා. තව තියෙන යෝජනා හදාගෙන එනවා කියලා එයාලා ගියා. ආයේ ආවේ නෑ. සමහර විට එයාලා වාර්තා අරන් එනකොට අපිට මේ ගම කූඹින්ට දීලා යන්න වෙලා තියෙයි.'
ඩබ්ලිව්. ආරියදාස මහතා එහෙම කියයි.

'අපි මහ අහිංසක මිනිස්සු මහත්තයෝ. කඩේකට ගිහින් කන්න බොන්න බඩු ගේන අතරේ වහ කුප්පියකුත් ගේන්න වෙලා. ඒ කූඹි මරන්න. මොකක්දෝ කරුමෙකට අපි මේ ගමට ඇවිත්. වත්තේ එක ගහක් නෑ. සේරම කූඹි කාලා. හැමදාම වස ස්ප්‍රේ කරන්න ඕනා. ගේ වටේටම ස්ප්‍රේ කරන්න දවසකට එක බෝතලයක් යනවා. එකක් රුපියල් 250යි. ඉතින් කොහොමද ජීවත් වෙන්නේ. කෝටි ගණන් කූඹි මරන්න වහ කුප්පි ඇද ඇද ඉන්න බෑ අපිට. අපි ආණ්ඩුවෙන් රස්සා ඉල්ලන්නේ නෑ. සහනාධාර ඉල්ලන්නෙත් නෑ. ඒත් නිදහසේ ජීවත් වෙන්න මේ උවදුර නැති කරලා දෙන්න.'

පී.එන්. මුදිතා මහත්මිය කියන්නේ කලකිරුණු සිතිනි.
මේ පිළිබඳ බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් ලලින්ද ගමගේ මහතා පැවැසුවේ මේ කුහුඹු විශේෂය මීට පෙරද තේ ඉඩම්වල සිටි බවය.
'කුරුන්දකන්ද ගෙවල් 30කට පමණ මේ ගැටලුව තියෙනවා. වනජීවී කාර්යාලයෙන් මේ ගැන පරීක්‍ෂණ කළා. කෘමිනාශක මඟින් පාලනය කරන්න ඕන බව ඒ අය කීවා. ඒ සඳහා රුපියල් ලක්‍ෂයක පමණ මුදලක් වියදම් වෙනු ඇති බවත් පැවැසුවා. ඒ සඳහා ඇස්තමේන්තුවක් හදනවා.'

මෙහෙම ව්‍යසනයක් පිළිබඳ මෑතකදී ඉතියෝපියාවෙන් වාර්තා විය. ඉතියෝපියාවේ වර්ග කිලෝමීටර් දහස් ගණනක වනාන්තර කලාපයක් කූඹි විශේෂයක් විසින් ආක්‍රමණය කර තිබූ අතර මෙම කුහුඹු විශේෂය අවතාර කුහුඹුවන් ලෙස නම් කළේ උන්ගේ බිහිසුණු බව නිසාය. එක් රැජනකගේ නායකත්වයෙන් යුතු මෙම කුහුඹු විශේෂය වර්ගයා සීග්‍රයෙන් බෝ කරමින් තවත් ප්‍රදේශවල ආක්‍රමණික ස්වරූපයෙන් ව්‍යාප්ත වන බව එරට මාධ්‍ය වාර්තා කළේය. තමන්ගේ කලාපයට පැමිණෙන විශාල ප්‍රමාණයේ ජීවියකු වුවද අඩපණ කර ආහාරයක් බවට පත්කර ගැනීමට මෙම කුහුඹු විශේෂය සමත්වීමත් දැවැන්ත අලියකු වුවද කඩිනමින් අතුරුදන් කිරීමට සමත්වීමත් ඒ කුහුඹුවන්ගේ බිහිසුණු බව කියාපාන සාධකයකි. ඊටත් පෙර මෙවන් ආක්‍රමණකාරී කුහුඹු විශේෂයක් මෙක්සිකෝවෙන් වාර්තා වූ අතර එම කුහුඹු විශේෂය විසින් මෙක්සිකෝවේ කිලෝමීටර් 6000ක ප්‍රදේශයක් ආක්‍රමණය කරනු ලැබීය.

ඉතියෝපියාවෙන් වාර්තා වූ හොල්මන් කුහුඹුවන් ලොව පුරා පැතිර යෑමේ අවදානමක් පවතින බව විද්‍යාඥයෝ පැවැසීය. කුරුන්දකන්ද ගම ආක්‍රමණය කළේ ඒ හොල්මන් කුහුඹුවන්ද කියා තාමත් නිශ්චිත නැත. එහෙත් දැන්ම තියා විසඳුම් සෙවීම ඉතා වැදගත්ය. මක්නිසාදයත් නියපොත්තෙන් කඩන්න තිබියදී සුළුවෙන් සලකා හෙටට කල් දැමූ බොහෝමයක් දේ අන්තිමට පොරවෙන් වත් කපන්නට නොහැකි තැනට පත්වූ බව අප දන්නා නිසාය. ඒ නිසා අපට කියන්නට තියෙන්නේ 'කුරුන්දකන්ද ගමේ අශ්වයා තාමත් ඉස්තාලයේ බවය. පැන යන්නට පෙර ඉස්තාලය වැසීම බලධාරීන්ගේ වැඩක්ය.

රංජිත් කුමාර සමරකෝන්,
ගාල්ල - එච්. පරණවිතාන,
ඉමදුව - ටී.විතානවසම්
සේයාරූ. එච්. පරණවිතාන, ටී. විතානවසම්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්