වැඩිවෙන ජල බිලට එරෙහි මව්බිම මෙහෙයුම

  👤  2806 readers have read this article !
By mawbima 2017-05-21

පානීය ජලය මිලට ගන්නා පාරිභෝගික ජනතාවට ආණ්ඩුවෙන් ජලය ලබාදෙන්නේ කොපමණ මිලකටද? ඒ මිලටම ජලය මිලට ගන්නවා විනා ඔවුනට අන් විකල්පයක් නැත. මෙතැනදී පාරිභෝගිකයන් පත්වන අසීරුතාව පිළිබඳ රජයේ අවධානය වඩ වඩාත් යොමු විය යුතුව ඇත්තේ ජල ගාස්තුව සාමාන්‍ය ජනතාව මත පැටවෙන තවත් මහා බරක් නිසාය.

ජල ගාස්තු වැඩිකිරීම සඳහා විෂය භාර ඇමැතිවරයාගේ සැරසීම පාරිභෝගිකයාගේ පැත්තෙන් බැලූ බැල්මටම නොසතුටට කරුණකි. නමුත් අදාළ බලධාරීන් ජල ගාස්තු ඉහළ දැමීම වෙනුවට ඒ සඳහා ගත හැකි විකල්ප දැක දැක නොදැක්කා සේ සිටීම කනගාටුවට කරුණකි.
මේ පිළිබඳ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවක සහ වෘත්තීය සමිති දැක්වූ අදහස් ඔස්සේ හෝ ජල ගාස්තු වැඩි කිරීමට සැරසෙන බලධරයන්ගේ වැසුණු දෙනෙත් විවර විය යුතුය.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පවතින ඇතැම් අක්‍රමිකතා හේතුවෙන් මණ්ඩලයට අහිමි වී යන ධනය සුළුපටු නොවන බව එම වෘත්තීය සමිති කියයි. වගකිවයුතු නිලධාරීන්ගේ සහ බලධාරීන්ගේ නොසැලකිලිමත්කමත්, මණ්ඩලය තුළ සිදුවන නාස්තියත්, විවිධ දේශපාලන අතපෙවීම් නිසාත් මණ්ඩලය තුළදීම මණ්ඩලයට අහිමි වී යන ධනය විශාල බව පෙන්වා දෙන ඔවුහු එම මුදල නිසි කළමනාකරණයක් යටතේ සිදු වී නම් මෙවැනි ගාස්තු වැඩි කිරීමක් අනවශ්‍ය බව පවසති.
වෘත්තීය සමිති ප්‍රකාරව ජල කාන්දු නිසි කලට පිළිසකර නොකිරීම හේතුවෙන් මණ්ඩලය බිල්ගත නොවන ජලය සේ බොහෝ ධනයක් අපතේ යයි. ඒවා පිළිසකර කිරීම සඳහා යොදාගන්නා සේවකයාගේ සිට ඒවා පිළිසකර කිරීමේ කාර්ය දක්වා මණ්ඩලයට අසීමිත ධන හානියක් සිදුවේ.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට බඳවාගත් සේවකයන් සිටිද්දී ඔවුන් අදාළ රාජකාරි සඳහා යොදවනවා වෙනුවට අනියමින් කොන්ත්‍රාත් පදනම මත සේවයට යොදාගන්නා අනවශ්‍ය කොන්ත්‍රාත් සේවකයන් සඳහා ගෙවන වැටුප මණ්ඩලය විසින් සිදු කරන එක් අනවශ්‍ය වියදමකි.
දේශපාලන හා විවිධ හේතූන් මත මණ්ඩලයට බුරුතු පිටින් බඳවා ගන්නා කම්කරු පත්වීම් නිසා මණ්ඩලයට එකතු වන වැටුප් බර අතිමහත්ය.
එසේ බඳවා ගන්නා ඇතැම් සේවකයන් සපුරාලිය යුතු අවම සුදුසුකම් හෝ සපුරා නැති අවස්ථා එමට ඇත.

මණ්ඩලය තුළ මෙම ගැටලුව කම්කරු ශේ්‍රණියට පමණක් පොදු වූවක් නොවේ. විවිධ තනතුරු සඳහා සුදුසුකම් නොලත් පිරිසක් සේවයේ යෙදීම හරහා මණ්ඩලය දැනුවත්ව හෝ නොදැනුවත්ව විශාල ධන හානියක් සිදු කරගන්නා බව වෘත්තීය සමිති පෙන්වා දෙයි.
උදාහරණයක් ගෙන දක්වමින් එක් වෘත්තීය සමිති නායකයෙක් අපට මෙසේ පැවසීය.

නිසි ප්‍රමිතියකින් යුතුව ජලය පාරිභෝගිකයා වෙත සැපයීමේදී සිදුවන ජල පිරිපහදු කර්තව්‍යයට ඒ සඳහා විශේෂඥ ඥානය සතු ජල විද්‍යාඥයන් අවශ්‍යයි. එවැනි විශේෂඥ දැනුමකින් යුතු කෙනෙකු ජලය පිරිසුදු කිරීමේදී ලීටර 1000ක් සඳහා වැය වන්නේ රුපියල් 35ක් වැනි අවම මුදලක්.

නමුත් විශේෂඥ ඥානයක් නැති අය ජල පිරිපහදු කර්තව්‍යයේ නියැළෙන විට රුපියල් 100ක් වැනි මුදලක් වැය වෙන්න පුළුවන්. එවැනි අවස්ථා මණ්ඩලය තුළ සුලබයි. ඉතින් අවමය උපරිමයක් දක්වා ගෙනයමින් මණ්ඩලය සුදුසු තැනට නුසුදුස්සන් යෙදවීම හරහා වියදම් වැඩිකරගෙන තියෙනවා.
කම්කරුවන්, පයිප්ප වෑද්දුම්කරුවන්, සුපරික්ෂාකරුවන්, තාක්ෂණ නිලධාරීන්, ජල පිරිපහදු ක්‍රියාකරුවන්, පොම්ප ක්‍රියාකරුවන් ඇතුළු මෙකී නොකී බොහෝ තනතුරු සඳහා සුදුසුකම් නොසලකා බඳවා ගැනීම් සිදුකිරීම නිසා මණ්ඩලය විශාල මුදලක් නාස්ති කරනවා යැයි ඔවුහු කියති.

සේවක අතිරික්තයක් තිබියදී මණ්ඩලය වෙත බඳවා ගන්නා සුදුසුකම් විරහිත පිරිස් සේවයේ යෙදවීමේදී සිදුවන අතපසුවීම්, වැරැදි ක්‍රියාකාරිත්වයන් මෙන්ම විශේෂඥතා දැනුම අල්ප වීම හරහා සිදුවන ධන හානිය මණ්ඩලයට සැලකිය යුතු පාඩුවක් එකතු කරනවා. ඔවුන් වෙනුවෙන් ගෙවීමට ඇති වැටුප් ද මණ්ඩලයට දැඩි බරක්. එසේම මණ්ඩලයේ ඇතැම් කම්කරුවන් ලබාගන්නා වැටුප විදුහල්පති 1 ශේ‍ර්ණියේ වැටුපට නොදෙවැනියි. පඩි ගෙවාගත නොහැකි වූ තැන ජල ගාස්තු වැඩි කරනවා විනා වෙන මොනවා කරන්නද? ඔවුහු විමසති.

එසේම මණ්ඩලය තුළ දිගුකාලීනව වසර දහයක් පහළොවක් තිස්සේ සේවයේ යෙදෙන සේවකයන් සිටින බවත් කාලාන්තරයක් එකම තැන සේවයේ යෙදෙමින් ඔවුන් මණ්ඩලය තුළ ගොඩනඟා ඇති අධිකාරි බලය නිසා ඇතැම් අක්‍රමිකතා හෝ සිදුවන අතපසු වීම් පෙන්වා දීමේ ගැටලුකාරී තත්ත්වයන් උද්ගතව ඇති බවත් ඔවහු පෙන්වා දෙති.

එසේම මණ්ඩලයේ මුදල් අපතේ යන තවත් අවස්ථාවක් තමයි ජල හොරකම. එයින් තමන්ට අහිමි වන ආදායම ගැන මණ්ඩලය මීට වඩා සැලකිලිමත් විය යුතුයි. වැටලීම් අංශය මීට වඩා කාර්යක්ෂම විය යුතුයි. ලැබෙන පැමිණිලි ඔස්සේ පමණක් යමින් වැටලීම් කිරීමට වඩා වැටලීම් අංශයට ජල සොරුන් කොටුකර ගැනීමට හැකි ක්‍රමවේදයක් සැකසිය යුතු යැයි ඔවුහු කියති.

අකාර්යක්ෂම බව, කළමනාකරණ නොහැකියාව, දේශපාලන අවභාවිතය නිසා සිදුවන දැවැන්ත ධන හානිය ආවරණය කරන්නට හදන්නේ පාරිභෝගිකයාගේ ජල බිල වැඩි කිරීමෙනි. රටට ඇති ගැටලුව මෙතැනය.

හර්ෂනී අර්සකුලරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්