මැතිවරණ ප්‍රතිඵල නරඹා ගෙදර යද්දී වන අලි ප්‍රහාරයකින් දෙදරු පියා මරුට

  👤  3353 readers have read this article !
By mawbima 2018-02-13

මැතිවරණ ප්‍රතිඵල නැරැඹීම සඳහා මවගේ නිවෙසට ගොස් නැවත නිවෙසට යමින් සිටියදී වන අලි ප්‍රහාරයකට ලක්වීමෙන් බරපතළ තුවාල ලැබූ දෙදරු පියකුගේ දේහය මහවිලච්චිය අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මානිංගමුව ප්‍රදේශයේ තබාගෙන බිරිය, දරුවෝ ඇතුළු ප්‍රදේශවාසීහු 200 දෙනකු පමණ පෙරේදා (11දා) සවස් වනතුරු විරෝධතාවක නිරත වූහ.

වන අලි ප්‍රහාරයට ලක්වීමෙන් මැතිවරණය පැවති දිනයේ රාත්‍රියේ ජීවිතක්‍ෂයට පත්වී ඇත්තේ කුඩාහල්මිල්ලෑව, මානිංගමුව, මහවිලච්චිය ලිපිනයේ පදිංචිව සිටි එච්.පී. නිහාල් ප්‍රේමසිරි (41) දෙදරු පියායි. ඔහු ඡන්ද ප්‍රතිඵල නැරැඹීම සඳහා සිය බිරිය හා දරු දෙදෙනා සමඟ නිවෙස ආසන්නයේ පිහිටි මවගේ නිවෙසට ගොස් ඡන්ද ප්‍රතිඵල ලබාදීම ප්‍රමාද වීම නිසා නැවතත් නිවෙසට යමින් සිටියදී වන අලි ප්‍රහාරයට ලක්වී තිබේ.

මරණකරු බිරිය හා දරු දෙදෙනාට ඉදිරියෙන් ගමන් කරද්දී අඳුරේ සැඟව සිටි වන අලියා ඔහුට හොඬයෙන් පහරදී තිබෙන අතර ඔහුට පිටුපසින් පැමිණි දරු දෙදෙනා හා බිරිය වන අලියාගේ ප්‍රහාරය හමුවේ කැලෑවට විසිවී වැටී තිබේ. වන අලියා දැකීමෙන් බියට පත්වූ ඔවුන්ගේ කෑගැසීම ඇසුණු ගම්වැසියන් වහාම එහි පැමිණ වන අලියා කැලෑවට එළවා දමා වන අලි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා සිටි දෙදරු පියා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට රැගෙන යමින් සිටියදී ත්‍රිරෝද රථය තුළදීම ජීවිතක්‍ෂයට පත්වී තිබේ.

මියගිය පුද්ගලයාගේ දේහය පෙරේදා (11දා) සවස ඔහුගේ නිවෙසට රැගෙන ඒමට පෙර ප්‍රදේශවාසීන් හා පවුලේ උදවිය දේහය අනුරාධපුර මහවිලච්චිය ප්‍රධාන මාර්ගයේ තබාගෙන විරෝධතාවක නිරත වූහ. විරෝධතාවට එක්වූ පිරිස් පැවසුවේ පසුගිය මාස කිහිපයේදී වන අලි ප්‍රහාරවලට ලක්වීමෙන් ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනකු ජීවිතක්‍ෂයට පත්වී ඇති බවයි. වන අලින් ගම්වැදීම වැළැක්වීම සඳහා විදුලි වැටක් ඉදිකර දෙන ලෙස බලධාරීන්ගෙන් කොතෙකුත් ඉල්ලීම් කළත් ඔවුන් නිහඬ බව විරෝධතාකරුවෝ පැවැසූහ. සවස තුනට පමණ ආරම්භ වූ විරෝධතාව අවසන් වූයේ තන්තිරිමලය අඩවියේ වනජීවී නිලධාරීන් පැමිණ විදුලි වැටක් ඉදිකර දීමට ලිඛිත පොරොන්දුවක් ලබාදීමෙන් අනතුරුවය. ඔවුන් කියා සිටියේ මාර්තු මස 15 වැනි දිනය වනවිට විදුලි වැටක් ඉදිකර දීමට කටයුතු කරන බවත් මියගිය පුද්ගලයාට ලක්‍ෂ පහක වන්දි මුදලක් ලබාදීමට කටයුතු කරන බවත්ය.

ප්‍රදේශවාසීන් පැය තුනකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වීම නිසා අනුරාධපුර මහවිලච්චිය ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ලවී තිබිණි.

අනුරාධපුර _ මහේෂ් විජේසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon