මීගොඩ ව්‍යාපාරිකයකු කපා කොටා ලක්ෂ 50ක් පැහැරගෙන

  👤  3626 readers have read this article !
By mawbima 2018-02-14

මීගොඩ, පුවක්වත්ත පාරේ නිවෙසක් ඉදිරිපිටදී ව්‍යාපාරිකයකු පැහැරගත් මුහුණු වසාගත් පුද්ගලයන් සිවු දෙනකු ඔහුව එම නිවෙස තුළට රැගෙන ගොස් තියුණු ආයුධයකින් කපා තුවාල සිදුකර, ගිනි අවියක් හිසට තබා තර්ජනය කර සේප්පුවේ බහා තිබූ රුපියල් ලක්‍ෂ පනහකට අධික මුදල් තොගයක් කොල්ලකා පලා ගොස් තිබේ.
බරපතළ තුවාල ලද ව්‍යාපාරිකයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අසල ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යන 42 හැවිරිදි අවිවාහක ව්‍යාපාරිකයා පෙරේදා (12දා) රාත්‍රි 10.30ට පමණ ව්‍යාපාරික ස්ථානය වසා ත්‍රිරෝද රථයකින් නිවෙස ඉදිරිපිටට පැමිණ ත්‍රිරෝද රථය නවතනවාත් සමඟම කළු ජැකැට් හා ආරක්‍ෂක හිස් වැසුම් පැලඳ රෙදි පටිවලින් මුහුණ වසා ගත් සිවු දෙනකු ත්‍රිරෝද රථය අසලට කඩා වැදී ඔහුව අල්ලාගෙන නිවෙස තුළට රැගෙන ගොස් ඇතැයි පොලිසිය පැවැසීය.

නිවෙස තුළ පුටුවක සිටි සේවකයකු සිද්ධිය වන අවස්ථාවේ නාන කාමරයක දිය නාමින් සිටි රියැදුරු නිවෙස තුළට රැගෙන දෙදෙනා පුටුව මත තබා මුහුණු මෙන්ම අතපය බැඳ දමා ඇති බව පරීක්‍ෂණ පවත්වන පොලිස් නිලධාරියකු පැවැසීය.

අනතුරුව ව්‍යාපාරිකයාට පහර කිහිපයක් ගසා ඔහු හැඳ සිටි කලිසම් සාක්කුවට අත දමා පෙරේදා (12දා) ව්‍යපාරික ස්ථානයෙන් එකතුවූ මුදල් අතට ගත් එක් කොල්ලකරුවකු "අපිට මේවා ඕනේ නැහැ" යැයි පවසා එම මුදල් මේසය මත දමා "උඹ කුඩු බිස්නස් කරනවා නේද? වරෙන් කාමරයට" යැයි පවසා කාමරයට රැගෙන ගොස් සේප්පුව විවෘත කරන ලෙස තර්ජනය කර ඇති බව පොලිසිය පැවැසීය.සේප්පුවේ යතුරු ඉල්ලමින් පැමිණි කොල්ලකරුවන් එම නිවෙසේ තිබූ පිහියකින් ව්‍යාපාරිකයාව කපා තුවාල සිදු කර එහි තිබූ කඩු දෙකකින් ඔහුට පිට පැත්තෙන් පහර දී ඇති බව පොලිසිය පැවැසීය.
එලෙස සිදු කළද සේප්පුව විවෘත කිරීමට ව්‍යාපාරිකයා කටයුතු නොකළ බැවින් එක් කොල්ලකරුවකු ඉණෙහි තිබී පිටතට ගත් ගිනි අවියක් ව්‍යාපාරිකයාගේ හිසට තබා මරණීය තර්ජනය කර ඇති බව පොලිසිය පැවැසීය.

අනතුරුව ව්‍යාපාරිකයා සේප්පුව විවෘත කිරීමත් සමඟ එහි තිබූ සියලුම මුදල් කොල්ලකෑ පුද්ගලයන් එය රැගෙන යෑමට සූදානම් වීමේදී විනෝදාංශයක් ලෙස එකතු කළ පැරැණි මුදල් නෝට්ටු හා කාඩ් යළි ලබා දෙන ලෙස ව්‍යාපාරිකයා කොල්ලකරුවන්ගෙන් ඉල්ලා සිටීමේදී ඒවා නැවත ව්‍යාපාරිකයාට ලබාදුන් කොල්ලකරුවන් ව්‍යාපාරිකයාව කාමරයට දමා ‍ෙදාර වසා පලාගොස් තිබූ බව එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

සේප්පුවේ මුදල් පැහැරගත් කොල්ලකරුවන් කාමරයෙන් පිටවීමට පෙර කේතලයක තිබූ වතුරෙන් සේප්පුව සෝදා ඇති බව ව්‍යාපාරිකයා පොලිසියට කළ ප්‍රකාශයක සඳහන් වේ.

කොල්ලකරුවන් පලා යෑමෙන් පසු පුටුවක ගැට ගසා සිටි සේවකයා බැඳ දමා තිබූ පටියක් බුරුල් කරගෙන පුටුවක බැඳ දමා සිටි රියැදුරු ද මුදාගෙන අසල්වාසීන්ට කෑ ගසා ඔවුන් පැමිණීමෙන් අනතුරුව කාමරයේ ‍ෙදාර කඩා ඒ තුළ කැපුම් තුවාල සහිතව සිටි ව්‍යාපාරිකයාව පිටතට ගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

බස්නාහිර දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ, නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රසාද් රණසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්‍ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon