ඊළඟ ජනපතිවරණයෙන් ගෝඨාභය ජයග්‍රහණය කරන්න ඉඩ තිබෙනවා

  👤  4139 readers have read this article !
By mawbima 2018-02-14

ඡන්දයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් ඔබගේ කියවීම කුමක්ද?

ඡන්ද ප්‍රතිඵලය මම බලාපොරොත්තු වුණු රටාවමයි. ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමට පෙර ඡන්දය අවසන් වුණු වෙලාවේදී ෆේස්බුක් එකේ මගේ තක්සේරුව දැම්මා. එහෙත් ඡන්ද ව්‍යාපාරය කාලයේදී මම ඒක කීවේ නැහැ, මම ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් වැඩ කළ නිසා. මගේ තක්සේරුව වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සියයට 40යි. එක්සත් ජාතික පක්ෂයට සියයට 35යි. මෛත්‍රිපාල සිරිසේනට සියයට 10යි. ජනතා විමුක්ති පෙරමුණට සියයට 7යි. මේකේ පොඩි පොඩි එහා මෙහා වීම් තියෙනවා. මගේ තක්සේරුව ප්‍රතිඵලයට වඩා වෙනස් නෑ ව්‍යුහාත්මක වශයෙන්. කරපු සමීක්ෂණ නම් මීට අනිත් පැත්ත. ඒ විතරක් නෙවෙයි මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වයේ හිටපු අයගේ නිරීක්ෂණ පවා සම්පූර්ණ අනිත් පැත්ත.

එවැනි තක්සේරුවක් කරන්න පදනමක් තිබුණාද?

මගේ තක්සේරුව ඉදිරිපත් කළේ සාමාන්‍යයෙන් දේශපාලන ප්‍රවණතාවන් එක්ක. දේශාපාලනය දිහා බලන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. කෙටි කාලීනව ඇතිවන උච්චාවචනයන්. උදාහරණයක් විදිහට බැඳුම්කර සිද්ධිය, ලන්ඩන්වල බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ සිද්ධිය වගේ ඒවා ඡන්ද දායක හැසිරීමට බලපාන කෙටි කාලීන සාධක කියන්න පුළුවන්. අනිත් එක දීර්ඝකාලීන ප්‍රවණතා. ඡන්ද දායක හැසිරීම මූලික වශයෙන් තේරුම් ගන්න පුළුවන් දීර්ඝකාලීන ප්‍රවණතාවලින්. මේකේ වැදගත්ම ප්‍රවණතාව තමයි එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම බිඳ වැටීම. 1982 තමයි එක්සත් ජාතික පක්ෂයේ උච්චතම ස්ථානය. එතැන ඉඳලා තියෙන්නේ ක්‍රමානුකූලව බිඳ වැටීමක්. ඒ අවස්ථාවල මං කිව්වා වගේ උච්චාවචනයන් වෙලා තියෙනවා. ඒ අය තුන් වතාවක් බලයට ආවා. නමුත් ඡන්ද අඩුවීමේ ප්‍රවණතාව දිගටම තියෙනවා. කෙටි කාලීන සාධකත් ඒ අයට අවාසියටම බලපෑවා. බැඳුම්කර සිද්ධිය, ආණ්ඩුව ඇතුළේ අභ්‍යන්තරව තිබුණු ගැටුම්, ඒවා සියල්ලම බලපෑවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය ගැන කීවොත්?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධ තත්ත්වය බැලුවොත් ඒකත් හරි පැහැදිලියි, අපි දැක්කා 2015 ජනවාරි 08 වැනිදා ඒ අය පරාජයට පත් වූ වහාම ඒ අය නැවත කෙටි කලකින් නැඟී සිටියා. (අඥජධමඥප) රිකවර් වෙන්න ප්‍රධාන කොට්ඨාසයක් ඉන්නවානේ. ඒ අය මූලික වශයෙන් සිංහල බෞද්ධ. සිංහල බෞද්ධ නොවන අය අතර ඒගොල්ලන්ට තියෙන ඡන්ද දායක ආකාර්ෂණය අඩුයි සාපේක්ෂ වශයෙන්. ඒක එක බ්ලොක් එකක්. මේ ඡන්දදායක පිරිස පසුගිය දශක එකහමාරක කාලයක් තුළ පෙන්නුම් කරලා තියෙන්නේ බොහොම සමාන හැසිරීමක්. 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්මයා ජයග්‍රහණය කළේ ඉතාම සුළු ප්‍රතිශතයකින්. එල් ටී ටී ඊ සංවිධානයේ ඡන්ද වර්ජනය නොතිබුණා නම් බොහෝ විට ඔහු පරාජය වෙන්න ඉඩ තිබුණා. එතැනදී වුණත් සිංහල බෞද්ධ ප්‍රජාව ඇතුළේ ඔහුට ලැබුණු ඡන්ද ප්‍රතිශතය සෙසු ප්‍රදේශවල ලැබුණු ප්‍රතිශතවලට වඩා ඉතාම ඉහළයි. දකුණු පළාත් සභා මැතිවරණයේ ඉඳලා යම්කිසි අඩුවීමක් ඒකේ තියෙනවා. ඒ අඩුවීම ඉතාම සුළු අඩුවීමක්. ඒක ජනාධිපතිවරණයේදී ඉතාම අඩු වුණා. ඊටත් වඩා මහ මැතිවරණයේදී අඩු වුණා. මේ මැතිවරණයේදීත් ඊටත් වඩා පොඩි අඩුවීමක් තියෙනවා. ඒ අඩුවීම ඉතාම සුළු මට්ටමේ එකක්. පරිවාරයේ අඩුවීමක් කියලා මං කියන්නේ ඒකට. ඒ අඩුවීම කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයේ බි¼ද වැටීමට සාපේක්ෂව සැලකිය යුතු අඩුවීමක් නෙවෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොකද වුණේ?

මෛත්‍රිපාල සිරිසේන දිහා බැලුවොත් ඔහුගේ ඡන්ද පදනම තිබෙන්නේ කරුණු තුනක් මත. ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය බලය ලබා ගැනීම නිසා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල අයිතිය ඔහුට ලැබීම නිසා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්ව මට්ටමේ මුල් පෙළ සහ දෙවන පෙළ නායකයන් පිරිසක් ඔහු වටේ ඉන්නවා. මේ අයට සාමාන්‍යයෙන් ඡන්ද දායක හැසිරීමේ එක ක්‍රමයක් තමයි ප්‍රාදේශීය මට්ටමේ ඉන්න දේශපාලන නායකයන්ට පුළුවන් මේ ප්‍රදේශවල ඡන්ද දායකයාගේ හැසිරීම තමන්ට තිබෙන දේශපාලන ජාලයන් හරහාම පාලනය කරන්න. ඒ පිරිසගේ ප්‍රමාණය මෛත්‍රිපාල සිරිසේනට ලැබුණා. 2015 ජනවාරි 08 ඡන්දේ දීපු අයගෙන් පාක්ෂික නොවන ඡන්ද දායකයන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ලංකාවේ ඡන්ද දායකයන්ගෙන් වැඩි පිරිසක් පාක්ෂික නොවන අය. ් මහින්ද රාජපක්ෂට විරුද්ධව ඡන්දය දුන් ලක්ෂ 62න් වැඩිපුර ඉන්නේ ඒ පිරිස. එජාපය සමඟ කලකිරීමක් තිබුණු, රාජපක්ෂගේ පැත්තට යන්න අකැමැති සහ ජේවීපී එකට ඡන්දෙ දෙන්න එච්චර සූදානමක් නොතිබුණු යම් කිසි පිරිසක් ඒ අයව තෝරා ගැනීමේ නැඹුරුවක් තිබුණා කියන්න පුළුවන්.

ජනතා විමුක්ති පෙරමුණේ වර්ධනයක් වී තිබෙන බව කියන්න පුළුවන්ද?

ජනතා විමුක්ති පෙරමුණ දිහා බැලුවොත් සාමාන්‍යයෙන් ඒ අයගේ දීර්ඝ කාලීන ප්‍රවණතා බැලුවහම 2006 පැවැත්වුණු ප්‍රාදේශීය සභා මැතිවරණයේදී තමයි ඒ අය ලැබූ ඉහළම ඡන්ද ප්‍රතිශතය. 2002 මහ මැතිවරණයෙන් ඒ අය සීයට නවයක ප්‍රමාණයක් ගත්තා. 2004දී ශ්‍රීලනිපය සමඟ එක්ව සිටි නිසා වැඩි ප්‍රතිශතයක් ගත්තා. ඒ කාලයේ ජාතිකවාදී ස්ථාවරයක සිටියා, රාජපක්ෂ ව්‍යාපෘතියත් සමඟ කිට්ටුවෙන් සිටියා. නමුත් ඊට පසුව පේනවා ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩු වුණා. සාමාන්‍යයෙන් ඒක තිබුණේ සියයට 5කට වඩා අඩුවෙන්. එක වෙලාවක ඒක සීයට 2 විතර වෙනකම් අඩුවුණා. මේ අවස්ථාවේදී අපට පේනවා සියයට 7කට කිට්ටු වෙනවා. මගේ අදහස විදිහට ඒක සැලකියයුතු වර්ධනයක්. මේ වගේ විකල්ප දේශපාලන පක්ෂයකට ලොකු ප්‍රතිශතවලට යන්න බැහැ. ලංකාවේ ඡන්ද දායක බහුතරය ඡන්දෙ දෙනකොට තවමත් බලපාන ප්‍රධාන සාධකයක් තියෙනවා. ඒක රාජ්‍ය බලය ලබා ගැනීමට ඇති හැකියාව. රාජ්‍ය බලය ලබා ගන්න නොහැකි පක්ෂයකට ඡන්දය දෙන්න තියෙන ප්‍රවණතාව ඉතාම අඩුයි. ඒ තත්ත්වය ඇතුළේ සීයට 7 කියන්නේ ඉහළ මට්ටමක්.

රාජපක්ෂගේ ජයග්‍රහණයත් එක්ක ජවිපෙ ජයග්‍රහණ තවත්
අෑත් විය හැකිද?

ඒක යම් කිසි වර්ධනය වීම සඳහා ඇති හැකියාවක් තියෙනවා. මේක මගේ පක්ෂපාති මතයක්. මමත් ඒ වෙනුවෙන් වැඩ කරමින් සිටින නිසා කියන්නේ. ඒ සඳහා හැකියාවකුත් තියෙනවා, මේ ඡන්දයෙන් පෙන්නුම් කරන ලක්ෂණයකුත් නිසා. අපට පැහැදිලිව පේනවා දකුණේ දේශපාලනය දිහා බැලුවාම ස්ථාවර ඡන්ද ප්‍රමාණයක් තියෙන යම් කිසි වර්ධනය වෙන්න පුළුවන් බලවේග දෙකයි තියෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ.

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඡන්ද පදනම ස්ථිර එකක් නෙවෙයි. ඒක සම්පූර්ණ තීරණය වෙනවා මේ මොහොතේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් පිහිටෙව්වොත් ඔය කට්ටිය මහින්ද රාජපක්ෂගේ පැත්තට යනවා. ඊළඟට මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් හෝ තිබ්බා කියලා හිතමු. එහෙම තිබ්බොත් මහින්ද රාජපක්ෂට හෝ ඒ පැත්තෙන් ඉදිරිපත් වෙන ගෝඨාභය රාජපක්ෂ හරි කාට හරි සහාය දෙන්න. ඒක බොහොම පැහැදිලියි.

එක්සත් ජාතික පක්ෂය දීර්ඝ කාලීන බිඳ වැටීමට හේතු තියෙනවා. අනිත් එක බරපතළ නායකත්ව අර්බුදය. මේ වතාවේ කවරදාකටත් වඩා මේ අර්බුදය ඒ පක්ෂයට බලපානවා.

රාජපක්ෂ කඳවුර නියෝජනය කරන්නේ එක්තරා දේශපාලන මතයක්, එක්තරා දේශපාලන ආකල්පයක්. සිංහල බෞද්ධ, ජාතිකවාදී එකක්. ඊට වඩා වෙනස් ආකල්පයක් සහිත දේශපාලන හැඟීම් තියෙනවා ලංකාවේ. ඒගොල්ලන්නට ගන්න බැහැ ඔක්කොම. සිංහල බෞද්ධ සමාජයේ උපරිම වශයෙන් සීයට 60ක් ගත්තා කියමු, ඊට වඩා යන්න බැහැ. අන්න ඒ පිරිසට ආකර්ෂණය විය හැකි බහුජන පක්ෂයක් අවශ්‍යයි. ඒ බහුජන පක්ෂය සඳහා දැන් ඉඩක් තිබෙනවා. ඒ හිඩැස සඳහා ප්‍රධාන කණ්ඩායම තමයි ජනතා විමුක්ති පෙරමුණ. ජවිපෙ 2020 බලයට ඒම පැත්තකින් තිබ්බොත් මෙන්න මේ හිඩැස පිරවීම සඳහා ඉඩක් තියෙනවා.

මම ජවිපෙ සඳහා යෝජනා කරන්නේ සටන් පාඨ තුනක්. සමාජ සාධාරණත්වය, බොහෝ විට වෙන්න පුළුවන් මහින්ද රාජපක්ෂලා ඉක්මනින් බලයට ඒම. ඒ අය කරන්න යන්නේ මහා පරිමාණ ඉදිරිකිරීම්, අධිවේගී මාර්ග ඉදිකිරීම් වගේ ඒවා. ඕවගෙන් සමාජ සාධාරණත්වය පිළිබඳ ප්‍රශ්නවලට ආමන්ත්‍රණයක් එන්නේ නැහැ. ඒ ප්‍රශ්නය එනවා ඉස්සරහට. දෙවැනි එක ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නය. රාජපක්ෂ පාලනය යටතේ ඒ ප්‍රශ්නයත් පැහැදිලිවම එන්න නියමිතයි. තුන්වැනි එක ජනවර්ග සහ ආගමික කණ්ඩායම් අතර සහජීවනය. ඒකත් රාජපක්ෂ පාලනයක් යටතේ එන්න නියමිත කාරණයක්. මේ බෙදීම් එකතු කරන පක්ෂයක් ඕනෑ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඊළඟ නායකයා ගෝඨාභය රාජපක්ෂ කියලයි ඔබ යම් තැනක සඳහන් කර තිබෙන්නේ?

මම කියන්නේ එයා තමයි එන්නේ. තාක්ෂණික වශයෙන් මහින්ද රාජපක්ෂට ඊළඟ ජනාධිපතිවරණයට එන්න බැහැ ව්‍යවස්ථාව වෙනස් කරපු නිසා. ඒ සඳහා ආකර්ෂණීය කෙනෙක් ඉන්න ඕනෑ. ඒ සඳහා රාජපක්ෂ පවුලෙන් පිට කෙනෙක් ගැන හිතන්න බැහැ. චමල් රාජපක්ෂ ප්‍රාදේශීය නායකයෙක් විතරයි. බැසිල් රාජපක්ෂ ගැන විවේචන තියෙනවා ගොඩක් අයගේ. ඒ නිසා ඔහු නෙවෙයි. නාමල් රාජපක්ෂට තවම ඉල්ලන්න බැහැ. ඊළඟට ඉතුරු වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ. ඔහුට තමයි දිනන්න හැකියාව තියෙන්නේ. ටික කාලයකට පෙර මට සැකයක් තිබුණා සිංහල බෞද්ධ පදනම පමණක් ඔවුන්ට තිබෙන නිසා හැකියාවක් තියෙයිද කියලා. මට පේන විදිහට දැන් ඒක පුළුවන්. දැන් ඔවුන්ට ස්ථාවර ඡන්ද පදනමක් තියෙනවා. ඉතුරු ටික ගන්න එකනේ ප්‍රශ්නේ. ඒක හරි ලේසියෙන් ගන්න පුළුවන්. ශ්‍රීලනිපයේ ඉතුරු ටිකත් ඔහු සමඟ එකතු වෙනවා. ඩග්ලස් දේවානන්ද වගේ කෙනෙක් එක්ක පහසුවෙන්ම සන්ධානයක් හදාගන්න පුළුවන්. ඉන් සියයට දහයක වගේ දෙමළ ඡන්ද ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ ඇති. රිෂාඩ් බද්යුදීන්, තොන්ඩමන් වගේ අයගෙන් එකතු කරගන්න පුළුවන්. දිනනවා කියලා පෙනුණොත් ඒ අය එකතු වෙනවා. ඒ නිසා දිනන්න පුළුවන්.

2015ට පෙර රාජපක්ෂවරුන්ගේ හැසිරීමට වඩා වෙනස් හැසිරීමක් ඔවුන් නැවත ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසුව බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

ඒක ඒ අයට තිබෙන අභියෝගයක්. ඒ අය වෙනස් නොවීමට තිබෙන සාධකයක් තමයි ඒ අය දන්නවා ඔවුන් මොනවා කළත් සිංහල බෞද්ධයා ඔවුන්ට ඡන්දය දෙනවා කියලා. ෆේස්බුක්වල එක තරුණයකු සටහන් කර තිබුණා අපි ඡන්දේ දෙන්නේ හොරකම් දිහා බලලා නෙවෙයි, හොරකම් කළත් මිනීමැරුවත් අපි ඡන්දෙ දෙන්නේ රට රැක ගන්න කියලා. ඒ වගේ මානසිකත්වයක් යටතේ ලොකු පෙලඹවීමක් එන්නේ නෑ එහෙම වෙනස් වෙන්න. මොකටද වෙනස් වෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවානේ එතකොට.

ඒ රාජපක්ෂ පන්නයේ පාලනයක් පවත්වාගෙන යන්න නම් මර්දනයකුත් අවශ්‍යයි. උදාහරණයක් විදිහට උතුර පාලනය කිරීම අනිවාර්යයෙන්ම වැදගත්. උතුරට ඕන ඕන විදිහට වැඩ කරන්න දෙන්න බැහැ. රාජපක්ෂවරුන් එනවා කියන්නෙම උතුරත් එක්ක ලොකු ගැටුමක් ඇති වෙනවා. ඒ ගැටුම වර්ධනය වෙනවා කියන්නෙම ඒගොල්ලනට සිද්ධ වෙනවා උතුර මර්දනය කරන්න. දැන් සාමාන්‍යයෙන් උතුරේ ජනයාට දේශපාලන නිදහසක් තියෙනවානේ. ඒක ඒ විදිහටම පවතින්න දෙන්න විදිහක් නැහැ රාජපක්ෂලාට. දැනුත් රාජපක්ෂවරුන්ව උතුරේ ජනතාව විවේචනය කරනවා. එතකොට ඒක ඒ අයට අනිවාර්යයෙන් කරන්න වෙනවානේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon