ආදිවාසී පළමු මනත්‍රි කැකුළිය

  👤  3303 readers have read this article !
By mawbima 2018-02-14

හිඟුරක්ගොඩ _ ප්‍රියා

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ආදිවාසී කාන්තාවක පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂිකාවක් ලෙස දෙහිඅත්තකණ්ඩිය හේනානිගල දකුණ සහ උතුර බහු ආසනය වෙනුවෙන් තරග කළාය. ඇය නමින් ඩබ්ලිව්.එම්. ශිරෝමාලා (37)යි. අ.පො.ස. (සා.පෙළ) දක්වා ඉගෙනුම ලබා ඇති ඇය තිදරු මවකි. ඇය ඡන්ද 1,369ක් ලබා ගනිමින් මෙරට ඉතිහාසයට එක්වෙන්නේ ප්‍රථම ආදිවාසී මහජන නියෝජිතවරිය ලෙසයි.
ලැබූ ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වන ඇය මෙසේ කීවාය.

"මට මුලින්ම කියන්න තියෙන්නේ අපේ රැහේ ඇත්තන්ට මෙතෙක් කල් නොවිසඳුණු ප්‍රශ්න ගොඩක් තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්න ඔක්කොම විසඳන්න බෑ. ටිකක් හරි විසඳන්න උත්සාහ කරනවා. ඒ වාගේම තමයි ඒ විශ්වාසය තියලා තමයි අපේ රැහේ අය වාගේම අනිකුත් අය මාව පත්කර ගත්තේ. ඒ නිසා මම කැමැති නෑ ඒ විශ්වාසය නැති කර ගන්න. ඒ වාගේ ගිලිහී යන අපේ සංස්කෘතිය ආගම ඒ වාගේම ගමේ රටේ සංවර්ධනයට උපරිමයෙන් සහයෝගය ලබාදී කටයුතු කරන්නත් ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභාවට පාර්ලිමේන්තු මැතිවරණවලටත් ඉදිරිපත් වීම තමයි මාගේ එකම බලාපොරොත්තුව" යැයි පැවැසුවාය. හේනානිගල ගම්මානයේ ආදිවාසී නායක උෟරුවරිගයේ ගුණබණ්ඩා පවසා සිටියේ මෙවැන්නකි

"මම කියන්නේ රැහේ ඇත්තන්ගේ සහයෝගයෙන් පත් වූ ඇය රැහේ ඇත්තන්ගේ හිත් දිනාගෙන රැහේ ඇත්තන්ගේ ගැටලු ප්‍රශ්නවලට මැදිහත් වී ඒවා විසඳනවා වගේම ඉදිරියේදී ගමේ විතරක් නොවේ පළාතේ වාගේ රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් තැනකට යන්න වාසනාව ලැබේවා කියලයි මගේ ප්‍රාර්ථනාව මාගේ හිතට ලොකු සතුටක් දැනෙනවා රැහේ එකියක් මන්ත්‍රිවරියක් වීම රැහේ උන්ට ලොකු ආඩම්බරයක්" යැයි පැවැසීය.
ශ්‍රී ලංකාවේ ආදිවාසී පරපුරේ 19 වැනි නායකයා වන්නේ උෟරුවරිගයේ වන්නිල ඇත්තොය. තම පරපුරේ කෙනකු මන්ත්‍රිවරියක වීම පිළිබඳව අදහස් දැක්වූ වන්නිල ඇත්තෝ මෙසේ පැවැසීය.

"අපේ රැහේ කැකුළියක් මන්ත්‍රිවරියක් වීම පිළිබඳ ලොකු සතුටක් පපු කැනැත්තට දැනෙනවා. ඒ වාගේම ලොකු බයකුත් හිත් පොජ්ජට දැනෙනවා. මොකද කියනවා නම් අද අපේ රටේ ඉන්නේ දේශපාලනඥයන් පාලකයන් නොවේ. ජනතාව රවටමින් බොරුව, දූෂණය, වංචාව සහ රට විනාශ කරන දේශපාලන ක්‍රමයක්. එවැනි ක්‍රම අනුගමනය කරන තැනකට වාගේම එවැනි මිනිස්සු ඉන්න පරිසරයකට යනවිට කල්පනාකාරී විය යුතුයි. මොකද මේ රටේ පරිසරයට, රටට ආදරය කරන පැරැණිම මිනිස්සු අපි නිසා නවීන ලෝකේ එක්ක ගනුදෙනු කරනකොට අපේ සංස්කෘතික සිරිත් විරිත් අමතක වෙන්න පුළුවන්. මම ඇතුළු හේනානිගල නායක ඇත්තන්ගේ අවවාද අනුශාසනාවලට පිටින් වැඩ නොකරන බවට අපට විශ්වාසයි. ලංකා ඉතිහාසයේ කවදාවත් අපේ ප්‍රශ්න ගැටලු මෙතෙක් කල් කියන්න සිදධ වුණේ වෙනත් පක්‍ෂයක වෙනත් වරිගයක අයට තමයි. නමුත් දැන් අපේ ප්‍රශ්න ගැටලු කියන්න අපේම කැකුළියක් ඒ තැනෙහි ඉන්න එක පිළිබඳව මා පමණක් නොවේ අපේ රටේ ගම්මාන 62ක ජීවත්වන ආදිවාසී සියලු ජනතාව සතුටු වෙනවා. ඒ වාගේම තමයි මාගේ පූර්ණ ආශීර්වාදය ලබා දෙනවා. හැබැයි ස්වභාව ධර්මයෙන් පිට වාගේම රැහේ සංස්කෘතියට පිටින් වැඩ නොකරන ලෙසත් මා අවවාද කරනවා. ඉදිරියේදී පැවැත්වෙන ප්‍රාදේශීය සභා පළාත් සභා පාර්ලිමේන්තු මැතිවරණ සඳහා රටපුරා තිබෙන අපේ ආදිවාසී ගම්මාන නියෝජනය වෙන පරිදි කැකුළන්, කැකුළියන් ඉදිරිපත් කර ජයග්‍රහණය ලබාගෙන රටත් ස්වභාවධර්මයත් රැහේ පිරිස වාගේම අපේ සංස්කෘතිය සහ රටේ සංවර්ධනයට දායක වීම අපේ එකම බලාපොරොත්තුවයි".

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon