පුංචි ඡන්දයේ ප්‍රතිඵලයේ් සංඥාව වන්නේ මෛත්‍රි-රනිල් ආණ්ඩුව පොරොන්දු ඉටු නොකළ බවයි

  👤  3572 readers have read this article !
By mawbima 2018-02-14

සම්මුතිවාදී ආණ්ඩුව පොරොන්දු වූ කරුණු නිසි පරිදි ජනතාවට ඉටු නොකළ බවට රටේ මහජනතාව පළාත් පාලන මැතිවරණයෙන් තහවුරු කර තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
ජනතාවගේ එම පණිවුඩය එක්සත් ජාතික පක්ෂයට තදින්ම දැනී තිබෙන අතර වසර තුනකට පෙර වූ පොරොන්දු ඉටු කිරීමටත් මහජන විශ්වාසය පවත්වා ගැනීමටත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කැප වී සිටින බවද අමාත්‍යවරයා එම නිවේදනය මඟින් පෙන්වා දී තිබේ.

පොරොන්දු සහ වගකීම් නිවැරැදිව ඉටුකර ඡන්ද දායකයන් පිරිස වැඩි කර ගනිමින් අවංක සහ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කණ්ඩායම් සමඟ එකතු වී මැර බලයෙන් තොර රටක් බිහි කිරීම එජාපයේ ප්‍රමුඛම වගකීමක් බවත් එම නිවේදනයේ සඳහන් කරයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දක්වා ඇත.
2015 ජනවාරි 8 වැනි දින මෙරට බහුතර ප්‍රගතිශීලීන්ගේ සම්මුතියෙන් ඉදිරිපත් වන ලද ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන ලද දර්ශනයට ශ්‍රී ලාංකිකයෝ 51%ක් තම ඡන්දය පළ කළහ. මෙරට පැවැති ඒකාධිපති ආඥා දායකත්වයේ කාලය අවසන්ව ඇත. මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිස්ථාපිත කිරීම සඳහා එක් වූ සියලු දෙනා එක පවුලක් හෝ ඔවුන්ගේ අතවැසියන්ට පමණක් සේවා සපයන ආණ්ඩුවක් වෙනුවට පොදු මහජනතාවට සේවය කරන ආණ්ඩුවක් පවත්වා ගැනීම සඳහා යළි එකාවන්ව පෙළ ගැසිය යුතුය.

ජනවාරි 8 වැනිදා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ජාතික සන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ සහ දේශපාලන කණ්ඩායම් 30කට අධික ප්‍රමාණයක් සහ පුද්ගලයන් පිරිසක් භීතිය වෙනුවට නීතිය රජයන සමාජයක් උදෙසා වූ තම දැක්ම බෙදා හදා ගත්හ.

රාජ්‍ය සේවය ස්වාධීන කිරීම, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ නීති පද්ධතිය තුළ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් අපි ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කිරීමට පොරොන්දු වීමු.

අද මහජනතාව විසින් අප පොරොන්දු වූ කාරණා අවශ්‍ය පමණ ඉටු නොකළ බව ඡන්ද ප්‍රතිඵලයෙන් පවසා ඇත.
අබලන්ව පැවැති යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය යළි ගොඩනැංවීම සඳහා කඩිනම් සහ ස්වාධීන ක්‍රියාමාර්ග ගැනීමට අපි පසුගිය වසර තුන තුළදී කටයුතු කළෙමු. සංකීර්ණ අපරාධ, මිනීමැරුම්ශ්‍රී සහ වංචා විමර්ශනය කිරීම සඳහා අවශ්‍ය වූ උපකරණ සහ තාක්ෂණය ලබාදී පොලිසිය බල ගැන්වීමට අප කටයුතු කළෙමු.
වැරැද්දක් පිළිබඳ චෝදනාවක් ලද විගස අමාත්‍යවරුන් සිය ධුරයෙන් ඉවත් විය යුතු බව බල කළ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම ආණ්ඩුව බවට අපි පත් වීමු.
ඇත්ත වශයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයන් සම්බන්ධ චෝදනා පිළිබඳව විමර්ශනය කර ස්වාධීනව නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ විවර කළ ප්‍රථම ආණ්ඩුව බවට පත් වීමු.
නමුත් ජනතාව අප සිදු කළ ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව පවසා ඇත.

ජනතාව මැතිවරණයෙන් ලබා දුන් පණිවුඩය එජාපයට තදින්ම දැනී ඇති අතර අප වසර තුනකට පෙර වූ පොරොන්දු ඉටු කිරීමටත්, මහජන විශ්වාසය පවත්වා ගැනීමටත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අපි කැප වී සිටිමු.

පළමුවැනි කාරණය වූයේ ස්වාධීන මැතිවරණ කොමිසම සහ පොලිසියේ අනුග්‍රහය යටතේ මැතිවරණයක් පැවැත්වීමයි. රාජ්‍ය සේවකයන්, අරමුදල්, සම්පත් සහ රාජ්‍ය මාධ්‍ය ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රයෙන් තොරව හැසිරවීම මින් පෙර මෙරට කිසිදු රජයක් විසින් සිදු කර නොමැත. මෙම ස්වාධීන ආයතන යටතේ අප අපගේ මැතිවරණයට බාධා කරන දූෂණය, බිය ගැන්වීම හා ප්‍රචණ්ඩත්වය පිළිබඳ අවසන් වතාවට ශ්‍රී ලංකාව දැක තිබේ. මෙම ස්වාධීන ආයතන යටතේ අප අපගේ මැතිවරණයට බාධා කරන දූෂණය, බිය වැද්දීම සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳ ශ්‍රී ලංකාවාසීන්ගේ පිළිකුල් අත්දැකීම් හි අවසානය සනිටුහන් කරමු.

2015 ජනවාරි මාසයේදී සිය ජනාධිපතිවරණ සටන තුළදී මිලියන 5.77ක් (47.6%) ඡන්ද ලබා ගැනීමට සමත් වූ ඒ මහින්ද රාජපක්ෂම, පසුගිය සතියේ පැවැති මැතිවරණයේදී ඡන්ද මිලියන 4.95ක් වත් ලබා ගැනීමට අසමර්ථ වූ බව ඉතා පැහැදිලි කාරණයකි. අප වෙනුවෙන් සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ 46%ක් වූ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් පමණක් නොව නැවත රාජපක්ෂ පාලනයක් පැමිණීම වැළැක්වීම උදෙසා ඡන්ද පොළට ගිය මිලියන 6.1ක් වූ (55.3%) සමස්ත බහුතර පුරවැසියන් පිළිබඳ අත් නොහැරිය හැකි භාරදුර වගකීමක් එක්සත් ජාතික පක්ෂය පිට පැටවී ඇත.

පොරොන්දු සහ වගකීම් නිවැරැදි ඉටු කිරීම මඟින් අපගේ ඡන්ද දායකයන් පිරිස තවදුරටත් නංවා ගනිමින් අවංක සහ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කණ්ඩායම් සමඟ අත්වැල් බැඳ අපගේ මාතෘ භූමිය ඔසවා තැබීමත් මැර බලයෙන් පාලනය කරන යුගයක් නැවත ශ්‍රී ලංකාවට ලැබීම වැළැක්වීමත් අපේ ප්‍රමුඛ වගකීම වේ. මේ අපගේ අභිප්‍රාය වන අතර අප අසමත් නොවිය යුතුය. මන්ද අපගේ ප්‍රජාතන්ත්‍රවාදය, අපගේ ජනරජය අපගේ එම අභිප්‍රාය මත ර¼දා පවතී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon