පරිගණකවල දෝෂ නිසා ඡන්ද ප්‍රතිඵල ප්‍රමාද වුණා

  👤  3103 readers have read this article !
By mawbima 2018-02-16

පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත් කිරීමේදී ඇති වූ ප්‍රමාද දෝෂය පරිගණක පද්ධතිවල දෝෂ නිසා ඇති වූ බවත් ඒ පිළිබඳ වගකීම තමා භාරගන්නා බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

මින් ඉදිරියට ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේදී ඒ සියලු කටයුතු මැතිවරණ කොමිෂන් සභාව විසින්ම සිදු කරන බව හෙතෙම අවධාරණය කරයි.
ප්‍රතිඵල මුද්‍රිත මාධ්‍ය වෙත නිකුත් කිරීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත පැවරුවද එම කාර්යයද නිසි පරිදි සිදු නොවූ බවට මාධ්‍ය ආයතනවලින් පැමිණිලි ඉදිරිපත් වූ බව සඳහන් කළ සභාපතිවරයා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට යැවූ ප්‍රතිඵල මාධ්‍ය ආයතන වෙත යවා ඇත්තේ දවසකට පසුව යැයිද සඳහන් කළේය.
පළාත් පාලන ඡන්දයේදී සියලුම මාධ්‍ය ආයතන වෙතින් ලැබුණු සහයෝගය අගය කරන බවත් මාධ්‍යට තම ස්තුතිය පුදකරන බවත් හෙතෙම පැවැසීය.
නිදහස්, සාධාරණ මෙන්ම විනිවිද පෙනෙන ආකාරයේ ඡන්ද විමසීමක් සිදු කෙරුණු බවද සභාපතිවරයා පැවැසීය.

ඡන්ද පෙට්ටි හා බඩුබාහිරාදිය නිකුත් කිරීමේදී ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයන්හි ජේ‍යෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන්ට සිදුවූ අපහසුතාව පිළිබඳව එම නිලධාරීන් වෙත කනගාටුව ප්‍රකාශ කරමින් සමාව අයදින බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
මහනුවරට වාහන ප්‍රමාණවත් නොවීමෙන් ඇති වූ අපහසුතාව ගැනද ඇතැම් ස්ථානවලදී බඩුබාහිරාදිය ආපසු භාරදීමේදී ජේ‍යෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන්ට, සහායකයන්ට හා රියැදුරන්ට සිදු වූ අපහසුතාව ගැනද සභාපතිවරයා සිය කනගාටුව පළ කරයි.

ඡන්ද දායකයන්ට හා අපේක්ෂකයන්ටද ස්තුතිය පළ කරන සභාපතිවරයා, ඡන්ද විමසීමට සහාය වූ ඡන්ද පොළ ගණන් කිරීමේ කාර්ය මණ්ඩලවලට, රජයේ මුද්‍රණාලය, තැපැල් දෙපාර්තමේන්තුව, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බළකාය ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන්ටද සිය ස්තුතිය පළ කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon