විජය කැපවූ සටනට - අපිත් කැපවෙමු

  👤  3185 readers have read this article !
By mawbima 2018-02-16

මිනිසුන් ඉපදෙති. මියයති. මියගිය මිනිසුන් අතරින් සදාකාලික ජීවත් වන මිනිසුන්ද වෙති. එම මිනිසුන් අතරින් අමානුෂික ලෙස මරා දමන ලද විජය කුමාරතුංගයන් අව්‍යාජ දේශපාලකයකු විය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ මානව හිතවාදියකු විය. කම්කරුවාගේ, ගොවියාගේ, ධීවරයාගේ ගැමි දුප්පතුන්ගේ මෙන්ම සමස්ත පීඩිතයන්ගේද හදගැස්ම හොඳින් දැන සිටි ඔවුන්ගේ දාඩිය සුවඳ හඳුනාගත් දයාවෙන් පිරි හදවතක් තිබූ උතුම් මිනිසකු විය.

විජය ශ්‍රී ලංකා මහජන පක්ෂය නිර්මාණය කරමින් සමාජගත කරන ලද දේශපාලන මතවාදය කෙතරම් තාර්කිකද විද්‍යාත්මක ද යථාර්ථවාදී ද අදට ද කෙතරම් වලංගුද යන්න මෙම අවිචාර පාලන සමයේ මතුවී ඇති දේශපාලන, ආර්ථික, සාමාජික අර්බුද හමුවේ අපිට මනාව පසක් කර ගත හැකිය. විජය ඝාතනය කිරීම අධම ත්‍රස්තවාදී ඝාතකයන්ට පමණක් සීමා වූ හුදකලා සිද්ධියක් නොව ජාතිවාදය, ගෝත්‍රවාදය ආහාරය කොටගත් ජාතිවාදීන්ගේත් අධිරාජ්‍ය ගැති ධනපති පන්තියේත් ගරා වැටෙන වැඩවසම් වලව්වල ඉඩම් හිමි රදලයන්ගේ විෂම දේශපාලන ප්‍රහාරයේ හේතුඵල විසින් නිර්මාණය කරන ලද ගැටුමේ ප්‍රතිඵලයක්ද ලෙසින් මෙම තිරිසන් මිනීමැරුම සිදුකළ බවට කිසිම සැකයකින් තොරව වටහා ගත හැකිය.

උද්ගත වී ඇති ජනවාර්ගික අර්බුදයේ සැබෑ හේතුව දේශපාලනිකව හා ආර්ථික අර්බුදයේ විෂමතාවක් බව දේශපාලනය හා ගළපා විජය පැහැදිලි කළේය. විජය ජාතිවාදයේ නිර්දය ප්‍රතිවාදියකු විය. එබැවින් ජාතිවාදයෙන් පෝෂණය වූ ජාතිවාදීන් ඔහුට වෛර කළේය. අප රටේ පොදු ජනතාව පත්ව ඇති ඛේදනීය හා අවාසනාවන්ත තත්ත්වයට හේතුව අධිරාජ්‍යවාදී හා ධනවාදී ආර්ථික ක්‍රමයේ සූරා කෑමත් ඉඩම් හිමි රදලයන්ගේ පීඩනය බවත් විජය හඬනඟා කීවේය.

මේ සියල්ලටම එකම විසඳුම සමාජවාදී සමාජ ක්‍රමයක් බව වටහා ගත් ඔහු එම සමාජවාදී ව්‍යාපාරය ගොඩනැඟීම සඳහා විසිරී සිටි වාමාංශික හා ප්‍රගතිශීලී බලවේග ගොනු කිරීම සඳහා නව ජීවයක් ලබාදෙමින් මුළු ශක්තියම යොදා ඒ වෙනුවෙන් පරිත්‍යාගයෙන් හා කැපවීමෙන් කටයුතු කළේය. එම නිසාම විජය නමැති දේශපාලන සාධකය දේශපාලන භූමිකාවෙන් ඉවත් කිරීම සඳහා වෛරයෙන් සසල වූ අධිරාජ්‍ය ගැති ධනපති පන්තියත් ඉඩම් හිමි රදලයනුත් කුමන්ත්‍රණය කළහ.

ඇති නැති භේදයකින් තොර සියලු ජාතීන් හට සහෝදරත්වයෙන් හා සාමයෙන් ජීවත්විය හැකි වඩා සාධාරණ වූත් යුක්ති සහගත වූත් රටක් ගොඩනැඟීමේ අරමුණ වෙනුවෙන් මරණය දැක දැක සටන් කළ විජය අවසානයේ තම උත්තුංග ජීවිතයම ජාතියට පරිත්‍යාග කොට දයාවෙන් සෙනෙහසින් හා කරුණාවෙන් පිරි දෙනෙත් සදහටම පියා ගත්තේය.

විජය කළ සටනට අපි කැපවෙමුයි ආයාචනය කරමින් විජය කුමාරතුංග නමැති ඒ ශේ්‍රෂ්ඨ යුග පුරුෂයාට ගෞරවයක් වශයෙන් ආචාර්ය දයාන් ජයතිලක මහතා ලියූ ලිපියක කොටසකින් මම මේ ලිපිය අවසන් කරමි.

"විජයගේ චින්තනය අසූවේ දශකයේ චින්තනයක්ම නොවේ. ලාංකේය සමාජය අද මුහුණ දෙන ජාතීන් අතර ගැටුම් පිළිබඳ ගැටලුවට විසඳුමක් තිබේ නම් එම විසඳුම තිබෙන්නේ විජය චින්තනය හරහාය. විජය අතීතයට අයත් මහා පුරුෂයෙක්ම නොවේ. ලාංකේය සමාජය වත්මන් ඛේදජනක තත්ත්වයෙන් මිදී ජාතිවාදය හා මිලේච්ඡත්වය පරදවා ධනවාදය පෙරළා දමා ධනේශ්වර පන්තීන් විස්ථාපනය කර ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදයක් ගොඩනඟා දීර්ඝ කාලීන අරගලයකින් හා කාල පරිච්ඡේදයකින් පසු නව සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්ටාචාරයක් කරා පිය නඟන අවස්ථාවේදී නව ලාංකේය සමාජවාදී මානවයා නිර්මාණය වනු ඇත. ඒ නව ලාංකේය සමාජවාදී මානවයා කෙබඳු වේදැයි අද අපට කීම අපහසුය. එහෙත් ඒ නව ලාංකේය සමාජවාදී මානවයා සම්බන්ධයෙන් ඔහු හා ඇය ගැන අපට නිශ්චිතව හා පැහැදිලිව කිව හැකි එක දෙයක් තිබේ. ඔහු විජය බඳු වනු ඇත. එම නිසා අප විජය දෙස බැලීමට විජය දැකීමට නම් ආපසු හැරී බැලිය යුත්තේ නැත. විජය දැකීමට නම් දැන හඳුනා ගැනීමට නම් අප හැමවිටම බැලිය යුත්තේ ඉදිරියමය."

අසංක නවරත්න
ප්‍රධාන ලේකම්
ශ්‍රී ලංකා මහජන පක්ෂය
වයඹ පළාත් සභා මන්ත්‍රි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon