වෛද්‍ය සිසුන්ගේ ‘මහපොළ ශිෂ්‍යාධාර’ වාරික දහයක් කප්පාදු කළැයි මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

  👤  3066 readers have read this article !
By mawbima 2018-02-16

සවනි ශේශාධි

මාස 10ක පන්ති වර්ජනයේ නිතර වූ වෛද්‍ය පීඨ සිසුන්ට හිමි මහපොළ ශිෂ්‍යාධාර වාරික 10ක් කප්පාදු කිරීමට එරෙහිව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු සාමාජිකයන් පිරිසක් ඊයේ (15දා) මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ගොනු කරනු ලැබීය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන්ද සිල්වා, මහපොළ ශිෂ්‍යාධාර භාරකාර අරමුදලේ අධ්‍යක්ෂ එම්.වී. බණ්ඩාර, උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් මේ පෙත්සම ගොනු කොට තිබේ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සාමාජික සුසිත ප්‍රියංකර මෙසේ පැවැසීය.
පසුගිය මාස 10ක් පුරාවට නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ සටනක නිරත වුණා. ඒ අරගලයේදී තමන්ගේ පෞද්ගලික ඕනෑඑපාකම්, අම්මා තාත්තාගේ හීන බලාපොරොත්තු පැත්තකින් තියලා ඔවුන්ගේ ජීවිතවලින් මාස 10ක් කැප කළා. සමාජයේ පොදු යහපත වෙනුවෙන් කළ අරගලයේදී මාස 10ක පන්ති වර්ජනයක හිටිය කාල සීමාවට අදාළව, උසස් අධ්‍යාපන ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහපොළ ශිෂ්‍යාධාර අරමුදල හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එක්ව පැවැත්වූ රැස්වීමකදී තීරණය කරලා තියෙනවා වෛද්‍ය ශිෂ්‍යන්ට හිමි මහපොළ ශිෂ්‍යාධාර වාරික 50න් වාරික 10ක් කප්පාදු කරන්න. මේ අත්තනෝමතික තීරණය ආපසු හරවා ගන්න.

එහෙම නැත්නම් ඒ තීරණයට විරුද්ධව දැවැන්ත විරෝධතා ක්‍රියාමාර්ග ගන්න අපි සූදානම්. පසුගිය පෙබරවාරි 10දා මේ රටේ මිනිස්සු පෙන්නපු ආණ්ඩුවට තිබුණු ජනතා විරෝධය දැන්වත් තේරුම් ගන්න. පසුගිය අවුරුද්ද පුරාවට වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විදියට සමාජ අයිතීන් හා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ආණ්ඩුව ගෙනගිය වැඩපිළිවෙළට එරෙහිව අපි ගොඩනඟපු මතය නිසා තමයි ආණ්ඩුවට මේ තරම් ඛේදජනක ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ වුණේ. අදටත් සයිටම් ප්‍රශ්නයට නිසි විසඳුම් ලබා දීලා නැහැ. සයිටම් වෙනුවෙන් කඩේ යන ඇමැතිලා කිහිප දෙනෙක්ට ළඟදීම ආණ්ඩුව අත ඇරලා ගෙදර යන්න වෙයි කියලත් අපි මතක් කරනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon