ශ්‍රී ලංකාව වාර්තාවක්ද සමඟින් විස්සේ බලයත් අතට ගනී

  👤  3288 readers have read this article !
By mawbima 2018-02-16

කුසල් මෙන්ඩිස් ලැබූ අර්ධ ශතකයත්, අවසන් මොහොතේදී දසුන් ශානක හා තිසර පෙරේරා දියත් කළ සුපිරි පිතිහරඹයත් හේතුවෙන් බංග්ලාදේශය කඩුලු 6කින් පරාජයට පත්කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරග දෙකකින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය 1-0ක් ලෙස ඉදිරියෙන් සිටීමට ඊයේ සමත්විය.

බංග්ලාදේශයේ ඩකාහි පැවැති මෙම තරගයේ බංග්ලාදේශය විසින් ලබා දුන් ලකුණු 194ක ඉලක්කය පසුපස ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 16.4කදී කඩුලු 4ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසුකර ගිය අතර, මෙය ශ්‍රී ලංකා කණ්ඩායමක් ලකුණු හඹා ගොස් ලැබූ ඉහළම ජයග්‍රහණය බවටද පත්විය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 53ක සබඳතාවක් එක් කිරීමට ධනුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් සමත්වූයේ ජයග්‍රාහී වටපිටාව විවර කරමිනි. එහිදී බංග්ලාදේශ පන්දු යවන්නන්ට අත දිග හැර පන්දුවට පහර දෙමින් පන්දු 27කට මුහුණ දී හතරේ පහර 8ක් හා හයේ පහර දෙකක් සමඟින් ලකුණු 53ක් ලබාගැනීමට මෙන්ඩිස් සමත්වූ අතර, එය ඔහුගේ පළමු විස්සයි-20 අර්ධ ශතකය බවටද පත්විය.

මෙන්ඩිස් ලබාගත් අර්ධ ශතකය මෙන්ම සුපිරි පිතිහරඹයක් දියත් කළ දසුන් ශානක (නොදැවී 42) හා තිසර පෙරේරා නොදැවී 39 ලබාගනිමින් අපහසු ජයක් කරා ශ්‍රී ලංකාව රැගෙන ගිය අතර, මේ දෙදෙනා අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 65ක සබඳතාවක්ද එක්වී තිබිණි.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන්වූ සෞම්‍ය සාකාර් හා සකීර් හසන් අතුරින් වේගවත් පිතිහරඹයක නිරත වූ සාකාර් පන්දු 32කදී හතරේ පහර 6ක් හා හයේ පහර දෙකක් සමඟින් ලකුණු 51ක් ලබාගනිද්දී ඔහුට අනගි සහායක් ලබා දුන් මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 66ක් ලබාගත්තේය. සාකර් හා රහීම් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51ක සබඳතාවක්ද වාර්තා වී තිබිණි.

මේ අතර බංග්ලාදේශ ඉනිමේ කඩුලු 3ක් ලකුණු 100කට දැවී ගොස් තිබූ මොහොතක රහීම්ට එකතු වූ නායක මහමුදුල්ලා වේගවත් ලකුණු 43ක් ලබා රහීම් සමඟ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 73ක සබඳතාවක්ද එක්කරමින් ලකුණු 190න් ඔබ්බට බංග්ලාදේශය රැගෙන ගියේය.

කෙසේ වෙතත් වසර හතරහමාරකට පසු කණ්ඩායමට එක්වූ ජීවන් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වෙමින් ලකුණු 21කට කඩුලු 2ක් දවාගත්තේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon