අපිට චෝදනා කරන එක වැරැදියි

  👤  3076 readers have read this article !
By mawbima 2018-02-16

සිරිනාම රාජපක්‍ෂ

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු (එන්.ඕ.සී.) නිලවරණය මේ මස 23දා පැවැත්වීමට නියමිත අතර එහිදී ප්‍රධාන ලේකම් තනතුර සඳහා අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින මැක්ස්වෙල් ද සිල්වා මහතා (වත්මන් එන්.ඕ.සී. ප්‍රධාන ලේකම්වරයාද වන) "මව්බිම"ට අදහස් දක්වමින් කියා සිටියේ 2010 සිට 2013 දක්වා කාලසීමාවට අදාළ විගණන වාර්තා සම්බන්ධයෙන් විවේචනාත්මකව කතා කළද 2014 සිට 2016 දක්වා වසරවලට අදාළ විගණන වාර්තා ගැන කිසිම මාධ්‍යකින් මෙතෙක් තමන්ගෙන් විමසා නොමැති බවයි. 2013 දක්වා වසර 4කට අදාළ විගණනය කරන ලද ගිණුම් වාර්තා සම්බන්ධයෙන් සුළු පරිමාණයේ දෝෂයන් ඇති බවට විගණකාධිපතිවරයා සඳහන් කර තිබුණද 2016 දක්වා පසුගිය වසර 3ක වකවානුවට අදාළව එන්.ඕ.සී. වාර්ෂික ගිණුම් වාර්තා පිළිබඳව කිසිදු අක්‍රමිකතාවක් මතුකර නැතැයිද සිල්වා මහතා තවදුරටත් පැවැසීය.
ඒ අනුව බැලූ විට එළැඹෙන නිලවරණයේදී තමන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති පාර්ශ්වයන්ගෙන් එල්ල වන චෝදනා පදනම් විරහිත බවද ප්‍රකාශ කළ එන්.ඕ.සී. ප්‍රධාන ලේකම් සිල්වා මහතා,

"අද ඔය ප්‍රජාතන්ත්‍රවාදය ගැන, ඒකාධිපතිවාදය ගැන කතා කරන කට්ටිය ඒ කාලේ කතා කළේ නැහැ. ඔය අහන විනිවිදභාවය ගැන එදා කතා කළේ නැහැ. මම ලේකම් තනතුරට පත්වුණේ 2009 අවුරුද්දේ. විදෙස් සංචාරවලදී වුණත් හැම නිලධාරියකුටම වගේ අවස්ථාව දෙන්න අපි කටයුතු කළා. 2009න් පසුව ඊළඟ ඔලිම්පික් නිලවරණය නියමිතව තිබුණේ 2013දීයි. 2013න් පසුව අපි විනිවිදභාවයෙන් කටයුතු කළාද කියන කතාව විගණන වාර්තා බැලුවාම තේරෙනවා" යනුවෙන් පැවැසීය.
නමුත් 2013න් පසුව වසර 3කට අදාළ ගිණුම් කටයුතු විගණනය කළේ එම නිලධාරීන් එන්.ඕ.සී. ප්‍රධාන කාර්යාලයේම රැඳී සිටිමින් යැයි පැවැසෙන කරුණ සම්බන්ධයෙන් ප්‍රධාන ලේකම්වරයා ප්‍රතිචාර දැක්වූයේ, "නැහැ. අපේ ගිණුම්වල ආකෘතිය 2017 වන විට වෙනස් කරන්න ඕන නිසා පැරැණි ආකෘතියට ගිණුම් දුන්නාම නැවත ඇවිල්ලා ඒ ආකෘති පත්‍රවල වෙනසක් පමණයි කළේ. එහෙම නැතිව ඇවිල්ල විගණන කටයුතු කළේ නැහැ" යනුවෙනි.
වත්මන් එන්.ඕ.සී. ව්‍යවස්ථාවට අනුව භාණ්ඩාගාරිකගේ යුතුකම වන්නේ මූල්‍යමය කටයුතු නිසි පරිදි සිදු වෙනවාද බැලීම බවත් මූල්‍ය කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රොහාන් ප්‍රනාන්දු මහතා ඔහුගේ වගකීම් හා බලය යොදාගෙන කටයුතු නොකළ බවට දැන් සනාථ වී ඇතැයි මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවැසීය. එනමුත් මූල්‍ය කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රොහාන් ප්‍රනාන්දු මහතා එකල පැවැති මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් 2013 සිට කිහිප වතාවක්ම එන්.ඕ.සී. සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතාට මෙන්ම භාණ්ඩාගාරික ගාමිණී ජයසිංහ මහතාට ලිඛිතව දැනුම් දුන්නද ඉන් ඵලක් වී නොමැති බවට සඳහන් වනවා නොවේදැයි? යන පැනයට පිළිතුරු දෙමින් අදහස් දැක්වූ වත්මන් ලේකම්වරයා "මා කියන්නේ තමුන්ට වැඩ කරන්න බැරි නම් ඉල්ලා අස්වෙන්න තිබුණා. අපේ ආයතනයට ඇවිල්ල ස්වේච්ඡාවෙන් කටයුතු කරලා කාලය කැප කරලා වගකීම් ගන්න ඕන. මම රොහාන්ට කියනවා නොවෙයි. තමුන්ට වගකීම් ගන්න බැරි නම් දැන් ඇවිල්ල සභාපති වෙන්නේ කොහොමද? එන්.ඕ.සී.යේ වැඩ කරන ළමයි වැඩ කරන්නේ නැහැ කියලා ‍ෙදාස් කියනවා නම් වැරැදියි. වැඩ ගන්න දැනගන්න ඕන. ඒක තමයි නායකත්වය කියන්නේ. එයයි කළමනාකාරීත්වය කියන්නේ. එහෙම නැතිව එක එක තැන්වල කතා කරලා වැඩක් නැහැ" යනුවෙන්ද කීය.

2013 වසරේ ලුසේන්වලට ගොස් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හමු වූ ඔබ ඇතුළු කණ්ඩායමට උපදෙස් ලැබුණේ 2013න් පසුව නිලවරණයකින් නව කමිටුවක් පත්කරගන්නා තුරු පවතින නිලධාරි මණ්ඩලයේ රැස්වීම් නිසි පරිදි පවත්වා පරිපාලනය මෙහෙයවන ලෙසයි. නමුත් එසේ ඔබලා කටයුතු කළේ නැහැ කියන චෝදනාව කළොත්?

"අපි රැස්වීම් පැවැත්වුවා. නමුත් පළමු රැස්වීමේදීම ඒගොල්ලො මොකද කළේ. එන්.ඕ.සී. බලය අල්ලගන්න හැදුවා. ඉන් පසුව සභාපතිතුමා කිව්වා ඒ රැස්වීම් නවත්වන්න කියලා." යනුවෙන් ලේකම්වරයා පැවැසීය. මේ අතර 2018 ගෝල්ඩ් කෝස්ට් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ගැනීම වෙනුවෙන් නිකරුණේ රුපියල් මිලියන 500ක් පමණක් වියදම් කිරීමක් සිදුවුණේ කෙසේදැයි යන පැනයට පිළිතුරු දුන් සිල්වා මහතා කියා සිටියේ ඊට අදාළව මහ බැංකුවේදී පැවැති සියලු රැස්වීම්වලදී එය නිෂ්ඵල උත්සාහයක් බව පෙන්වා දුන්නද තමන් ඇතුළු එන්.ඕ.සී. ය දුන් උපදෙස් අදාළ නිලධාරීන් පිළිනොපැදීමෙන් එවන් විපතක් සිදු වූ බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon