එන්.ජී.ඕ නඩ එකතු වී පොහොට්ටුවේ ජනවරම විකෘති කිරීමට සැරසෙනවා

  👤  3202 readers have read this article !
By mawbima 2018-02-16

එන්.ජී.ඕ. නඩ එකතු වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ ජනවරම විකෘති කිරීමට කටයුතු කරන බව යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග පවසයි. යුතුකම සංවාද කවය ඊයේ (15දා) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුටත් අදහස් දැක්වූ ගෙවිඳු කුමාරතුංග මහතා
මෙවර මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ ජයග්‍රහණයේ සැබෑ අරුත විකෘති කරලා කුමන්ත්‍රණකාරී ගමනකට අපේ රටේ ජනතාව යොමු කරන්න ප්‍රයත්නයක් ගෙනියනවා.

රාජිත සේනාරත්න, ගාමිණී වියන්ගොඩ වැනි අය කියනවා මේක ගම් සභාවකට තියපු ඡන්දයක්. මේකෙන් ජාතික ප්‍රතිපත්ති පිළිබඳ ගැටලුවක් මතු වෙන්නේ නැහැ කියලා. නමුත් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ ඡන්ද ප්‍රචාරණ කටයුතු අරගෙන ගියේ ගම හදන්න යන විදියට නෙවෙයි, ජාතික නායකත්වයකට යන විදියට. ජනතා විමුක්ති පෙරමුණ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. මේ එන්.ජී.ඕ. නඩ මඟින් රට පුරා පෝස්ටර් ගැහුවා. වෙනසක ඇරැඹුම කියලා කිව්වේ. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ඒ වගේම මේ රට තුප්පහි අශ්ලීල සංස්කෘතියකට ගෙනියන්න හදන ජිප්සීස් කණ්ඩායමේ නායකයා සුනිල් පෙරේරා, ඔවුන් එකතු වෙලා ජනතා විමුක්ති පෙරමුණ දිනවන්න හැදුවා. මේවා ගම සම්බන්ධ කාරණා නෙවෙයි. රටේ අනාගතය සම්බන්ධයෙන්, සියලු දේශපාලන පක්ෂ මේ මැතිවරණය ජනමත විචාරණයක් බවට පත් කළා.

දැන් මොවුන් අහනවා ගම් සභාවකට තියපු ඡන්දයකට මොකටද ආණ්ඩුව ඉල්ලා අස්වෙන්නේ කියලා. රනිල් වික්‍රමසිංහලා අපේ ජාතික සම්ප්‍රදාය තකන්නේ නැහැ කියලා අපි දන්නවා. අඩුම ගානේ මේ කළු සුද්දෝ ටික සුද්දාගේ ප්‍රතිපත්තියටවත් ගරු කරලා ඉල්ලා අස්වීමේ පරම යුතුකමක් තියෙනවා. මේ යහපාලනය ගැන කතා කරන එන්.ජී.ඕ.වලට කියන්න බැරිද ඔහුට ඉල්ලා අස් වෙන්න කියලා. ඔවුන් ගණිත විනෝදයන් සපයන්නේ නැතිව කළ යුත්තේ අගමැතිවරයාට වහා ඉල්ලා අස්වෙන්න කියන එක. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පැහැදිලිව ප්‍රකාශ කෙළේ මහ බැංකු හොරුන්ට දඬුවම් දෙන්න තමාට ජනවරමක් දෙන්න කියලා. එතුමාට 13%ක් මේ රටේ ජනතාව ඡන්දය දීලා තියෙනවා. මහ බැංකු හොරුන්ට දඬුවම් දෙන්න.

මේක වර්ෂ අවසාන විභාගයක් නෙවෙයි වාර අවසාන විභාගයක් විතරයි කියලා එන්.ජී.ඕ. නඩ කියනවා.
මේකෙ ලකුණු අඩු වුණාට කවුරුවත් ෆේල් වෙන්නේ නැහැ කියලා කියනවා. අපි අහනවා මේක දරුවන්ගේ විභාගයද කියලා.
මේ ආණ්ඩුව අවුරුදු 3ක් මේ රටට කෙළවලා තියෙනවා. තව 3ක් දීලා බලමු. එහෙමද රටක් සම්බන්ධයෙන් ඔවුන් හිතන්නේ කියලා අපි ප්‍රශ්න කරනවා. මේ රටේ ජනතාව පරීක්ෂණගාරවල මීයෝ නෙවෙයි. අපි කියනවා මේ රටේ ජනතාව තවදුරටත් විපතට නොයවන්න කියලා.
පසුගිය අවුරුදු තුනේ සිදුවූ දේවල් වෙනස් කරන්නයි ජනතාව මේ මැතිවරණයේදී කටයුතු කළේ. කරුණාකර ඊට ගරු කරන්න කියන ඉල්ලීම තමයි අපිට කරන්න තියෙන්නේ.

පෙබරවාරි 10 ජනමතය මොකක්ද කියලා පොදුජන පෙරමුණ ලබපු ජයග්‍රහණයෙන් අපිට හොඳටම පැහැදිලි වෙනවා. මුළු රටේම තුනෙන් දෙකකට වඩා ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම කුරහන් පාටින් පාට කරලා මේ රටේ ජනතාව පෙන්වලා තියෙනවා. තමන්ගේ අභිමතය, කැමැත්ත මොකක්ද කියලා.
අපි අවධාරණය කරනවා මේ මැතිවරණයේ ප්‍රතිඵලයත් එක්ක අගමැති රනිල් වික්‍රමසිංහ නොපමාව ඉල්ලා අස්විය යුතුයි කියලා. ඉල්ලා අස්වෙලා මේ ආණ්ඩුව ගෙන යෑමට නොපමාව පොදුජන පෙරමුණට භාරදිය යුතුයි. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියවෙලා යනවා. ආයෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් මේ රටට ඉතුරු වෙන්නේ නැහැ. මේ මැතිවරණ ප්‍රතිඵලවලින් ඒක අපිට හොඳටම පැහැදිලි වෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon