රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට යෝජනා කිරීම සදාචාරසම්පන්න නැහැ

  👤  3097 readers have read this article !
By mawbima 2018-02-16

රනිල් වික්‍රමසිංහ මහත්තයව අගමැති ධුරයෙන් ඉවත් කිරීමට යෝජනා කිරීමට කිසිදු සදාචාර සම්පන්න අයිතියක් නොමැති බවත්, එවන් යෝජනා ගෙන එන ලද අය ලක්‍ෂ 36ක් වන එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගෙනුත් ජනාධිපතිතුමා පත් කළ රටේ සමස්ත ජනතාවගෙනුත් සමාව ගත යුතුයි යැයි ඛනිජ තෙල් ජාතික සේවක සංගමයේ සභාපති ජාතික සේවක සංගමයේ මවු සංගමයේ උප සංවිධායක ආනන්ද පාලිත මහතා පවසයි.
ඒ මහතා එසේ පැවැසුවේ ඊයේ (15දා) ජාතික සේවක සංගම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් ආනන්ද පාලිත මහතා මෙසේද පැවැසීය.

ජනාධිපතිතුමා හිතනවා නම් එතුමාට ශ්‍රී ලනිපයේ ඉන්න මැති ඇමැතිවරු පාලනය කරන්න බැහැ කියලා, බහුතරයක් තියෙන එජාපයට ආණ්ඩු කිරීමට ඉඩ හැරලා ඔවුන්ට ස්වාධීනව තීන්දු තීරණ ගැනීමට අවකාශය ලබාදීලා එතුමා ජනාධිපති ධුරයේ වැඩකටයුතු කරගෙන යා යුතුයි. එසේ නොකර මෙලෙස කටයුතු කිරීමෙන් රට අරාජිකත්වයට පත්වෙනවා. ඒ නිසා රට ලේ විලක් බවට පත් නොකර ජනාධිපතිතුමා ඍජු තීරණ ගෙන නිවැරැදිව කටයුතු කළ යුතුයි.

පළාත් පාලන ඡන්දයෙන් මේ තීන්දුව ලැබුණේ හොරු ඇල්ලුවේ නෑ කියලවත්, වැඩ කළේ නෑ කියලවත් නෙවෙයි. ජනාධිපතිතුමා පසුගිය මැතිවරණ කාලේ ඇමැති මණ්ඩලය වැරැදි උපදෙස් මතයි ක්‍රියා කළේ. ඔවුන් හිතුවා එජාප විරෝධී වුණාම ශ්‍රී ලනිප ඡන්ද වැඩිවෙයි කියලා. එතුමාට එසේ උපදෙස් දෙමින් එතුමාගේම වේදිකාවල ශ්‍රී ලනිප පිරිස් කළේ මහින්දගේ න්‍යාය පත්‍ර ක්‍රියාවට නැංවීමක්. ඔවුන් මාධ්‍ය තුළ ජනතාව රවටමින් සෙල්ලමක් කළා.

අපි ජනාධිපතිතුමා එක්ක අදත් ඉන්නවා. හෙටත් ඉන්නවා. ඒ නිසා එජාපය තුළ අර්බුද ඇති කරන යෝජනා ගෙන එන්න එපා. රට අකර්මණ්‍ය කරන්න එපා. මේ යහපාලනය තුළ රටේ නීතිය සදාචාරය ශක්තිමත් කරන්න අවස්ථාව දෙන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ජාතික සේවක සංගමයේ උප සභාපති මාධ්‍ය ලේකම් සුනිල් ද සිල්වා:
ලක්‍ෂ 45ක් මහින්ද මහත්තයාට දීලා තියෙන්නේ ශ්‍රී ලනිපයේ ඡන්ද. හරියට පක්‍ෂ නායකයකු නැති පක්‍ෂයකට ජනතාව ඡන්දය දුන්නේ ශ්‍රී ලනිප විරෝධය පෙන්වන්න. ඒ අනුව විරෝධය මතුවිය යුත්තේ ජනාධිපති ධුරය විසුරුවා හැරීමටයි. නමුත් මෙය පළාත් පාලන මැතිවරණයක් බව අපි හොඳට අවබෝධ කරගෙන ඉන්නේ.
මේ රටේ අගමැති ධුරය වෙනස් කිරීමට ක්‍රම 03ක් තියෙනවා. එක්කෝ ඒ පුද්ගලයාට පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබිය යුතුයි. එසේත් නැතිනම් බහුතර බලය ඇතැයි සිතන පක්‍ෂයේ පුද්ගලයාට ජනාධිපතිවරයා ආරාධනා කළ යුතුයි. එහෙමත් නැත්නම් පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයට අගමැති තෝරා ගැනීමට නිදහස ලබාදිය යුතුයි. අද වන විට මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ දූ දරු කැල මේ උත්සාහ කරන්නේ රටේ බොරු නාඩගමක් රඟ දක්වමින් ඔහුට රටේ තිබෙන බලය පෙන්වීමටයි.

ජාතික සේවක සංගමය කියන්නේ මේ රටේ බහුතර පිරිසකට සේවා සපයපු බහුතරය වෙනුවෙන් පෙනී සිටින පිරිසක්. ඒ නිසා අපි කවදාවත් මහින්ද මහත්තයාට තියා කාටවත් මේ රට අරාජික කරන්න ඉඩ දෙන්නේ නැහැ.

අඩු වුණේ එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගේ ඡන්ද එහෙම නැතිව ශ්‍රී ලනිප පාක්‍ෂිකයන්ගේ ඡන්ද නෙවෙයි. ඒ නිසා අපි කල්පනා කරන්නේ එජාප ඡන්ද අඩු වුණේ ඇයි කියලා. ඒ නිසා මුලින්ම අපි එජාප අපේක්‍ෂකයන්ට වුණු අඩුපාඩු බලලා ඒවා ඉෂ්ට සිද්ධ කරලා ඉන්න ඕන. අපිට හැට දෙලක්‍ෂයක් ජනතාව පෙන්නූ රතු එළිය තේරුම් ගෙන ඉදිරියට යා යුතුයි.

අනෙක වැඩි බලතල තවමත් එජාපයට ලැබෙනවා. 106ක් දැනටත් තියෙනවා. ටී.එන්.ඒ. ඡන්දත් හිමිවෙනවා. ජේ.වී.පී. එක කියන්නේ රාජපක්‍ෂවරුන්ට එකතු වෙන්නේ නැහැ කියලයි. ඒ නිසා තවමත් බහුතරය එජාපය සතුය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon