වෙන පක්ෂවලට සහාය දෙන ශ්‍රී ලනිප පළාත් නියෝජිතයන් ඉවත් කරනවා

  👤  3456 readers have read this article !
By mawbima 2018-02-16

පක්ෂ තීන්දුවට එරෙහිව ආයතනවල බලය පිහිටුවීමට වෙනත් පක්ෂවලට සහාය දෙන ශ්‍රී ලනිප පළාත් පාලන නියෝජිතයන් ඉවත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අනතුරු ඇඟවීමක් කර තිබේ.

ජනාධිපතිවරයා මේ අනතුරු ඇඟවීම කර තිබෙන්නේ ජනාධිපතිවරයා නායකත්වය දුන් දේශපාලන පක්ෂ හා සන්ධාන නියෝජනය කරමින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ ජයග්‍රහණය කළ අපේක්ෂකයන් හා දිස්ත්‍රික් සංවිධායකවරුන් සමඟ ඊයේ (15දා) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ පැවැති හමුවකදීය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තම දේශපාලන වේදිකාවේ ප්‍රධාන සටන් පාඨය වූ දූෂණය, වංචාව සහ අක්‍රමිකතාවය තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙළ ඉදිරි සති දෙක තුළ අරඹන බවත්, ඒ ස¼දහා ජාතික වශයෙන් රටේ ආගමික නායකයන්, උගතුන්, බුද්ධිමතුන් සියලු දෙනා දායක කරගන්නා සේම ජාත්‍යන්තර සහායද ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පැවැසීය.

දූෂණයෙන් වංචාවෙන් සහ අක්‍රමිකතාවයෙන් තොර දේශපාලනයක් සඳහා වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිඥාව සුරකිමින් ඉදිරියට යෑමට සියලු නියෝජිතයන් කැපවිය යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලද මෙම ජනවරම ගැන සතුටුවන බවද, ඒ වෙනුවෙන් කැපවූ සියලු දෙනා වෙත තම කෘතඥතාව පිරිනමන බවද කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කළ සේම, ජයග්‍රහණය නොකළ සියලු නියෝජිතයන් ඒකරාශී කරගනිමින් පක්ෂය සහ ආණ්ඩුව ලෙස ජනතාවට සේවය කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියේදී සකසන බව ජනාධිපතිවරයා පැවැසීය.
පරාජයට පත්වූ කිසිදු අපේක්ෂකයකු අත් නොහරින අතර එම සියලුදෙනා ගම සංවර්ධනය කිරීමේ තම නියෝජිතයන් බවට පත්කර ගන්නා බවද ජනාධිපතිවරයා කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ලංකා කම්කරු කොංග්‍රසය. ජාතික කොංග්‍රසය හා ඊ.පී.ඩී.පී. පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය ලැබූ අපේක්ෂක අපේක්ෂිකාවෝ මීට එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon