පළාත් පාලන ඡන්දයෙන් දෙපැත්තෙම බල කණු හතර ගාතෙන් හතර ගාතෙන්

  👤  3116 readers have read this article !
By mawbima 2018-02-18

ඡන්දයක් තිබුණේ පහළම ඒකකයේ නියෝජිතයන්ටය. එහි ප්‍රතිඵලය ආණ්ඩුව කලඹන පෙරැළියක් වී තිබේ. ප්‍රාදේශීය සභා ඡන්දය සම්මුති ආණ්ඩුව හොලවා ඇත. එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රි කණ්ඩායම තමන්ගේ ආණ්ඩුවක් ඉල්ලයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ගේම ආණ්ඩුවක් පිහිටුවන අරමුණ ඇතිව සිටී. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉල්ලන්නේ මහ මැතිවරණයකි. විපක්ෂය නිහඬය. ජනතා විමුක්ති පෙරමුණ සිය ඡන්ද පදනම ඉහළට නැඟ ඇති බව කියන්නට පටන්ගෙන තිබේ.

පොදුජනතාව රාජපක්ෂ පාලනය ප්‍රතික්‍ෂේප කළේ මෙයින් වසර තුනකට කලින් බව සිහිපත් කළ යුතුය. පොදු අපේක්‍ෂකයකු වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රිපාල සිරිසේන මහතාට විශාල ජනවරමක් හිමිවිය. එයින් මාස අටකට පසු පවත්වන ලද මහ මැතිවරණයෙන් වත්මන් ආණ්ඩුවක් හදන ජනවරම නිර්මාණය විය. රාජපක්ෂ පාලනය ගෙදර යවන්නට සමත් වූ මෛත්‍රිපාල රනිල් සුසංයෝගය එකට එකතුවී පිහිටුවන ලද යහපාලන ආණ්ඩුව රට වෙනස්කර අලුත් යුගයකට ප්‍රවේශ වනු ඇතැයි ජනතාව අපේක්‍ෂා කළහ. යාන්තම් අවුරුදු දෙක පිරෙන විට පක්ෂ දෙක අභ්‍යන්තරයේ පැවැති, තිබුණු හැලහැප්පිලි පළාත් පාලන ඡන්දයේදී එළියට විසි විය. පක්ෂ දෙක අතර කුල මල කියාගෙන හැසිරුණු අන්දම සාක්‍ෂි සහිතව දැකගත් ජනතාවට සම්මුතිය අහවර බව තීන්දු කිරීම අපහසු වූයේ නැත. සන්ධානයේ පාර්ශ්ව එළිපිට කිළිටි සෝදමින් සිටින අතරතුර ජී.එල්. පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් පිහිටුවා ගත් අලුත් පක්ෂය එනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ගේ තරම පෙන්වා තිබේ.

රට එකතු කරන්නට යහපාලන ආණ්ඩුවක් හැදුවේ මේ රටේ ජනතාවය. පක්ෂ දේශපාලනයට නැවතීමේ තිත තබා බලකාමීත්වය තුරන් කරන්නට අපේක්‍ෂා කළේය. දේශපාලන ගෝත්‍රිකත්වයෙන් ජරාජීර්ණ වී තිබුණු රට වෙනුවෙන් අලුත් සංකල්පයක් බිහිවිය. නමුත් දේශපාලනඥයෝ නැවත වතාවක් ගෝත්‍රික බල අරගලය සඳහා අවි අමෝරාගෙන සිටිති. සම්මුතිය, විසංවාදය, පුළුල් සමාජ කතිකාවත පමණක් නොව සංහිඳියාව යන සංකල්ප අසරණ වී ඇත. සමාජය නැවත වතාවක් ආපසු හරවන තීරණ හමුවේ ජනතාව අපේක්ෂා භංගත්වයට පත්ව සිටිති. එය බරපතළ ඛේදවාචකයකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය සන්ධානගතවී පිහිටුවන ලද ආණ්ඩුවේ බල කණු සෙලවී තිබේ. බලවත්ම චරිත නියෝජනය කරන ලද මැතිවරණ කොට්ඨාසවල ඉරණම 2016 නොවැම්බර් මාසයේදී නම අලුත් කර ජනතාව ඉදිරියට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තීන්දු කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජනාධිපතිවරියක වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෑතකදී අත්තනගල්ල ආසනයේ සංවිධායකවරිය සේ පත්වූවාය. අත්තනගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නමට ලියැවුණු භූමියකි. නමුත් මෙවර පළාත් පාලන ඡන්දයෙන් ශ්‍රී ලනිප සියලුම අපේක්‍ෂකයන් පරාජයට පත් වූවේය. එම

හැදෙන්නේ පක්ෂය හැදුණේ කොහොමද? ජාතික පෙරමුණ යනුවෙන් ලියාපදිංචි කර තිබුණු පක්ෂය අලුතින් නම් කිරීමෙන්ය. 2001 අවුරුද්දේ පාර්ලිමේන්තු ඡන්දයට බැට් පිත්තෙන් තරග කළ ශ්‍රී ලංකා ජාතික පෙරමුණ පක්ෂයට මුළු රටෙන්ම ලැබුණේ ඡන්ද 719කි. එයින් අවුරුදු දහ හතරකට පසු පක්ෂයේ නම වෙනස් කර එහි ලාංඡනය නෙලුම් පොහොට්ටුව බවට හැරවූ පසු කොළඹදී පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූ පසු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා බව කියා සිටියේය. 2016 නොවැම්බර් මාසයේදී එසේ කියා සිටි පොදුජන පෙරමුණ 2018 පෙබරවාරි දහ වැනිදා වන විට "ජනවාරි විප්ලවය" සම්පූර්ණයෙන්ම ආපසු හරවා තිබේ. පළාත් පාලන ඡන්දයේදී ඡන්ද තිස්හත් ලක්ෂයක් පොහොට්ටුවේ නමට ලියා ගත්තේය. එක්සත් ජාතික පක්ෂය ඡන්ද විසිපන් ලක්‍ෂ අසූපන් දහසකට හා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද හය ලක්ෂ හතළිස් හය දහසකට සීමා කළේය. බලයේ සිටි සහ බලයේ ඉන්නා පක්ෂවල අභ්‍යන්තරය දරුණු සේ විවේචනය කර දූෂණයෙන් තොර ගමක් හදන්නට වරම ඉල්ලා සිටි ජනතා විමුක්ති පෙරමුණට ලබාගත හැකි වූයේ ඡන්ද පන්ලක්‍ෂ අසූ එක් දහසකට මඳක් වැඩි ප්‍රමාණයකි. එය මුළු රටින්ම ස්වාධීන ලකුණුවලින් තරග කරන ලද අයවලුන් ලබාගත් හත් ලක්ෂ හැට පන්දහසකට වඩා අඩු වීම විශේෂත්වයකි.

සන්ධාන ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂයෙන් පරාජය වූ ප්‍රබලයන් අතර මාතර ආසනයේ මංගල සමරවීර, සාගල රත්නායක (දෙණියාය), ගයන්ත කරුණාතිලක (බෙන්තර ඇල්පිටිය) සජිත් ප්‍රේමදාස (තිස්සමහාරාමය), රාජිත සේනාරත්න (බේරුවල), ලක්‍ෂ්මන් කිරිඇල්ල (සෙංකඩගල), රංජිත් සියඹලාපිටිය (ගලිගමුව), ආචාර්ය සරත් අමුණුගම (ගලගෙදර), ගාමිණි ජයවික්‍රම පෙරේරා (කටුගම්පොළ), රංජිත් මද්දුමබණ්ඩාර (බිබිල), තලතා අතුකෝරල (නිවිතිගල), පී. හැරිසන් (අනුරාධපුර - බටහිර), චන්ද්‍රාණි බණ්ඩාර (අනුරාධපුර), අජිත් පී. පෙරේරා (බණ්ඩාරගම), සුජීව සේනසිංහ (කඩුවෙල), පාලිත තෙවරප්පෙරුම (බුලත්සිංහල), ඉරාන් වික්‍රමරත්න (මොරටුව), ආචාර්ය හර්ෂ ද සිල්වා (ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ), රුවන් විජයවර්ධන (බියගම), සරත් ෆොන්සේකා (කැලණිය), චමින්ද විජේසිරි (බණ්ඩාරවෙල), එස්. බී. නාවින්න (වාරියපොළ) ආදී වශයෙන් වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල චරිතද සම්පූර්ණයෙන් පරාජය වී ඇත. පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක (කලාවැව) ඒ අතර ප්‍රධාන තැනක් ගනී. මහින්ද අමරවීර (කලාවැව), එස්. බී. දිසානායක (පාතහේවාහැට) පියසේන ගමගේ (හිනිඳුම), ඩිලාන් පෙරේරා (හාලිඇළ), ලක්‍ෂ්මන් යාපා (හක්මන), සුමේධා ජී. ජයසේන (මොනරාගල), චන්දිම වීරක්කොඩි (හබරාදුව), විජිත් විජිතමුණි සොයිසා (බිබිල) මහින්ද සමරසිංහ (පානදුර), අනුර ප්‍රියදර්ශන යාපා (කටුගම්පොළ) දයාසිරි ජයසේකර (පඬුවස්නුවර) සහ සුසිල් ප්‍රේම්ජයන්ත (ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ), රංජිත් සියඹලාපිටිය (ගලිගමුව) ඒ අතර වෙති. හිටපු ඇමැතිවරු දෙදෙනකු පළාත් පාලන ආයතනවලට තරග කරන ලද අතර ගුණරත්න වීරකෝන් හා මෙල්රෝයි ප්‍රනාන්දු යන එම දෙදෙනාද තරුණ අපේක්‍ෂකයන් හමුවේ පසුබෑමකට ලක්ව තිබේ. මෑත කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලවත් මාධ්‍ය අවධානයට ලක්වූ ඉසුර දේවප්‍රිය, චාමර සම්පත් හා ආනන්ද සරත් කුමාර යන චරිතද පරාජය වීම කැපී පෙනේ.

පක්ෂ දෙක තුළම විශේෂ චරිත පළාත් පාලන ඡන්දය මෙහෙයවන්නට ඉදිරියට පැමිණ සිටියේය. හතළිස් වසරකට වැඩි කාලයක් දේශපාලනය කරන ලද ඇතැම් ප්‍රබල දේශපාලකයන්ට සිය ජීවිත කාලය තුළ අත්නොවිඳි අන්දමේ අමතක නොවන පණිවුඩයක් පළාත් පාලන ඡන්දයෙන් ලැබුණු බව අවිවාදිතය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පොදුජන පෙරමුණේ දේශපාලන ගමන මෙහෙයවන ලද බව රහසක් නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශකව සිටිමින් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජන බලය ඇති නායකයන් පරිවාර කරගනිමින් හෙතෙම ක්‍රියා කළේය. එම අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය ක්‍රියාමාර්ග අභියෝග කළේය. එක පක්ෂයක සිටිමින් තවත් පක්ෂයක පළාත් පාලන ඡන්ද සටන මෙහෙයැවීම පමණක් නොව පාර්ලිමේන්තු ක්‍රමය තුළ නියම විපක්ෂය සිටියදී ඒකාබද්ධ විපක්ෂයක් වශයෙන් පෙනී සිටීම ද මෙරට ඉතිහාසය තුළ නොවූ විරූ සිද්ධි බව ඉතාමත් පැහැදිලිය.

පොදුජන පෙරමුණ රට තුළ තහවුරු කරන ලද බලවේගය කුමක්ද? මෙම තීරණාත්මක අවස්ථාවේදී එය තේරුම් ගැනීම වැදගත්ය. ඇමැති ෆයිසර් මුස්තාෆාගේ කාර්ය භාරය එහිදී ඉස්මතු වෙයි. මැතිවරණ ක්‍රමය වෙනස් කර , එල්ල වන පන්දුව කොහොම එකක් දැයි තෝරා බේරා ගන්නට බැරි වන සේ හෙතෙම පිට්ටනිය හැදුවේය. එහෙම පිට්ටනිය හදන්නට ගත් කාලය මහින්ද රාජපක්ෂ පාලනයේ දූෂණ හා වංචා සම්බන්ධ ඉතාමත් අපකීර්තිමත් අධිපතිවාදී පැරැණි පදනම සුනු විසුනු කර දමන්නට හොඳටම ප්‍රමාණවත් වූ බව දැක්විය යුතුය. පළාත් පාලන ඡන්ද ක්‍රමය හා සීමා නිර්ණය ගැන අප්‍රමාණ විවේචන තිබිණි. ඡන්දය ඉල්ලා සිටි ජනතා නියෝජිතයන්ට කඳුළු ගෑස් එල්ල වූ අතර ඡන්ද නොපැවැත්වීම මත ගම් මට්ටමින් විරෝධය ගමේ පළාත් පාලන ආයතන සභිකයන්ම ඇවිළවීය. ණයකන්ද ගැන කියද්දී ජීවන අරගලය ගැන හිතමින් සිටි පොදු ජනතාව වෙත දූෂණය ගැන සඳහන් කරන අවස්ථාවක් පාසා ප්‍රතිරාව නැඟුණේ බැඳුම්කර සිද්ධියි. අන්තිමේදී මෙම ඡන්දයෙන් මෛත්‍රි රනිල් සහයෝඟිතාවයේ තිබුණු ආකර්ෂණීයත්වය සම්පූර්ණයෙන්ම ආපසු හැරී තිබේ, පළාත් පාලන ඡන්දය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පමණක් නොව එක්සත් ජාතික පක්ෂයේද පතාක දේශපාලනඥයන් පරාජය කර ඇත. සම්මුති ආණ්ඩුව මෙතැනින් කොතැනකටද යන බරපතළ අර්බුදය මතු කර තිබේ.

පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලය හුදෙක් පොහොට්ටුවේ ජයක් පමණක් නොවේ. එක්තරා අන්දමකට යහපාලන වැඩපිළිවෙළේ පරාජයකි. පුරවැසි බලය හා සිවිල් සංවිධානවල ගැඹුරු ධෛර්යය බලවත් අනතුරකට යොමු කිරීමකි. නැවත වතාවක් සුබසිද්ධිය වෙනුවෙන් බල කරන්නට හැකියාවක් ඉතිරි කර නැත. රාජපක්ෂ සමයේ සිදුවූ බව කියන අති විශාල දූෂණ ගැන මෙහෙයුම් මෙතැනින් කොයිබටද යන සාධාරණ ප්‍රශ්නය පැනනැඟ තිබේ. පෙබරවාරි දහවැනිදා දක්වා දූෂිතයන්ට එරෙහිව කරන ලද ක්‍රියාමාර්ග බවට පත්ව තිබුණු සිද්ධි මෙයින් ඉදිරියට ගෙනගියහොත් දේශපාලන පළිගැනීම් වශයෙන් අර්ථකථනය වන්නට බැරිකමක් නැත. ද්‍රවිඩ ජනතාව පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාව පවා අපේක්‍ෂා කරන ලද සමාජ පරිවර්තනය එක්තරා අභියෝගයකට ලක්කර ඇති බව නිරීක්‍ෂණය කළ හැකිය. සලකා බැලිය යුතු වැදගත්ම කාරණය එයයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් කර තනි ආණ්ඩුවක් එක්සත් ජාතික පක්ෂයට පිහිටුවන්නට බැරිකමක් නැත. නමුත් විධායක බලය එක පක්ෂයකට තිබියදී වෙනත් පක්ෂයකට පාර්ලිමේන්තු බලය හිමිවන පසුබිමක දී සිදුවිය හැකි දෙයද අමතක කළ යුතු නැත. මෑත ඉතිහාසයේ එය සාක්‍ෂි සහිතව ඔප්පු කර තිබේ. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මෙවැනිම වාතාවරණයකට චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය යටතේ මුහුණ දී අසාර්ථකත්වයට පත්විය. චන්ද්‍රිකා ජනාධිපතිනියට අවහිර කර පන්නා දමන අන්දම රඟපා පෙන්වන ලද දේශපාලනඥයන් අදත් මෙරට දේශපාලන වේදිකාවේ සිටී. සාමදානයෙන් ආණ්ඩු කරනු වෙනුවට මස් රාත්තලම ඉල්ලා සිටි එක්සත් ජාතික පක්ෂයට පාඩමක් ඉගැන්වූ චන්ද්‍රිකා ජනාධිපතිනිය සිය විධායක බලය පාවිච්චි කර අමාත්‍යාංශ තුනක් තමන් යටතට ගත් අතර එය විශාල ආන්දෝලනයකට හේතුවිය. එය පදනම් කරගෙන ඡන්දයකට ගිය රනිල් පරාජය වූ අතර එසේ නොවුණා නම් අද පවතින එක්සත් ජාතික පක්ෂයේ නැවතත් ඇවිළී ඇති නායකත්ව කැරැල්ල කිසිසේත් මතුවන්නේ නැත. මහින්ද හෝ මෛත්‍රි වැනි චරිත බිහි නොවන අතර පසුගිය වසර දහසය තුළ පැවැත්ම සහමුලින්ම වෙනස් එකක් වනු නොඅනුමානය.

ශාමින්ද වත්තේගෙදර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon