වරිගෙ රැකගන්න රැහේ උරුමය අරගෙන සබයට මංගච්චපු හෙනානිගල මන්ත්‍රි කැකුළි

  👤  3164 readers have read this article !
By mawbima 2018-02-18

සියවස් ගණනාවක් මහ වනය හා බැඳී සිටි බින්තැන්නේ ආදිවාසී උදවිය මහවැලි සංවර්ධන ව්‍යාපාරයත් සමඟ ගම්මානවල පදිංචි කරවූහ. ඉන්පසු ඔවුන්ගේ ආත්මය වූ මහ වනාන්තරයට ඇතුළු වීම තහනම් විය. නිලධාරීහු කම්බි ගසා දැන්වීම් පුවරු යොදා වැදි ගමත් මහ වනයත් වෙන් කළහ. නමුත් ඔවුන්ගේ හදවත තවමත් මහ වනය තුළමය. දඩයම, වන ද්‍රව්‍ය එකතු කිරීම, කෙම් ක්‍රම හා තම රැහේ සාම්ප්‍රදායික සිරිත් විරිත් අමතක කිරීම ආදිවාසීන්ට අසීරු කරුණක් විය. තම පරපුරේ උරුමය ඉදිරියට ගෙන යෑමට ඔවුහු අරගල කළහ. වරිගයේ උරුමය වෙනුවෙන් වූ සමහර අරගලයන් කෙළවර වූයේ ළය පසාරු කළ වෙඩි උණ්ඩයකිනි. ආදිවාසී පරපුරේ උරුමය වෙනුවෙන් අරගලය ඉදිරියට ගෙන යෑමට අද ඔවුන්ට මහජන නියෝජිතවරියක්ද ඇත.

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මන්ත්‍රි ධුරයකට පත්වූ ආදිවාසී කැකුළිය සොයා ගියෙමු. ඒ අමතක නොවන අත්දැකීමක් සමඟය. එහිදී හෙනානිගල ආදිවාසී නායක තලාවරිගේ ගුණබණ්ඩියා ඇත්තෝ හමුවිය. තම වරිගපොජ්ජේ වගතුග සහ මන්ත්‍රි කැකුළියගෙන් රැහේ දියුණුවට කළ හැකි දේ ඔහු අපට පැහැදිලි කළේය.
"අපි මහවැලියේ පදිංචියට එන්න කලින් හිටියේ දඹානේ කන්දේගම්වල. ඒ කාලේ මී පැණි, වේළපු දඩමස්, ඉරිඟු කුරක්කන්, බෙහෙත් ඔෟෂධ වගේ දේවල් අරන් මහඔයට යනවා. ගිහින් විකුණලා පැඟිරි කොළ (බුලත්), ගයි ගර්චන (පුවක්), සීනි, තේකොළ, ලුණු, කැකුළියන්ට රෙදි හැට්ට සල්ලිවලට ගන්නවා. අපිට කන්න කුරහන්, ඉරිඟු, අල වර්ග, මස්, මී පැණි ඇතිවෙන්න තිබුණු නිසා සල්ලි දීලා ගත්තේ බඩු කීපයක් විතරයි.

අපිට සතා සර්පයන්ගෙන් කවදාවත් හිරිහැරයක් වුණේ නැහැ. උන්ගෙන් අපිව රැකගන්න යක් ගොල්ල ඉන්නවා. බොටක¼දා (අලියා) කවදාවත් අපිට හිරිහැර කරලා නැහැ. බොටක¼දා මුලිච්චි වුණොත් අපි උෟට මතුරනවා. උෟ අපි මඟහැරලා යනවා. අපේ ඇත්තෝ කවදාවත් ගස් කැපුවේ නැහැ.

1983 අවුරුද්දේ පවුල් 109ක් කන්දෙගම්වල ඉඳන් හෙනානිගල මහවැලි ගමට ආවා. අද අනු පවුල් 600ක් විතර ඉන්නවා. මේ කැකුළන්ට කැකුළියන්ට වගා කරන්නවත් රුකුල් පොජ්ජ මන්දොකරන්න (ගෙයක් හදන්න) ඉඩම් නැහැ. අපේ කැකුළෝ වැඩිදුර ඉගෙනගෙන නැති නිසා රස්සාවකට යන්නත් බැහැ. අපේ වරිගේ මේ ප්‍රශ්න එකක්වත් විසඳුණේ නැහැ. අපි අද දඩයම් කරන්නේ නැහැ. අපේ අය මාදුරු ඔය සහ හෙනානිගල වැවේ මාළු අල්ලනවා. ඒකටත් පිට පළාත්වලින් ආව අයගෙන් බාධා ඇතිවෙනවා. අද අපේ අයට කැලේ තහනම් කරලා. අපි වනාන්තරයට ආදරෙයි. අපි ගස් කැපුවේ නැහැ. බොටක¼දාට (අලියට) ගිනි බින්දේ නැහැ. උන්ගෙන් අපිට හිරිහැර වුණෙත් නැහැ. අරලු, බුලු, නෙල්ලි වගේ බෙහෙත් පොජ්ජ එකතු කරන්න කැලේට රූටන්න අපට අවසර නැහැ. කිසි කෙනකුට කරදරයක් නැතිව කැලේ රැකගෙන කැලේ හිටිය අපි ගම්මානවල පදිංචි කළාට රට කරවන ඇත්තේ අපේ වුවමනා එපාකම් හොයලා බැලුවේ නැහැ. අපිට දැන් අපේ ප්‍රශ්න ගැන කතා කරන්න මන්ත්‍රි කැකුළියක් ඉන්නවා. මේ කැකුළිය ඉදිරියට යවලා අපේ අයිතිවාසිකම් දිනාගන්න කටයුතු කරනවා. අපේ වැදි රැහේ වරිග පහක් ඉන්නවා. නබුඩ වරිගේ, උෟරු වරිගේ, තලා වරිගේ, උනාපාන වරිගේ, මොරාණ වරිගේ තමයි ඒ වරිග පහ. දැන් සමහර ඇත්තෝ සිංහල පවුල්වලින් දීග අරං ඒ අයත් අපේ නෑදෑ පරපුරට එකතු වෙලා ඉන්නවා.

වියපත් ආදිවාසී නායකයාගේ හඬ තරුණය. තම වරිග පරම්පරාවේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට පත්කරගත් මහජන නියෝජිතවරිය ගැන දැඩි විශ්වාසයෙන් ඔහු කතා කළේය.

ඉස්සර අපි මහ කැලේ ගිහින් බෙහෙත් ඔෟෂධ එකතු කරගෙන ආවා. වැවට ගිහින් මාළු අල්ලාගෙන ආවා. කැලේ ගිහින් මී බඹර කඩාගෙන ආවා. නමුත් අද හැම දේටම අපිට තහංචි පනවලා. අපි ඉල්ලන්නේ අපේ ආදිවාසී පරම්පරාවේ අයිතිවාසිකම්. ඒ අයිතිවාසිකම් දිනා ගැනීමට ප්‍රාදේශීය සභාව තුළ හඬක් නඟනවා. යැයි දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරීපත්වී සිටින ආදිවාසී පරපුරේ ඩබ්.එම්. ශිරෝමාලා මහත්මිය අධිෂ්ඨානශීලීව පවසන්නීය.
දෙහිඅත්තකණ්ඩිය, නවමැදගම, හෙනානිගල දකුණ අංක 133 හි පදිංචිව සිටින ඇය නමින් විජේසේකර මුදියන්සේලාගේ ශිරෝමාලාය. ඇය අවුරුදු 38ක තිදරු මවකි. දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවට අයත් හෙනානිගල බහු කොට්ඨාසයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග කළ ඇය තම රැහේ විස්තර සහ ඉදිරි සැලසුම් ගැන මෙලෙස අදහස් දැක්වූවාය.

"මගේ තාත්තා උෟරු වරිගේ පුංචි බණ්ඩා, අම්මා විජේසේකර මුදියන්සේලාගේ පේමාවතී. අපේ මවුපියෝ වැදි රැහේ ක්‍රමයට චාරිත්‍රානුකුලව විවාහ වුණාට නීත්‍යනුකූලව විවාහ වෙලා නැහැ. ඒ නිසා මම භාවිත කරන්නේ අපේ අම්මාගේ වාසගම. අපි 1984 අවුරුද්දේ දඹානේ ඉඳන් හෙනානිගල පදිංචියට ආවා. දඹානේ ආදිවාසීි නායක උෟරුවරිගේ වන්නියලැ ඇත්තෝ මගේ මාමා. ඒ වගේම හෙනානිගල ප්‍රාදේශීය ආදිවාසී නායක තලාවරිගේ ගුණබණ්ඩියා ඇත්තොත් මගේ මාමා. මගේ ස්වාමිපුරුෂයා යුද හමුදාවේ සේවය කරනවා. ලොකු දුවට අවුරුදු 17යි. එයා පසුගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ ලිව්වා. දෙවැනි දුවට අවුරුදු 13යි. බාලම පුතාට අවුරුදු නවයයි. අපි පස්දෙනා හරිම සමඟියෙන් ජීවත් වෙනවා. අපේ වැදි රැහේ ඇත්තන්ට විස¼දා ගත යුතු ගැටලු බොහෝමයක් තිබෙනවා. ඒවා එකක්වත් ජනමාධ්‍ය මඟින් හෙළිදරව් වුණෙත් නැහැ. මෙතෙක් පත් වූ මන්ත්‍රිවරුන්ට දැනුණෙත් නැහැ. ඒ අය අපේ ප්‍රශ්න අහලා විසඳුම් දෙන්නම් කියලා ඡන්දේ අරන් ගියා. ඊට පස්සේ පැත්ත පළාතේ ආවේ නැහැ. අපි හැමදාම ඒ අයට රැවටුණා. ඒ නිසා මේ වතාවේ අපි තීරණය කළා. අපේ රැහේ ප්‍රශ්න විස¼දා ගන්න අපේම කෙනෙක් ප්‍රාදේශීය සභාවට යා යුතුයි කියලා.
ඒ අනුව මේ වතාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කාන්තා නියෝජනය යටතේ මැතිවරණයට තරග කරන්න මට අවස්ථාව ලැබුණා. අපිට මූලිකවම ප්‍රාදේශීය සභාවෙන් විස¼දාගත යුතු ගැටලු බොහෝමයක් තිබෙනවා. අපේ ආදිවාසී ගම්මානයේ වැඩි පිරිසක් වකුගඩු රෝගයට ගොදුරු වී ඉන්නවා. ඊට හේතුව පිරිසුදු පානීය ජලය නොමැතිකමයි. ඒ නිසා පානීය ජල ගැටලුව විස¼දා ගත යුතුව තිබෙනවා. ඒ වගේම ගමේ පිරිසකට විදුලිය නැහැ. ගමේ පාර හොඳටම අබලන්. වීදි ලාම්පු නැහැ. මේ ගැටලු ටික පළමුව විස¼දාගත යුතු වෙනවා. ඒ වගේම විශේෂයෙන් අපේ ආදිවාසී සංස්කෘතිය ආරක්‍ෂා කර ගැනීමට කටයුතු කරනවා. පුළුවන් උපරිම ආකාරයෙන් රටේ සංවර්ධනයටත් දායක වෙනවා. සමස්ත ආදිවාසී පරපුරේම අයිතිවාසිකම් දිනා ගැනීමට පළාත් සභාව දක්වා යෑමට මම බලාපොරොත්තු වෙනවා" යැයි ඇය හැඟුම්බරව පැවැසුවාය.

සිරිපුර - වාසනා ගලප්පත්ති
ගිරාඳුරුකෝට්ටේ - එස්.පී. හේරත්
නවමැදගම - ශාන්ත වෙලගෙදර
අම්පාර - සුසන්ත අමරබන්දු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon