අවුරුදු 9කට පස්සේ ගල්කිස්ස උසාවියෙන් ඇහෙන ලසන්ත ඝාතනයේ සැඟ වූ රහස

  👤  3354 readers have read this article !
By mawbima 2018-02-18

යුක්තිය ඉෂ්ට කරන්නට ගෙන ඇති ප්‍රවේශය හරිම වේගවත්ය. ඒ ප්‍රවේශය පවා රටට ආගන්තුකය. අධිකරණය ඉදිරියේ හෙළිදරව් වෙමින් ඇත්තේ අතේ තබාගෙන ගුළිකර සඟවාගෙන තබා ගත්තාක් බඳු තොරතුරු සමුදායකි. හෙළිවෙමින් ඇති තොරතුරු පෙළගැස්ම රට තිගස්සවනසුලුය. කියැවෙමින් ඇත්තේ ලෝකයම ප්‍රශ්න කරද්දීත් පුරා වසර නවයක් තිස්සේ අශික්ෂිත ලෙස සඟවා තබන ලද තිරශ්චීන මිනී මැරුමක රාජ්‍ය භාරයය.

'සන්ඩේ ලීඩර්' පුවත්පතේ කතුවරයාව සිටි ලසන්ත වික්‍රමතුංග වර්ෂ 2009 ජනවාරි අට වැනිදා දෙහිවල - අත්තිඩිය - කවුඩාන ප්‍රදේශයේදී නාඳුනන මිනීමරුවන් දෙදෙනකු විසින් ඝාතනය කරනු ලැබිණි. අවුරුදු නවයකුත් මාසයක් ගතවූ පසු ලසන්ත ඝාතනයේ මුල - මැද - අග ගල්කිස්ස උසාවියේදී හෙළිදරවු වන්නේය. මේ හෙළිදරව්ව නිශ්චිත කාරණා පදනම් කරගෙන සිදුවන්නේ ලසන්ත ඝාතනය වන වකවානුවේ ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති එවකට උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාලව පසුගිය 01දා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසුය.

ඝාතනය සිදුවූ ස්ථානයට මුලින්ම පැමිණෙන පොලිස් කණ්ඩායම අතර එවකට ගල්කිස්ස පොලිසියේ උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල වූයේය. ඔහුගේ ප්‍රකාශයට අනුව අපරාධ ස්ථානය මුලින්ම සෝදිසියට ලක්වන්නේ ඔහු ඇතුළු කණ්ඩායම අතිනි. එහිදී ලසන්ත වික්‍රමතුංගගේ ක්‍ෂේත්‍ර සටහන් පොතක් තමන් අතට පත්වූ ආකාරය ගැනත් එහි සටහන් කර තිබූ යතුරුපැදි අංක කීපයක් ගැනත් තමන් ඒ ගැන ක්‍රියා කළ ආකාරය ගැනත් ඔහු සිද්ධිය පිළිබඳ විමර්ශන කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් කර තිබුණේය. එම ප්‍රකාශය බී වාර්තාවක් මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය බදාදා (14දා) උසාවිය වෙත ඉදිරිපත් කළේය. පැමිණිල්ල වෙනුවෙන් එම වැඩිදුර බී වාර්තාව ඉදිරිපත් කෙළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා හා පොලිස් පරීක්ෂක සුගත් කුමාරය.
ඔවුන් උසාවියට ඉදිරිපත් කළ තොරතුරු ප්‍රකාරව ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක් වූ වාහනය තුළ තිබී ඔහුගේ ක්‍ෂේත්‍ර සටහන් පොත ලබා ගන්නේ තිස්ස සුගතපාලය. එහි පිටකවරයේ යතුරුපැදි දෙකක අංක සටහනක් තිබිණි. තිස්ස සුගතපාල මේ පොත ගැන තොරතුරු සියල්ල ගල්කිස්ස පොලිසියේ පොලිස් පොතෙහි සටහනක් තැබුවේය.
අනතුරුව ඔහු මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් එම යතුරුපැදි ලියාපදිංචිය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගත්තේය. යතුරුපැදි දෙකෙන් එකක් ලියාපදිංචිය නුගේගොඩ ප්‍රදේශයේය. අනෙක ජා ඇළ ප්‍රදේශයේය. එවක ගල්කිස්ස කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළේ හේමන්ත අධිකාරිය. තිස්ස සුගතපාල මේ තොරතුරු පිළිබඳව ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාව දැනුවත් කළේය. ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා සිද්ධිය එවකට ගල්කිස්ස ප්‍රදේශය භාර (බස්නාහිර පළාත් දකුණ) නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ ප්‍රසන්න නානායක්කාර වෙත දැන්වූයේය.

නියෝජ්‍ය පොලිස්පති වරයාගෙන් ඔවුන්ට වහාම කැඳවීමක් ලැබිණි. තිස්ස සුගතපාල හා පොලිස් අධිකාරි හේමන්ත අධිකාරි වර්ෂ 2009 ජනවාරි 06 වැනිදා නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නුගේගොඩ පිහිටි කාර්යාලයට පිටත්ව යන්නේ ඔවුන් සොයාගත් තොරතුරුත් සමඟය.
සිද්ධිය ඇසූ නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස්පති ජයන්ත වික්‍රමරත්න අමතා උපදෙස් ගත් බව කියැවිණි. අනතුරුව නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර තමන්ට ලැබුණු උපදෙස් අනුව නියෝග කරන්නේ මෙම යතුරුපැදිය පිළිබඳ විමර්ශන නොකරන ලෙසය.
'ඕයි.... උන්ගෙන් මැරෙන්න එපා අයිසෙ තමුසෙ. තමුන් ඔය ටික ගලවලා මට දෙනවා' සුගතපාලට නියෝජ්‍ය පොලිස්පතිවරයා කතා කළ ආකාරය උසාවියේ කියැවුණේ ඒ ලෙසය.

නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාරගෙන් තිස්ස සුගතපාල වෙත උපදෙස් ලැබෙන්නේ පොලිස් සටහන් පොතේ පිටු ගලවා වෙනත් තොරතුරු සඳහන් කරන ලෙසය. එම පොත් බැඳීම කරන්නේ මුද්‍රණාලයකය. නියෝගය ලැබෙන්නේ එම මුද්‍රණාලයටම දී පොතට අලුත් පිටු එක්කර පොත තමන්ට භාර කරන ලෙසය.
ඉවත් කරන්නට නියෝග ලද පිටුවල යතුරුපැදිවල හිමිකරුවන්ගේ නම සඳහන්ව තිබිණි. එහෙත් පොතේ පිටු ගලවා ඉවත් කර ගන්නා විට එම පිටුවල ඡායා පිටපත් අරගෙන තබා ගන්නට උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල සූක්ෂ්ම වුණේය. එම ඡායා පිටපත් රැගෙන තිබුණේ තිස්ස සුගතපාල හා සේවය කළ ඇතුගල නමැති පොලිස් කොස්තාපල්වරයෙක්ය. තිස්ස මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කීවේය. කළුතර ප්‍රදේශයේ පිහිටි සිය නිවෙසේ සඟවා තිබූ මෙම ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුවේ නිලධාරීන් විසින් ඉකුත් 02දා තමන් භාරයට ගත්තේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් උසාවියේදී කී ආකාරයට ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් කවරෙක්දැයි එවකට පොලිස්පති ජයන්ත වික්‍රමරත්නත් දැන සිටියේය.

යතුරුපැදියක් මතුවීම
සිද්ධියට අදාළ විමර්ශන සිදුකර තිබුණේ ගල්කිස්ස පොලිසිය හා ත්‍රස්තවාදී විමර්ශන ඒකකය විසිනි. ඝාතන සිද්ධිය සම්බන්ධ මුල්ම වැදගත් තොරතුර ලැබෙන්නේ වර්ෂ 2009 ජනවාරි මස 26දාය. ලසන්ත ඝාතන සිද්ධියට යොදාගත් බවට සැක කරන යතුරුපැදියක් අත්තිඩිය ප්‍රදේශයේ ඇළකින් මතුවීමත් සමඟය. එම තොරතුර ලබා දෙන්නේ සිවිල් පුද්ගලයෙකි. නම අරවින්දය.

දැන් මේ පරීක්ෂණ යට ගැසිය නොහැකිය. අදාළ යතුරුපැදිය අත්තිඩිය ඇළෙන් ගොඩගන්නේ 2009 ජනවාරි 27 වැනිදාය. එම විමර්ශනය භාරව කටයුතු කරන්නේ උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාලය.

යතුරුපැදියේ හිමිකරු විශ්නකුමාර් නමැත්තෙකි. විශ්නකුමාර් ගැන තොරතුරක් නොතිබිණි. ඔහු අතුරුදන්ව සිටියේය. විශ්නකුමාර්ට පෙර යතුරුපැදිය හිමිව තිබුණේ නඩරාජා නමැත්තකුටය. යතුරුපැදිය ගැන තොරතුරු ලැබුණු 2009 ජනවාරි මස 26 වැනිදාම නඩරාජාව අත්අඩංගුවට ගන්නා උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල රැඳවුම් නියෝගයක් රැගෙන ඔහුව රඳවාගෙන ප්‍රශ්න කළේය. අවසානයේදී හෙළි වූයේ යතුරුපැදියේ අයිතිකරු වූ විශ්නකුමාර්ව සෙට්ටිකුලම ප්‍රදේශයේදී කොළ පාට වෑන් රියකින් පැමිණි පිරිසක් පැහැරගෙන ගොස් තිබුණු බවය. අනතුරුව 2009 ජනවාරි මස 18දා ගම්බිරිස්වැව ප්‍රදේයේදී දෑත් සහ හිස බැඳ වෙඩි තබා පුලුස්සා ඝාතනය කළ ඔහුගේ මළසිරුර විශ්නකුමාරගේ ඥාතීන් විසින් හඳුනාගෙන තිබිණි.

හිටපු පොලිස්පතිත් ඇතුළට?
මේ සාක්ෂි පදනම් කරගෙන හිටපු ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි හේමන්ත අධිකාරිගෙන් ප්‍රකාශයක් ලබා ගත්තේය. ඔහු මේ වන විට මහෙස්ත්‍රාත්වරයා හමුවේ විශේෂ රහස් ප්‍රකාශයක් කරන්නට සූදානම්ය. සිද්ධිය සම්බන්ධයෙන් ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පසුගිය 13දා රාත්‍රියේ අත්අඩංගුවට ගත්තේය.

ඇප පනතේ 14 (1) (අ) 2 වගන්තිය ප්‍රකාරව සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාරට ඇප ලබා නුදුන් ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේය. එසේම මෙම ඝාතන සිද්ධියට අදාළව එවක පොලිස්පති ලෙස කටයුතු කළ ජයන්ත වික්‍රමරත්න, විශ්‍රාමික ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර, විශ්‍රාමික ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි හේමන්ත අධිකාරි යන තිදෙනාගේ විදෙස් ගමන් අත්හිටුවීමටද ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළේය.

හිටපු ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාරගේ නීතිඥවරුන් ප්‍රකාරව මෙම අපරාධ පරීක්ෂණ කටයුත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන්නේ 2009 ජනවාරි මස 26 වැනිදාය. ඒ මීට අවුරුදු නවයකට පෙරය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන්නේ පරීක්ෂණ මෙහෙයවූයේ ගල්කිස්ස පොලිසිය හා ත්‍රස්තවාදී මර්දන ඒකකය විසින් බවය. ඔවුන් සාක්ෂි වසන් කළ නිසා මේ තරම් කලක් මේ නඩුව ඇදුණු බවය. මේ රටේ මිනිස්සු මැරී ඉපදී නැත. අප දකින්නේ සෑම ක්‍රියාවලියකම හැසිරීම තීන්දු කරන දේශපාලන අශික්ෂිත බවය. ලසන්ත මරා දැමුවේ දේශපාලන අවශ්‍යතාවක් නිසාය. ඔහුගේ ඝාතන පරීක්ෂණ යට ගසන්නේ දේශපාලන අවශ්‍යතාවක් නිසාය. අතිශය කඩිමුඩියේ ඔහුගේ මරණයට සාධාරණය ඉෂ්ට කරන්නට යන බව පෙන්වන්නේත් දේශපාලන අවශ්‍යතාවක් නිසාය.
මෙවැනි රටක සාධාරණ සමාජයක් පිළිබඳ යහ පාලනයක් පිළිබඳ සංකල්ප අතපල්ලෙන් වැටීම පිළිගත යුතුය.

රුචිර ජයදේව

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon