ඔලිම්පික් ආණ්ඩුවේ බහුතරය කාටද ?

  👤  3052 readers have read this article !
By mawbima 2018-02-18

2009න් පසුව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයක් පවත්වා ගන්නට නොහැකිව එය ලබා ගන්නට සටන් කළ මෙරට ජාතික ක්‍රීඩා සංගම් සාමාජිකත්වය මේ වන විට එකී නිලවරණයක් ලබා ගැනීම දක්වා සටන ජයගෙන ඇතත් සැබෑ ලෙසම ඉන් බලාපොරොත්තු වූ ප්‍රතිඵලය මෙවර නිලවරණයේදී හෝ ලැබෙනු ඇතැයි යන විශ්වාසය බලාපොරොත්තුවකට පමණක් සීමාවේද? යන ප්‍රශ්නාර්ථයක්ද මතුව ඇත.

එයට හේතුව එළැඹෙන 23දා පැවැත්වීමට නියමිත ජාතික ඔලිම්පික් කමිටු (එන්.ඕ.සී.) නිලවරණය පැවැත්වීම දක්වා ආ ගමන දෙස බැලීමෙන්ම ඊට අදාළ නීතිමය තත්ත්වය සහ සදාචාරාත්මක බව නිලවරණයට වගකිව යුත්තන් විසින් පවත්වා ගනු ලැබුවේද යන කාරණය ඉස්මතුවී ඇති නිසාය. මෙවර සභාපති තනතුර සඳහා ඇන්තනි රොහාන් හර්ෂ ප්‍රනාන්දු සහ සුරේන්ද්‍රන් සුබ්‍රමනියම් යන දෙදෙනා සටනට බැස ඇති නමුත් රොහාන් ප්‍රනාන්දුට එරෙහිව මැතිවරණ සටන මෙහෙයවීම සඳහා එළියට බැස කටයුතු කරන්නේ සභාපති අපේක්‍ෂක සුබ්‍රමනියම් නොව සුබ්‍රමනියම් පාර්ශ්වයෙන් ලේකම් තනතුරට තරග වදින කොටබැද්දගේ මැක්ස්වෙල් ප්‍රියන්ත නිමල් ද සිල්වාය.
තරග වදින ප්‍රධාන පාර්ශ්ව දෙක අතරින් සභාපති අපේක්‍ෂක රොහාන් ප්‍රනාන්දු ඉදිරියෙන්ම සිට තම කණ්ඩායමට නායකත්වය දෙමින් සටන මෙහෙයවන විට ප්‍රතිවාදී පාර්ශ්වයෙන් සභාපති අපේක්‍ෂක සුරේන්ද්‍රන් සුබ්‍රමනියම් වෙනුවට ලේකම් මැක්ස්වෙල් ද සිල්වා ඉදිරියට පැමිණ කණ්ඩායම මෙහෙයවයි. එයට හේතුව මැක්ස්වෙල්ගේ සුපුරුදු සගයා වන වත්මන් එන්.ඕ.සී. සභාපති හේමසිරි ප්‍රනාන්දු තවදුරටත් සභාපති තනතුරේ නොසිටීමට ගත් තීරණය නිසා ඔහු වෙනුවට සභාපති පුටුවට ආදේශකයා ලෙස සුබ්‍රමනියම් තෝරා ගැනීමය. ඒ අනුව වසර 20ක් එක දිගට එන්.ඕ.සී. සභාපතිවරයා ලෙස කටයුතු කළ හේමසිරි මෙවර නිලවරණයේදී එළිපිට කටයුතු නොකරයි. එහෙත් තිරය පිටුපස සිට සුබ්‍රමනියම් හා මැක්ස්වෙල් යුගලය සභාපති හා ලේකම් තනතුරුවලට පත්කරන්නට වෙර දරන හේමසිරිගේ භූමිකාව පිළිබඳ ක්‍ෂේත්‍රයේ කාහටත් මනාව අවබෝධ වී ඇත.

වර්තමානයේදී මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන හේමසිරි ප්‍රනාන්දු සහ එන්.ඕ.සී. ලේකම්වරයා ලෙස කටයුතු කරන මැක්ස්වෙල් ද සිල්වා යන දෙදෙනාම රාජ්‍ය සම්පත් යොදා ගනිමින් මැතිවරණ සටන මෙහෙයවීමට අවස්ථාව සලසා ගෙන ඇතත් ඊට සාපේක්‍ෂව රොහාන්ගේ පඵඵඵාර්ශ්වයට සිදුවී ඇති අසාධාරණය සොයා නොබැලීමද මෙම නිලවරණයට අදාළව පත් කරන ලද නිලවරණ කමිටුවේ මැදිහත්වීමේ ක්‍රියාවලියෙහි වපසරිය පිළිබඳව තවත් ප්‍රශ්නාර්ථයක් මතු කරයි. ඒ අනුව බලයේ සිටිනා අයට හෝයියා යන තේමාව වගකිව යුත්තන් අතින් මෙන්ම සමහර ඡන්ද දායකයන් විසින්ද ක්‍රියාවට නංවන අයුරු මෙම ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදීද දැකගත හැකිවන අතර එසේ අවනත නොවන ඡන්ද දායකයන් (ජාතික සංගම් සාමාජිකයන්) ඔවුන් වෙත නතුකර ගැනීමට මෙරට සමාජ දේශපාලනය තුළද ක්‍රියාත්මක කරන අශීලාචාර උපක්‍රම වත්මන් එන්.ඕ.සී. පාලකයන් විසින්ද යොදාගනු ලබන බවට චෝදනා එල්ල වී ඇත.

ඒවා චෝදනා පමණක් වන බැවින් ඔවුන් කිසිවකු වරදකරුවන් නොවේ යැයි ඔවුන් විසින්ම සිතන්නට පෙළඹුණද මෙවර නිලවරණයට ඡන්ද බලය හිමි ඡන්ද දායකයන් 33 දෙනා එහාට මෙහාට නමා ගන්නට දෙපාර්ශ්වයම ක්‍රියා කරන අයුරු බැලූ විට සාපේක්‍ෂව වැඩි දෙනාගේ ඇඟිල්ල දිගුවී ඇත්තේ මැක්ස්වෙල් ද සිල්වා මෙහෙයවන සුබ්‍රමනියම්ගේ පාර්ශ්වයට බව පැහැදිලිය. ඒ බව ඔවුන්ට එරෙහිව ගොනුකරන ලද විරෝධතා හයකින්ම සනාථ වෙයි.

වත්මන් එන්.ඕ.සී. පාලනයට එරෙහිව ඊට අනුබද්ධ සාමාජිකයන් විසින් පොල්ල අතට ගෙන වසර 6කට ආසන්න වුවද ඊටත් එහා අතීතය තුළ සාමාජිකත්වය නිහඬතාවක් දැක්වූයේ පැවැති ඒකාධිපති පාලනයට එරෙහිව නැඟී සිටීමට ඔවුන්ට ශක්තියක් නොමැතිව තිබූ නිසා වන්නට පුළුවන.
නමුත් 2013න් පසුව වත්මන් පාලකයන්ට එරෙහිව සාමාජික සංගම් නැඟිටීමට පටන් ගත්තේ එකල ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි මහින්දානන්ද අලුත්ගමගේද එන්.ඕ.සී.යට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක කිරීමත් සමඟය. එදා එතැනින් ආරම්භයක් ලැබුණ සටන අද වන විට තීව්‍ර වූයේ 2015/2016 වසර වන විට කරන ලද ක්‍රීඩා රෙගුලාසි සංශෝධන හරහා වත්මන් එන්.ඕ.සී. පාලකයන් කොටුවීමත් සමඟය.

ඒ අනුව වාර්ෂිකව ගිණුම් වාර්තා නිසි කලට සාමාජිකත්වයට නොදී විගණන වාර්තා වසර ගණනාවක් ප්‍රමාද කිරීමේ වරදට වත්මන් පාලකයන්ද චූදිතයන් වූ අතර එම චෝදනා නීතිමය ස්වරූපයක් දක්වා වර්ධනය වූයේ විගණකාධිපතිවරයා විසින් නිකුත් කරන ලද වාර්තාද ඔවුන්ගේම හරහට සිටි නිසාය. ඒ කෙසේ වෙතත් ඒවාට විවිධාකාර පිළිතුරු දෙමින් ඡන්ද සටන ඉදිරියටම කරගෙන යන අතර රොහාන්ට විරුද්ධ පාර්ශ්වයේ සිටින සමහර අපේක්‍ෂකයන්ට මෙන්ම ඔවුන්ට සහයෝගය දක්වන සමහර සාමාජික සංගම් නිලධාරීන්ටද එරෙහිව පවතින චෝදනා පිළිබඳව සාධාරණ පරීක්‍ෂණයක් පැවැත් වුණේද යන්න තවත් ප්‍රශ්නයකි.

නිලවරණයක් ලැබී ඇති මෙම අවස්ථාවේ කෙසේ හෝ එය පවත්වා එන්.ඕ.සී.යට නව නිලධාරි මණ්ඩලයක් තෝරා පත්කර ගැනීමේ අරමුණෙන් ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළු වගකිව යුත්තන් කටයුතු කළද එම ක්‍රියාවලියේ ප්‍රමිතිය පිළිබඳව සැලකිලිමත් නොවීම අවසන් ප්‍රතිඵලය මඟින් ප්‍රමිතියෙන් තොර පුද්ගලයන් පත්වීමටද බලපානු ඇත. තවද මෙවර ඡන්ද සටනට බැස ඇති පාර්ශ්ව දෙක නිර්මාණය වූයේද එකට සිට වැඩකළ පිරිසක් දෙකඩ වීමේ ප්‍රතිඵලයක් ලෙසය. මීට පෙර වසර දෙකක කාලයක් දෙස ආපසු හැරී බැලූ විටද හේමසිරිගේ පාර්ශ්වයේ සභාපති අපේක්‍ෂකයා වන්නට හිටියේ රොහාන් ප්‍රනාන්දුය. නමුත් මෙවන් තත්ත්වයකට ඔවුන්ගේ සමඟිය දෙදරා යෑම ආරම්භ වූයේ 2013න් පසුවය. ඒ වන විට වත්මන් ලේකම් මැක්ස්වෙල් පත්වී වසර 4ක් ගෙවී හමාරය. මෙම බෙදීම ආරම්භ වන්නට එකල සිටි ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ එන්.ඕ.සී. නිලධාරීන් ලුසේන් නුවර අයි.ඕ.සී. ප්‍රධාන කාර්යාලයට කැඳවීමද බලපෑවේය.

ඉන් පසුව ලංකාවට පැමිණි ඔවුන් අයි.ඕ.සී. ඉදිරියේ එළැඹුණු එකඟතාවන්ට අනුව කටයුතු නොකිරීමද මෙකී දෙපිරිසක් නිර්මාණය වීම ඉක්මන්වීමට තවත් හේතු වූ අතර එසේ අයි.ඕ.සී. එකඟතාව අනුව කටයුතු නොකරන බවට හේමසිරි - මැක්ස්වෙල් සන්ධානයට එරෙහිව නැඟී සිටීම ඔවුන් විසින් හඳුන්වන ලද්දේ ඔලිම්පික් කමිටුවේ බලය අල්ලන්නට පිරිසක් සැරසෙනවා යනුවෙන්ය. නමුත් එවකට එන්.ඕ.සී. මූල්‍ය කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රොහාන් ප්‍රනාන්දු පැවැති තත්ත්වයන් පිළිබඳව සභාපති හේමසිරිට පැමිණිලි කළද ඒවාට නිසි විසඳුමක් නොලැබුණු තැන රොහාන්ට එන්.ඕ.සී. පාලක පන්තියෙන් ඉවත් වීමට මඟ පෑදුණි. එනම් 2013 සිට 2017 ජුනි දක්වාම එසේ චෝදනා මුඛයෙන් රොහාන් විසින් කරන ලද ලිඛිත දැනුම්දීම් එන්.ඕ.සී. සභාපති හා ලේකම් මෙන්ම භාණ්ඩාගාරිකද සැලකිල්ලට නොගත් අතර දැන් ඔවුන් රොහාන් වෙත ඇඟිල්ල දිගු කරන්නේ සිදුවී ඇති මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධව හිටපු මූල්‍ය කමිටු සභාපති රොහාන්ද වගකිව යුතු බවයි.

තවත් අතකින් රොහාන්ට චෝදනා නැඟෙන්නේ එකට සිටින විට නොපෙනුන වැරැදි දැන් පෙන්වන බවය. නමුත් එය බොළඳ තර්කයකි. යමකු සමඟ කටයුතු කරන විට වැරැදි දැක දැක දිගටම සිටිනවාට වඩා එම වැරැදි දුටු තැන ඉවත්වී හරි මඟ තෝරා ගැනීම යහපත් දෙයකි. ඕනෑම සමාජ කටයුත්තකදී දෙපාර්ශ්වයක් බිහිවීමේ සිද්ධාන්තය එයයි. ඒ නිසා වැරැදි කරන තැන සිටිනවාට වඩා එළියට බැස ඊට විරුද්ධවීම යහපත්ය. එසේ නොකරන්නට අදටත් ඔලිම්පික් නිලවරණයක් පැවැත්වීමක් ගැන නොඅසන්නට ඉඩ තිබිණි. අනෙක් කරුණ නම් මෙතෙක් නිකුත් කර ඇති වසර 7ක විගණකාධිපතිවරයාගේ වාර්තාවල එන්.ඕ.සී. විධායක කමිටුවක් ගැන මිසක මූල්‍ය කමිටුවක් පිළිබඳ කිසිදු තැනක සඳහන් නොමැත. එම නිසා ඡන්දය වෙනුවෙන් කරන ප්‍රකාශ සහ ක්‍රීඩාවේ පැවැත්ම වෙනුවෙන් කරන ප්‍රකාශ අතර වෙනස හඳුනාගෙන අදාළ සාමාජිකයන් තම මතය ප්‍රකාශ කළොත් පමණක් ජාතික ඔලිම්පික් කමිටුවකුත් ජාතියටම ක්‍රීඩාවකුත් ඉතිරි වනු ඇති බව වටහා ගත යුතුය.

සිරිනාම රාජපක්‍ෂ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon