මේ ඡන්දය තමයි ආණ්ඩුවට දිනන්න තිබුණු මැතිවරණය ඒක බැරි නම් අනිත් ඒවා ගැන මොන කතාද?

  👤  3204 readers have read this article !
By mawbima 2018-02-18

මහින්ද රාජපක්ෂ පිහිටෙන් කට්ටියම ගොඩ නේද..?

අනිවාර්යයෙන්ම ඔව්. නායකයා කණ්ඩායමට ආශීර්වාදයක් විය යුතුයි. නායකයා කණ්ඩායමට පීඩනයක් බරක් නොවිය යුතුයි. අපේ කණ්ඩායමේ නායකයා කණ්ඩායමට ආශීර්වාදයක්, ශක්තියක්. මේ නම කිව්වත් ඇති ඡන්දය ජයග්‍රහණය කරන්න.
මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා නැතිව කාටවත් ගොඩ ඒමක් නෑ කියලා නේද ඔය කියන්නේ..?
එක වැරැදියි. ඒක තීරණය වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා නොසිටීමේ සන්දර්භය නොවෙයි. මේ වෙනකොට අගමැති රනිල්, ජනාධිපති සිරිසේන ඒ කණ්ඩායම්වලට බරක්. මහින්ද මහතා නොසිටීම තුළ නායකයෙක් නැති වෙන්නේ නෑ. ඊළඟ නායකයා කවුද..? ඒ නායකයා ආශීර්වාදයක්ද, බරක්ද අනුව ඒක තීරණය වෙන්නෙ.
මේ ආන්දෝලනාත්මක ජයග්‍රහණය ගැන මොකද හිතෙන්නේ...?

මේක ඉතිහාසය වෙනස් කළ ජයග්‍රහණයක්. ලංකා ඉතිහාසයේ කවමදාවත් රාජ්‍ය බලය තියෙන පැත්ත දිනුවේ. රටේ ජනාධිපතිවරයා තමන්ගේ දිස්ත්‍රික්කෙ පරාද වෙලා නෑ. රටේ අගමැති තමන්ගේ දිස්ත්‍රික්කෙ පැරදිලා නෑ. ඒ සියල්ල මේ මැතිවරණයේදී සිද්ධ වුණා. ප්‍රධානම හේතුව වුණේ ඒබ්‍රහම් ලින්කන්ගෙ මතය සනාථ වීමයි. ඔහු කිව්වා "ඔබට ටික කලක් හැමදෙනාම රැවටිය හැකි නමුත් හැමෝම හැමදාම රැවටිය නොහැකියි කියලා. ජනවාරි 08වැනිදා නොදන්නකමට ගන අඳුරේ වැටුණ ජනතාව අගෝස්තු (17දා) හිමිදිරියේම ඒ වළට වැටුණා. නමුත් එළිය වැටුණු පසු ජනතාව සත්‍ය දැකලා පෙබරවාරි 10වැනිදා ඒ වළට වැටුණෙ නෑ.

දූෂණ චෝදනාවලට එරෙහිවූ ජනතාව වත්මන් ආණ්ඩුවේ දූෂණ හා ආර්ථිකයට ප්‍රබල විරෝධයක් පෑවා. නමුත් ආණ්ඩු විරෝධී විකල්පය ලෙස නැවත කලින් කණ්ඩායම තෝරාගැනීම ජනතාවට වුණු වරදක් නෙමේද..?

ඔබ කියන දේ හරියනවා යම් විදිහකින් මහින්ද මහතා වෙත එල්ල කරන චෝදනාව සනාථ වී තිබියදී ආර්ථිකය කඩා වැටුණම නැවත පරණ හොරු ගාවට එක් වුණා නම් ඔබේ තර්කය සාර්ථකයි. ඔබට මතක ඇති මැතිවරණයට පෙර ප්‍රබල මිනීමැරුම් චෝදනා 2ක් එල්ල කළා. ලසන්ත හා තාජුඩීන්. ඒ වගේම ඩුබායි බැංකු ගිණුමක ඩො.බි. 18ක් සඟවලා කියලා චෝදනා කළා. ලැම්බොගිනි, රත්‍රං අශ්වයෝ එකී මෙකී නොකී චෝදනා රාශියක් එල්ල වුණා. හැබැයි පසුගිය වසර 3ටම කිසිම චෝදනාවක් ඔප්පු වුණේ නෑ. ඒ බව ජනතාවත් තේරුම් ගත්තා. අපි විපක්ෂය ලෙස ආණ්ඩුවට චෝදනා නඟලා වසර 3ක් සටන් කරලා ඒ චෝදනාව සමාජය ඉදිරියේ ඔප්පු කළා.

නමුත් සිල් රෙදි නඩුවෙදි ලලිත් වීරතුංග, අනූෂ පැල්පිටට එරෙහිව කරුණු විභාග වුණා..?

මැතිවරණයට කලින් කිසිම සිල් රෙදි චෝදනාවක් නඟලා තිබුණෙ නෑ. මං ඔබට අභියෝග කරනවා ජන 8දා කලින් ආණ්ඩු පක්ෂයේ කිසිම දේශපාලනඥයෙක් මැතිවරණ වේදිකාවේ සිල්රෙදි බෙදීමක් ගැන කියලා තියෙනවාද කියලා පෙන්නන්න. එතැන සිල් රෙදි හොරකමක් ගැන කිසිම චෝදනාවක් නෑ. ඔබ කියන දේ වැරැදියි. ලලිත් වීරතුංග මහතා මැතිවරණ සමයෙදි සිල් රෙදි බෙදද්දි කොමිස් ගත්තා කියලා කිසිම චෝදනාවක් නෑ. මෙතැන තියෙන්නෙ මැතිවරණ කාලේ සිල් රෙදි බෙදීම වැරැදියි කියලා දඬුවම් කරන්නේ. මැතිවරණ කාලේ බඩු බෙදන්නෙ නෑ කියපු මේ ආණ්ඩුවේ ශ්‍රී ලනිපයෙ අයයි, යූ.එන්.පී.යෙ අයයි දෙගොල්ලම බඩු බෙදුවා. 1947 සිට ඒ දේ සිද්ධ වුණා.

එතකොට මේ රාජ්‍ය දේපළ අවභාවිතාවක් නෙමේ කියලද කියන්නේ..?

මං ඉතා ආඩම්බරයෙන් කියනවා මගේ ආණ්ඩුව සමය තුළ මැතිවරණයට රාජ්‍ය දේපළ අවභාවිත කර නැහැ.
ලබපු ජයග්‍රහණයත් සමඟ ඔබ කඳවුරේ බොහොමයකට එල්ල වී තිබෙන දූෂණ චෝදනා වහගන්න පුළුවන් කියලා හිතෙනවාද..? ඔබට එරෙහිවත් ඇටෝනි බලපත්‍රයක් සම්බන්ධ ප්‍රබල චෝදනාවක් විභාග වෙමින් තිබෙනවා..?

මගෙන් පටන් ගත්තොත් මං අවුරුදු 17ක් දේශපාලනේ හිටියා. විරුද්ධ පක්ෂයේ කිසිවෙක් කිසිම දවසක හොරකමක්, මැරකමක්, සල්ලාලකමක් ගැන මට චෝදනාවක් නඟා තිබුණෙ නෑ. ඒක ආණ්ඩුවේ ඇමැතිවරයෙක් වන පා.ච රණවක ඇමැතිවරයාට බරපතළ ප්‍රශ්නයක් වුණා. එතුමට එරෙහිව චෝදනා මල්ලක් තියනවා. වසර 19කට පෙර මට ලබාදුන් ඇටෝනි බලපත්‍රයක් තමන් එසේ ලබානොදුන් බව කියන්න ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් ලංකාවට ගෙනාවා. වසර 19ට ඔහු කිසිම දවසක පැමිණිල්ලක් කරලත් නෑ. මගේ මුදල් මට දෙන්න කියලා ලිපියක්, ඉර්ඉ එකක් ඡ්ථචඪත එකක් මට එවලත් නෑ කියලා අධිකරණයේ පිළිගත්තා. ඔහු බොරු සාක්ෂිකරුවකු බවට මේ වනවිට අධිකරණය ඉදිරියේ ඉතාම පැහැදිලිව පෙනී ගොස් තිබෙනවා. මං එහි විත්තිකරුවෙක් නිසා මට ප්‍රසිද්ධියේ අදහස් දක්වන්න අයිතියක් නෑ. ඒ අසත්‍ය තොරතුරු ගැන "මව්බිම" ඇතුළු ජනමාධ්‍ය මැනවින් වාර්තා කළා.

රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පෙන්නලා මැතිවරණය ජයග්‍රහණය කළ නමුත් මෙවරත් තේරී පත් වී සිටින්නෙ විශාල වශයෙන් අපචාර චෝදනාවලට ලක්වූ අය බවට ප්‍රබල චෝදනාවක් තියෙනවා. එවැනි සභිකයෝ ගැන ඔබලා වග කියනවාද..?

අපේ රටේ නීතිය අනුව යම් පුද්ගලයෙක් අපරාධ වරදකට වැරැදිකරු වුණොත් මැතිවරණවලට තරග කරන්න බෑ. අන් අයට තියෙන චෝදනා ගැන මං දන්නෙ නෑ. ඔවුන්ගේ හෘද සාක්ෂිය පමණයි එය දන්නෙ. චෝදනාවක් තිබ්බ පමණින් කෙනකුට කළු ලේබලයක් ඇලවීම අසාධාරණයි. ඔවුන් වරදක් කළා නම් ඒ ගැන හරියටම දන්නෙ ගමේ ජනතාව. ඒ නිසා කෙනෙක් අධිකරණය ඉදිරියේ වරදකරුවකු වන තෙක් ඔහුගේ නිර්දෝෂී බව පිළිගත යුතුයි. වාසනාවට අපේ හිටිය ලොකුම හොරු කියලා නම් කරපු අය අද ඉන්නෙ මෛත්‍රිපාල මහතා ළඟ. ඒ අය නීතිය ක්‍රියාත්මක වීමට බියෙන් ජනාධිපතිවරයාගේ ආරක්ෂාව පතාගෙන ගියා. එයින් ජනාධිපතිතුමා අපේ පැත්ත පිරිසුදු කර දී තිබෙන බව ඉතාම සතුටින් තියන්න ඕනෑ.

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට ලක්ෂ 58යි. මෙවර ලක්ෂ 8ක් අඩු වී තිබෙනවා. කොහොමද මේක සුවිශේෂී ජයග්‍රහණයක් හැටියට නම් කරන්නේ..?

ඔවැනි තර්ක ඉදිරිපත් කරන්නේ දේශපාලනයේ බොළඳ අය පමණයි. කෙනෙක් කියනවා ඔබ දුර පැනලා තියෙනවා 20ථක්. හැබැයි උස පැනලා තියෙනවා 2ථක්. ඒ නිසා 18ථක් අඩුවී තිබෙනවා. එය ඔබේ පසුබෑමක් නොවේද කියලා ඇහුවොත් එයින් පෙන්නුම් කරන්නෙ ක්‍රීඩාව ගැන ඔහුට තිබෙන අවබෝධයේ මදිකම නේද..?
නමුත් ක්‍රීඩාවත්, මැතිවරණයත් එකට තබා සන්සන්දනය කළ නොහැකියි නේද..?

පළාත් පාලන මැතිවරණයත්, ජනාධිපතිවරණයත් කිසිසේත්ම සන්සන්දනය කරන්න බෑ. අපිට තවම නිල ප්‍රතිඵල ලැබිලා නෑ. නොනිල තොරතුරු අනුව මෙවර 65%ක් ඡන්දය පාවිච්චි කරලා. පසුගිය මැතිවරණය 80%ක් පාවිච්චි කරලා. ඒ ප්‍රතිඵලයම මෙවර ගන්න පුළුවන් නම් ප්‍රාතිහාර්යක්. 2010 මහින්ද මහතා 58%ක් ගත්තා. ඒ වසරේම මාස 4කින් මහ මැතිවරණයෙන් ලක්ෂ 6ක් අඩුවුණා. 2011 පළාත් පාලන මැතිවරණයේදි ලක්ෂ 10ක් අඩුවුණා. වැඩිම ප්‍රතිඵල ගත හැක්කෙ ජනාධිපතිවරණයේදි වගේම අඩුම ප්‍රතිඵල ගත හැක්කෙ පළාත් පාලන මැතිවරණයේදි.

2015 ජනවාරි (08දා) රාජපක්ෂ රෙජිමය පරාජය කිරීමට එක්වූ බලවේගවලට අනුව විවිධ ඡන්ද ප්‍රතිශත පිළිබඳ තර්ක මේ වනවිට ඉදිරිපත් වෙනවා..?
2015 ජනවාරි මේ ‍ෙදාගොල්ල එකට සිටි බව ඇත්ත. නමුත් මෙවර ඉල්ලුවේ එකිනෙකාට විරුද්ධව. අගමැතිට ශ්‍රී ලනිපය චෝදනා කළා බැඳුම්කර හොරු කියලා. යූ.එන්.පී.ය ශ්‍රී ල.නි.ප.යට චෝදනා කළා පික්පොකට්කාරයා, නයා කියලා. ශ්‍රී ලනිපයට දුන්නු ඡන්ද පොහොට්ටුවට ආවා වගේම එජාපයට දුන්නු ඡන්ද ශ්‍රී ලනිපයටත්, පොහොට්ටුවටත් ආවා. මේ සියල්ල එකතු කරන්න බෑ. මංගල-රාජිත කියන විදිහට අපිට ලැබුණෙ 46%ක් කියලා. ඒක ඇත්ත නම් සියයට 67ක් එජාපයට විරුද්ධයිනේ. මොකද එජාපයට 33%යි ලැබුණෙ. සන්ධානයට 13%යි. එහෙම බැලුවොත් මහින්ද මහත්තයට තමයි අඩුම විරෝධයක් පාලා තියෙන්නේ..?

ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්න කිව්වට මේ නිම වුණේ පළාත් පාලන මැතිවරණය. 2020 වනතුරු පවතින ජනවරම ඔබලාගෙ ප්‍රකාශයෙන් යටපත් කරන්න බෑ නේද..?
ජනාධිපතිවරණය පවත්වන්නෙ 2020 නෙවේ. 2019 ඔක්තෝබර්. තව මාස 20යි තියෙන්නේ. පළාත් පාලන මැතිවරණයකදී ජනපති, අගමැති ඉල්ලා අස්විය යුත්තෙ ඇයි..? ඒ තමයි ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පළාත් පාලන මැතිවරණයක්වත් ජනාධිපතිටයි, අගමැතිටයි දිනාගන්න බැරි වෙච්ච එක. මේ මැතිවරණය තමයි ආණ්ඩු බලයෙදි දිනාගත හැකිම මැතිවරණය. ඒක බැරි නම් අනිත් ඒවා කොහොමත් බෑ. ඒ කියන්නෙ ජනවරම ඉවරයි. මොකද ආණ්ඩුව මොනවා කළත් ජනතාව පාරට බැහැලා විරෝධය පළ කරනවා. රටේ බහුතර විශ්වාසය බිඳුණම වුවත් ජනපතිතුමයි, අගමැතිතුමයි එක්ක අනාගතය පැහැපත් වීමේ අරමුණින් සිටිය හැකියි. නමුත් රටේ ජනතාවගේ අනාගතය අඳුරුයි.

ඒ වගේම පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කිව්වට ව්‍යවස්ථාවට අනුව අවුරුදු 4 1/2ක් යනතුරු විසුරුවන්න බෑ.

එසේ කරනවා නම් 2/3 යෝජනාව සම්මත විය යුතුයි නේද..?

මා දැනගන්න කැමැතියි කොහෙද ඕක කියලා තියෙන්නෙ කියලා. කොහෙද කියලා තියෙන්නෙ 2/3ක යෝජනාවකින් සම්මත විය යුතුයි කියලා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒ බව සඳහන් කර තිබෙනවා..?

පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයෙන් යෝජනාව සම්මත කළ හැකියි. ඒ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි ගණ පූරණයෙන් පුළුවන්. එදා ඉන්නෙ 20යි නම් 20න් 11ක් අත ඉස්සුවොත් යෝජනාවකට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්. අපි කියනවා ආණ්ඩුව පරාදයි, ආණ්ඩුව ඉවරයි කියලා ආණ්ඩුවේ සමහරු එය හිස නමා පිළිගන්නවා. හැබැයි රාජිත සේනාරත්න, මංගල සමරවීර වගේ ඇමැතිවරු කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කරනවා නෑ පරාද නෑ කියලා. පරාද නැත්තම් ජනතාව ඉස්සරහට ගිහින් පෙන්වන්න ජයග්‍රහණය. එතකොට කාටවත් මොකුත් කියන්න බෑ.

ජනාධිපතිවරණයට පැහැදිලිවම මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලන්න බෑ. බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ දෙදෙනාටත් ඇමෙරිකානු පුරවැසිභාවය නිසා ඉල්ලන්න බෑ. ඔබලාගේ ඉලක්කය තවත් රාජපක්ෂ කෙනෙක්ද..?

ඇත්තෙන්ම රටේ, අපේ ඉල්ලීමට වඩා මොකද අපේ පරිණත, ඉතා දක්ෂ දේශපාලනඥයෝ විශාල පිරිසක් ඉන්නවා. අපේ තරම් දක්ෂ නායකයෝ ආණ්ඩුව තුළ නෑ. ඒකනේ ආණ්ඩුවට වැඩ බැරි වෙලා තියෙන්නේ. හැබැයි රටේ ඉල්ලුම වෙලා තියෙන්නෙ මේ ඉන්න අය අතරින් කෙනෙක් පත් කරගන්න නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රටේ මීළඟ ජනාධිපතිවරයා වීමයි රටේ බහුතර මතය වී තිබෙන්නෙ. ලොකු ඉල්ලුමක් ඇතිවී තිබෙනවා. අවාසනාවකට මෙතෙක් එතුමා කැමැත්ත පළ කරලා නෑ.
ජනතාවගේ පැහැදිලි කැමැත්තක් ගෝඨාභය රාජපක්ෂ මහතාට තිබෙනවා නම් ඔහු නුදුරේදීම කැමැත්ත ප්‍රකාශ කරයි එහෙනම්..?

මං හිතනවා එතුමට ජනාධිපතිවරණයට පෙනී සිටීමේ චේතනාව පහළ වීමට තරම් මේ රටත් ජනතාවත් පින්වන්තයි කියලා. අපි විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ කියන්නෙ. ලංකාවේ විලැඩ්මීර් පුටින්, ලංකාවේ ලී-ක්වාන් යූ, ලංකාවේ මහතීර් මොහොමඩ්, රට හදන්න තරම් විනයක්, අවංක බවක් සහිත දැඩි නායකයෙක් අවශ්‍යයි. ඒ ගුණාංග එතුමා පෙන්වා තිබෙනවා. එතුමා හිතනවා මට බොරු කියන්න බෑ මං අවංකයි. අසාධාරණයට කේන්ති යනවා. වෙලාවට කලාවට වැඩ තියෙන්න ඕනෑ කියලා එතුමා තමන්ගෙ නුසුදුසුකම් හැටියට දකින්නෙ. ඒ නුසුදුසු යැයි හිතෙන දේම තමයි ජනතාව සුදුසුකම් හැටියට දකින්නෙත්.

දිගින් දිගටම ආපු ප්‍රබල චෝදනාවක් තමයි රාජපක්ෂ කණ්ඩායම ඡන්ද වැඩි කරගන්නෙ ජාතිවාදය වපුරමින් කියලා..? උතුරේ ජනතාව මෙවර මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් කර තිබෙනවා. මෛත්‍රිපාල සිරිසේන මහතාට කැමැත්ත පළ කර තිබෙනවා. මෙයින් මතු කරන්නෙ දෙමළ ජනතාව ජාතිවාදයට වඩා ජාතික සමඟියට ගරු කරනවා කියලා නෙවෙයිද..?

මං ඔබට අභියෝග කරනවා මහින්ද රාජපක්ෂ මහතා කළ එක් ජාතිවාදී ප්‍රකාශයක් පෙන්වන්න කියලා. ඔබ මෙවැනි දෙයක් අහන්නෙ යමෙක් කියන දෙයක් ඔබත් පෙරළා විශ්වාස කරන නිසානේ. ඔබ දන්න තරමින් ජාතිවාදී ප්‍රකාශයක් කර තිබේද..?

මාධ්‍යයට එවැනි ප්‍රශ්නයක් යොමු කිරීම සාධාරණ නෑ නේද..?

සාධාරණයි. ඔබ තමයි මං නොදන්න කෙනෙක් ඔබ විසින් නියෝජනය කරලා මෙහෙම චෝදනාවක් කරන්නෙ. මට කියන්න කවුද කරන්නෙ..? කරන්න හේතුව මොකක්ද කියලා. ඒ අනුව මට උත්තර දිය හැකියි. මං විශ්වාස කරන්නෙ නෑ එතුමා ජාතිවාදී ප්‍රකාශ කරන කෙනෙක් කියලා. තමුන් දැනගත යුතුයි.

විවිධ දේශපාලන පක්ෂ, කණ්ඩායම්, සිවිල් සංවිධාන කළ මේ ප්‍රකාශ පසුගිය කාලය පුරාවට ඔබත් මාධ්‍ය හරහා දකින්න ඇති. මා එයට පිළිතුරක් අපේක්ෂා කළේ..?
එහෙම කියන්න හේතුවක් ඕනෑ. කොටි ත්‍රස්තවාදය පරාජය කළ හින්දද එතුමා ජාතිවාදියෙක් වෙන්නෙ..? උතුරේ ජනතාවට පළාත් සභාවක් ඇති කරලා ඒ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය සහිත පාලනයක් ඇති කළ හින්දද..? ඔවුන්ට රැකියා ලබාදුන් නිසාද? ඔබ කියනදේ වැරැදියි. උතුරේ ජනතාවට ජාතිවාදී විස පෙව්වේ දෙමළ ජාතික සන්ධානය. මෙදා පාර ඒ ඊව්ඒ පරාජය කර තිබෙනවා. ඒ විරෝධය වෙනුවෙන් උතුරේ ජනතාව තමන් දන්න ඒ පක්ෂවලට කතිරේ ගහලා තියෙනවා. විරෝධ පළ කරන්න ක්‍රම කිහිපයක් තියෙනවා. සමහරු ඡන්දෙ නොදා ඉන්නවා. සමහරු කුරුටු ගානවා. අපි මෙතෙක් උතුරේ දේශපාලනය කළේ ඡ්ර්ථීච්ර්ථී හරහා. දැන් පොහොට්ටුව අලුත් පක්ෂයක්. අපිට එවැනි ඡන්ද ගොඩක් ලැබුණා නම් තමයි පුදුම. මොකද අනෙක් පක්ෂ අවුරුදු 60,70 පරණ පක්ෂ.

එදා ඔබලා අතර නිසි ඇගැයීමක් නොතිබුණු බැසිල් රාජපක්ෂ මහතා අද ඔබලාට හොඳ නායකයෙක් වෙලා...?

බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පමණක් නෙවෙයි මේ ලෝකෙ ඉන්න හැම පුද්ගලයකුගේම යහපත් ලක්ෂණ තිබෙනවා. අයහපත් ලක්ෂණ තිබෙනවා. අපි හොඳ දේ අගය කරනවා. නරක දේ විවේචනය කරනවා. බැසිල් රාජපක්ෂ මහතා මේ මැතිවරණයේදී ප්‍රබල කාර්යයක් කළා. එය අගය කරන්න බැරි නම් අපි හරි කුහකයි.

පසුගිය 16 වැනිදා ඒකාබද්ධ විපක්ෂය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් සිදුකළා. පක්ෂයක් හැටියට මොනවද ගත්ත තීන්දු..?

ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුලු අපි පිරිසක් ජනාධිපතිතුමා මුණගැහුනා. එහිදී ඒකාබද්ධ විපක්ෂය හැටියට අපි ජනාධිපතිවරයාට කියා සිටියේ රනිල් වික්‍රමසිංහ අගමැතිකමින් ඉවත්කොට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අගමැතිවරයෙක් පත්කරගැනීමට කටයුතු කරනවා නම් ජනපතිට සහය පල කරන බව කියා සිටියා. එතැනදි ජනාධිපතිවරයා අපෙන් ඉල්ලීමක් කළා අපි සිදුකරන මේ ප්‍රකාශයට විශ්වාසය තහවුරු කරගැනීමට නම් ඒකාබද්ධ විපක්ෂයෙන් ඇමැතිධුර භාරගන්න කියලා. අපි එහිදී කිව්වා මැතිවරණවලදී ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරමු කියලා. ඒ නිසා ලැබුණු ජනවරමට අප ගරු කළ යුතුයි. ඒ අනුව ඇමැතිකම් භාරනොගන්නා බවට එහිදී ප්‍රකාශ කළා. ඊට පස්සේ ජනාධිපතිවරයා කිව්වා එහෙම නම් කතා නායකකමවත් භාරගන්නා කියලා. අපි එකගතාවයකට ආවා අභ්‍යන්තර සාකච්ජාවක් කර තීන්දුවක් ගැනිමට. ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් සුසිල් ප්‍රේමජයන්ත මහතාත්, ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් දිනේෂ් ගුණවර්ධන මහතාත් පත්කළා. නව අගමැති කෙනෙක් පත් කර ගැනීමට නීතිමය උපදෙස් ලබාගන්නා බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.

මේ වනවිට රට අස්ථාවර මට්ටමක පවතින බවට චෝදනා තියෙනවා. දිගින් දිගටම මෙවැනි ප්‍රශ්න ඇදුනොත් විශාල දේශපාලන ව්‍යාකූලත්වයක් ගොඩනැඟෙයි නේද..?
අපි විශ්වාස කරනවා ජනාධිපතිවරයා ක්ෂණික තීන්දු ගනියි කියලා.

අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon