වෛද්‍ය සිහිනය අතහැරලා වරායෙ කිමිඳුම්කරුවෙක් වුණා

  👤  3137 readers have read this article !
By mawbima 2018-02-18

ඔහුගේ නම කියූ පමණින් බොහෝ දෙනකුට මතක් වෙන්නේ මහ මුහුද. මොකද ඔහුට මුහුදත් එක්ක තිබෙන නෑකම ගැන කියන්න බොහොමයක් සාක්ෂි තිබෙනවා. අපට මේ මහපොළොවේ හතර කොන හොඳට හුරු පුරුදුයි වගේම ඔහුටත් සප්ත මහා සාගරය මහපොළොව තරම්ම හුරුපුරුයි. ඒ සමීපතම, ඒ බැඳීම නිසාම තමයි ඔහුට වයස 20 සපිරෙන විට ඔහු ලංකාවේ සිටින ළාබාලතම දක්ෂතම කිමිඳුම්කරුවා ලෙසින් ප්‍රකට වන්නේ.

ඔහු ආරියසීල වික්‍රමනායක. අද ඔහු ලෝකයේ හොඳම නාවික සේවා සපයන ආයතන පහ අතර තිබෙන ර්චඵබඥප ච්ඪමඥපඵ සමාගමේ හිමිකරු.
ඊට අමතරව හම්බන්තොට වරාය, පැල්වත්ත සීනි සමාගම, පැල්වත්ත කිරි කර්මාන්ත ශාලාව කියන්නෙත් ඔහුගේ ජීවිතය තුළ ඔහුට ජයග්‍රාහී මාවතට යන්න ඉඩ විවර කර දුන් කඩඉම් කිව්වොත් නිවැරැදියි. අපි ඔහුව සොයාගෙන කොල්ලුපිටියේ පිහිටි මාස්ටර් ඩයිවර්ස් සමාගමට ගොඩවැදුණා.

ජාතික ලොතරැයි මණ්ඩලය පිහිටා තිබෙන ගොඩනැඟිල්ලේ සිවුවැනි මහලේ පිහිටා තිබෙන එම ආයතනයට හාත්පසින් දිස් වන්නේ මහ මුහුද. අප දුටු අනෙක් ව්‍යාපාර හා සංසන්දනය කරන විට එම ගොඩනැඟිල්ලේ හාත්පස පසුබිම වෙනස් ආකාරයක් ඉසිලුවා. බොහෝ තැන්වල එල්ලා තිබුණු ඡායාරූපවල තිබුණේ නෞකා සහ විවිධ කිමිඳුම් දර්ශන රැගත් ඡායාරූප.

පැරණි කිමිඳුම් කට්ටල සහ උපකරණ එහි තැන් තැන්වල රඳවා තිබුණා. සුදු අත්දිග කමිසයකින් හා කළුපැහැ කලිසමකින් සැරසී සිටි ඔහු බොහොම ප්‍රියමනාප අයුරින් සිනහ වී අපිත් සමඟ කතා බහට එක් වුණා.
දියුණුවෙන්න කැමැති නම් මොනවද කරන්න අවශ්‍ය?
හරි දේ කරන්න ඕන.
හරි දේ කිව්වේ?

ඉස්කෝලේ යන්න ඕනා, පාඩම් කරන්න ඕනා, විභාග ලියන්න ඕනා, රස්සාවක් කරන්න ඕනා, හැබැයි තමුන්ට සුදුසු තමුන් කැමැති රස්සාව කරන්න ඕනා. මනුෂ්‍යයකුට ඇත්තටම දියුණු වෙන්න අවශ්‍යයි නම් මම කියපු හරි දේවලින් අෑත් වෙලා, පැවැත්මෙන් ගැලවිලා රටේ තියෙන සේරම වැරැදි කර කර ඉන්න බැහැ. දැක්මක් තියෙන්න ඕනෑ, අරමුණක් තියෙන්න ඕනෑ.

තමන්ට කැමැති රස්සාව කරන්න හැමෝටම අවස්ථාව ලැබෙන්නේ නැහැ නේද?

මම විශ්වවිද්‍යාල කිහිපයකම කවුන්සිලර් විදිහට ඉන්නවා.

ළමයින්ට විවිධාකාර ප්‍රශ්න තිබෙනවා. බෙහෝ දෙනෙක් කරන්නන් වාලේ, නැත්නම් ගෙදරින් කියන නිසා තමයි විෂයයන් තෝරගෙන තියෙන්නේ. හැමෝම බලන්නේ ‍ෙදාස්තරලා, ඉන්ජිනේරුවෝ වෙන්න. මුලින්ම පනිනවා උඩම අත්තට ‍ෙදාස්තර කෙනෙක් ඉන්ජිනේරුවෙක් වෙන්න හිතාගෙන, ඒක බැරි වුණාම ඊගාව අත්තට වැටෙනවා. ඔන්න ඊගාවට බයෝ කරනවා, ඒකත් බැරිවුණොත් ඇගි්‍රකල්චර් කරනවා. ඒ මොනවත් බැරි වුණොත් විශ්වවිද්‍යාලයක් නැතිව තල්ලු වෙනවා. ඊට පස්සේ සේරම අතහරිනවා, වෙන දෙයක් හදාරන්න උත්සාහ කරන්නෙත් නැහැ. හැකියාව හඳුනගන්නෙත් නැහැ. එහෙම වෙන්නේ තමන් කැමැති දේ නොකළාමයි. ඉගෙන ගන්න ඕනා තමන්ට දක්ෂතාව, කුසලතාව හා කැමැත්ත තියෙන දේ. තෝරගන්න ඕනා තමන් කැමැති රස්සාවක්. එතකොට තමයි ජීවිතේ තෘප්තිමත් වෙන්න පුළුවන් වෙන්නේ.
කැමැති දේ තෝරා ගැනීම තුළින් ඔබ ලැබූ ප්‍රතිලාභ මොනවාද?

මම උසස් පෙළට කළේ විද්‍යා විෂයන්. මම හොඳට උසස් පෙළ සමත් වෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරුණා. වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගත්තා. වෛද්‍ය වෘත්තියට අදාළ සියලු සුදුසුකම් සම්පූර්ණ කළා. නමුත් මගේ දක්ෂතාව සහ කැමැත්ත තිබුණේ කිමිඳුම් කිරීමට. ඒ වන විටත් මම ලංකාවේ හිටපු තරුණම සහ වේගවත්ම කිමිඳුම්කරුවා බවට පත්වෙලයි හිටියේ. මම වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගන්න ගමන් කිමිඳුම්කරුවෙක් වෙන්න සිහින දැකපු කෙනෙක්.
මට ඒ අතරතුරේදී දැනගන්න ලැබුණා වරාය කොමිසමෙන් කිමිඳුම්කරුවන් බඳව ගන්නවා කියලා. ඉතින් මම ගෙදරටත් නොදන්වා අයැදුම් කළා. මට ඉන්ටර්විව් එන්න කිව්වා. ඒකෙනුත් තේරුණා. මම ගෙදරට නොදන්නවාම වරායට ගියා වෛද්‍ය සිහිනය අතහැරලා. මගේ පවුලට හිතවත් ෆාදර් කෙනෙක්ට කියලා අම්මටයි, තාත්තටයි මගේ කැමැත්ත ගැන තේරුම් කරලා දීලා පසුව මම ඔවුන්ගේ ආශීර්වාදයත් ලබාගන්න සමත් වුණා.

1970 වසරෙදි තමයි මම ඒ තීරණය ගත්තේ. ඇත්තටම මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය තමයි ඒ. එදා කිමිඳුම්කරුවකුට රුපියල් 18,000ක වැටුපක් හිමිවුණා. වෛද්‍යවරයෙක්ට ලැබුණේ රුපියල් 350යි. මම ආර්ථික ප්‍රතිලාභය බලාගෙන නෙමෙයි ඒ තීරණය ගත්තේ. නමුත් මම කියන්න හැදුවේ එදා කිමිඳුම්කරුවෙක්ට සමාජයේ ඉහළ පිළිගැනීමක් තිබුණා. බොහෝ වරප්‍රසාද හිමිවුණා.

කිමිඳුම්කරුවෙක්ට වසර දෙකක එංගලනත්යෙ ශිෂ්‍යත්වයක් ලැබෙනවා. ඒ වසර දෙක නිමවෙලා නැවත ලංකාවට එද්දි කුරුඳුවත්තෙ මුදලාලිලා සියලු දේපළ සමඟ තමන්ගේ දුවලාව විවාහ කර දෙන්න මඟ බලාගෙනයි හිටියේ. අන්න ඒ තරම් පිළිගැනීමක් සහ වීරත්වයක් ඒ වෘත්තිය වටා එකතු වෙලා තිබුණා. ඉතින් එදා මම ඒ තීරණය ගත්තේ නැත්නම් අද මට මෙතනට එන්න ලැබෙන්නේ නැහැ. අද අපි ලෝකයේ හොඳම ර්චපඪදඥ ර්ථීපධමඪඤඥපඵ ලා පස් දෙනා අතර ඉන්නවා. මට ඒ අවස්ථාව ලැබුණේ එදා මම මගේ දක්ෂතාව හඳුනාගෙන කැමැතිම දේ කරපු නිසා.

ඒ කියන්නේ ඔබ හොඳ සිහින දකින්නෙක් සහ ඒ සිහින සැබෑ කරගන්න කෙනෙක්?

ඔව්, මම දැකපු සිහිනේ මම ඉතාමත් කැපවීමෙන් සැබෑ කරගත්තා. මට සැකිල්ලක් තිබුණා ඒ සැකිල්ල මත තමයි මම ගඩොලින්, ගඩොල තියාගෙන ගියේ. අන්තිමට ඒක ගෙයක් වෙලා. මනුෂ්‍යයෙක් වුණාම ඉබාගාතේ නොයා හීනයක් තිබිය යුතුයි. තමන් කරන්න ඉන්න දේ ගැන අදහසක් තිබිය යුතුයි.

කිමිඳුම්කරුවෙක් වෙන්න අවශ්‍ය පෙලඹවීම ලැබෙන්නේ කොහොමද?

1960 ගණන්වල මම තරුණ කොල්ලා. මම නිතරම දැක්කා එංගලන්තයේ සුදු මහත්වරු අපේ මුහුදේ කිමිඳෙනවා. ඒ අයට තිබුණු පිළිගැනීමත් දැක්කා. යන එන කොට නැඟිටිනවා, කවනවා, පොවනවා, අගයකරනවා, ඉහටත් උඩින් සැලකිලි. ඉතින් මම හිතුවා ඒ අයට පුළුවන් නම් මොකද මට බැරි එතැනට එන්න කියලා. අන්න එතැනින් තමයි කිමිඳුම්කරුවෙක් වෙන්න ආසාව ඇති වුණේ.

කිමිඳුම්කරුවෙක් විදිහට ඔබට විශාල අභියෝග සහගත රාජකාරියකුත් පැවරුණා නේද?

ඔව් ඔව්. අභියෝග රැසකට මුහුණ දීලා තිබෙනවා. නමුත් මේ සිදුවීම මට වගේම රටටත් සුවිශේෂීයි. 1984 වසරේදී මට හදිසියේම වරායේ හිටපු ප්‍රධාන ඉන්ජිනේරුවරයා කතා කළා. ඒ කාලේ වික්ටෝරියා වේල්ල හදලා වතුර පිරෙව්වා, වැඩකරපු අයටත් සුමාන දෙකක් නිවාඩු දුන්නා. එකවරටම මහා වරුසාවක් වැටිලා හිතුවටත් වඩා ඉක්මනින් වේල්ලට වතුර පිරුණා. ඒ ජල පීඩනය කොන්ක්‍රීට් වේල්ලට දරාගන්න අමාරු වුණා.

ඒ වසරේ ලෝකයේ හොඳම වාරි පද්ධති ඉන්ජිනේරු සැලැස්ම විදිහට සැලකුවේ අපේ වික්ටෝරියා වේල්ල. ඒක හදලා තිබුණේ ජල පීඩනය වැඩි වෙනකොට වේල්ල පතුලේ ‍ෙදාරටුවක් ඉබේම ඇරිලා අතිරික්ත ජල ධාරිතාව පිටට ගලා යන විදිහටයි. නමුත් එදා අර ‍ෙදාරටුව ස්වයංක්‍රියව විවෘත වුණේ නැහැ. ඒ නිසා අපි අර හොඳම නිර්මාණය කියන ඇගයීමෙන් අසමත් වුණා.
ඉතින් මට ප්‍රධාන ඉන්ජිනේරුවරයා කිව්වා විකීට පුළුවන් නම් ගැඹුරු ජලයේ කිමිඳිලා පතුලේ තියෙන ‍ෙදාරටුව අරින්න කියලා.
බොහොම අවදානම් සහගත වැඩක් නේද?

ඔව්. ලොකු ජීවිත අවදානමක් තිබුණා. මම හා කිව්වට මම ඒ බව කාටවත් ඇඟෙව්වේ නැහැ. මම පළමු වැනි දවසේ මගේ ඥාති සහෝදරයෙක් එක්ක වැඩේට ගියා. කන්දක් උඩ අඩි 350ක් ගැඹුරු ජලයේ තමයි වේල්ල හදලා තිබුණේ. ඒ වගේ වටපිටාවක කිමිඳෙන එක ලේසි නැහැ. අනෙක් එක කරදියේ නෙවෙයි මිරිදියේ නැවුම් වතුරේ තමයි කිමිඳෙන්න තිබුණේ. ඒ වතුර ඇතුළේ හුළං දියවෙන වේගය වැඩියි. නයිට්්‍රජන් දියවෙන ප්‍රමාණය වැඩියි. මොනවා හෝ පොඩි අතපසුවීමක් වුණොත් ජීවිතේ අනතුරේ බව මම දැනගෙන හිටියා.

මගේ මල්ලි අතට ලණුව දීලා මම අඩි 350ක් ගැඹුරු වතුරේ කිමිඳුණා. මගේ ඥාති සහෝදරයා මට ලණුව තියාගෙන ගොඩ බිමේ ඉඳන් මට සංඥා දුන්නා. මම එයාට කිව්වා මම ආවේ නැත්නම් හිතන් ඉන්න වෙලාවට, එයාට මාව හොයන්නේ නැතිව මාව අතහැරලා යන්න කියලා. තුන්වැනි දවසේ මම සාර්ථකව වැඩේ නිම කළා. එතකොට මට අවුරුදු විසිගාණක්, මතක විදිහට.

නමුත් ඔබ එක්තරා කාලයක වරායෙන් ඉවත් වෙනවා නේද?
ඇත්තටම මට වරායෙන් ඉවත් වෙන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ. මට ආර්ථික අපහසුතාවක් තිබුණෙත් නැහැ. මගේ ගැන ලංකාවේ ඉංගී්‍රසි පුවත්පතක ලිපියක් පළවෙලා තිබුණා. ලංකාවේ සංචාරයකට ආව ජර්මන් ජාතිකයෙක් ඒ ලිපිය කියවලා වරායට අමතලා මාව සම්බන්ධ කරගත්තා.

එයාලා සෞදි අරාබියේ කොන්ත්‍රාත්තුවක් භාර අරගෙන තිබුණා කන්ටේනර් ටර්මිනල් එකක් හදන්න. ඉතින් එයාලට දක්ෂ කිමිඳුම්කරුවෝ නැතිවයි ඉඳලා තිබෙන්නේ. මේ පුද්ගලයා මට කිව්වා ගෝල්ෆේස් හෝටලයට ඇවිත් එයාව මුණගැහෙන්න කියලා. මම ගියා. ඔහු මට එහේ යන්න කතා කළා. මම කිව්වා මට විශ්‍රාම වැටුප් ලැබෙන හොඳ රැකියාවක් දාලා එන්න බෑ. එනව නම් මට අහිමි වෙන විශ්‍රාම වැටුප මට ගෙවන්න පුළුවන්ද කියලා. මම ඒක විහිළුවට වගේ කිව්වේ. ඔහු මට කිව්වා ජර්මනියේ ප්‍රධාන ශාඛාවෙන් අහලා කියන්නම් සවස හතරට එන්න කියලා.

මම සවස හතරට ගියාම ඔවුන් ඒකට එකඟ බව මට කිව්වා. මට පුදුම හිතුණා. පසුව මම ඔවුන්ට කිව්වා. මම එහේ ආවට පස්සේ ඔයාලට මාව හොඳ නෑ කියලා හිතුණොත් ඔයාලා මාව ආපසු එවයි. එහෙම වුණොත් මට මගේ මෙහෙ රස්සාවත් නැති වෙනවා. ඒ නිසා මොන හේතුවක් නිසාවත් මාව වසර දෙක ඉවර වෙන තෙක් නැවැත එවන්න බෑ කියලා තානාපති කාර්යාලයට ගිහින් ගිවිසුම් ප්‍රකාරව සහතික වෙන්න කියලා. අවසානේ ඔවුන් ඒ ඉල්ලීමටත් කැමැති වුණා. ඒ අනුව තමයි මම මෙහේ රැකියාවෙන් ඉවත් වෙලා ජර්මානු සමාගමකට එකතු වුණේ.

මට ඩොලර් 5000 ගාණේ ලැබුණා පළමු වැනි මාස දෙක තුනේ. නමුත් මම ඉතා දක්ෂ ලෙස වැඩ කරපු නිසා ඔවුන් මගේ වැටුප ඩොලර් 16,000කට වැඩි කරලා. හොඳට සැලකුවා. අවුරුදු දෙකක වැඩේට මට ගියේ මාස 09යි. මම ඔවුන්ගෙන් ආපසු ලංකාවට යන්න ඉල්ලුවා. ගිවිසුම අනුව වසර දෙක සපිරෙනකන් මට යන්න බැරි බව ඔවුන් කිව්වත්, පසුව මගේ වැඩ හොඳ නිසා ඔවුන් ඉතිරි මාස ගාණට ඩොලර් 5000 ගාණේ ගෙවන්න එකඟ වෙලා මට ලංකාවට එන්න ඉඩකඩ හදලා දුන්නා.
ඒ ඇවිත්ද ර්චඵබඥප ච්ඪමඥපඵ සමාගම පටන් ගත්තේ?

ඔව්. ලංකාවට ආවට පස්සේ නැවැත මට වරායේ රැකියාව ලැබෙන්නේ නැහැනේ. ඉතින් මට මෙහේ කරන්න රස්සාවකුත් ඕනෑනේ, මම හිතුවා ලංකාවේ පෞද්ගලික කිමිඳුම් ආයතනයක් ආරම්භ කරන්න. ඒ අනුව තමයි මාස්ටර් ඩයිවර්ස් හැදෙන්නේ. මම ජර්මන් සමාගමෙන් හම්බකරපු මුදලින් තමයි මේක ආරම්භ කළේ. ඒ සල්ලි ගැනත් හොඳ කතාවක් තිබෙනවා කියන්න.

ඒ මොකක්ද?
අද වගේ නෙමෙයි එදා එහේ ඉඳන් කෙළින්ම මෙහෙට මුදල් හුවමාරු කරන්න අමාරුයි. මම හම්බකරපු සේසතම බෑග් එකක දාගෙන අතේ අරගෙන ආවේ. ෆ්ලයිට් එකේ වොෂ් රූම් යද්දිත් ඒක අරගෙනයි ගියේ. නිදාගද්දි ඒ බෑග් එක කොට්ටෙට තියාගෙනයි නිදාගත්තේ. මට එතකෙට අවුරුදු 26යි. මම බහරේන්වලින් සිංගප්පූරුවට ෆ්ලයිට් එකක් අරගෙන සිංගප්පූරුවෙන් කිමිඳුම් කට්ටලයක් ගත්තා, එහෙම ඉතිරි කිරීමේ ගිණුමක් ඇරලා සල්ලි ටික දැම්මා. ඊට පස්සේ තමයි නිදහසේ හුස්ම ගත්තේ.
හම්බන්තොට වරාය හදන අදහස ඔබේ නේද?

ඔව්. ඒක මගේම අදහසක්. ඒ අදහසේ අම්මා, තාත්තා, බාප්පා, පුංචි සේරම මම විතරයි. හම්බන්තොට වරායක් හදන්න ඕනා කියන අදහස එන්නෙ මට අවුරුදු 18දි විතර. ඉස්කෝලේ යන කාලේ. මම එඩර ඩ්චථඡචදබඩධබච කියලා පොතකුත් ලිව්වා. කොළඹ වරාය, ගාලු වරාය සංසන්දනය කරලා හම්බන්තොට වරායක් හදන්න සුදුසු ඇයි කියලා මම ලිව්වා. මම 1996දී ඒ පොත නැවත මුද්‍රණය කළා. මට ඒ දවස්වල පිස්සු කියලා හිතන්න ඇති.

පසුකාලීනව මම කොළඹ වරායේ වැඩ කරනකොට මට තේරුණා කොළඹ වරාය පොඩියි කියලා. මම ගාල්ල, මොරටුව, මීගමුව මුහුදු නිරීක්ෂණය කරගෙන ගියා. ඒ අතුරතුර මට යෝජනාවක් ආවා කිරින්දේ ධීවර වරායක් හදන්න කියලා. මම ඒ වැඩවලට හම්බන්තොට නිතරම ආව ගියා. ඒ යන හැම විටම මම හම්බන්තොට වරායකට සුදුසු පරිසරයක් තිබෙන බව දැක්කා.
2000දී මම මහින්ද රාජපක්ෂ මහත්තයට ඕක කිව්වම පිස්සුද විකී, ඕවා මෙහෙ කරන්න පුළුවන්ද ඇහුවා. මම රනිල් වික්‍රමසිංහ මහත්මයාටත්, චන්ද්‍රිකා මැඩම්ටත් මේ යෝජනාව කිව්වා. නමුත් ඒ කවුරුවත් මේක කරන්න පුළුවන් වැඩක් කියලා හිතුවේ නැහැ. පස්සේ මම මේ යෝජනාව අලුත් කරලා නැවත ඉදිරිපත් කළා. ඒ අනුව හම්බන්තොට වරාය ඉදිවුණා.
එතකොට කොහොමද පැල්වත්ත සීනි සමාගමට අත ගහන්නේ?
මම හම්බන්තොට යන අතුරතුරදි දැක්කා පැල්වත්ත සීනි සමාගම විකුණන්න දාලා තිබුණා. වසර 3ක් පුරා ඇඩ්වර්ටයිස් කළාට කවුරුත්ම ගත්තේ නැහැ. පසුව මම තීරණය කළා ඒක ගන්න. මේක පාඩු ලබන ආයතනයක් විදිහට හැමෝම දැක්කේ. නමුත් මම මේක අරගෙන ලාබ අරන් පෙන්නුවා. චන්ද්‍රිකා වැඩම් මගෙන් ඇහුවා කොහොමද ඒක කළේ කියලා. මම ඇයට පසුදිනක ඒක කරපු හැටි කිව්වා.
කොහොමද ඒක කළේ ඇත්තටම?

සෑම උක් ගොවියකුටම මම කිරි ගවයෙක් ලබා දුන්නා. උක් වවලා අස්වනු ගන්න අවුරුද්දක් ගත වෙනවා, ඒ අතරතුර කාලේ ඔවුන්ට ආර්ථික අපහසුතා ඇති නොවෙන්න කිරි ගොවිතැන, හොඳ විකල්පයක් වුණා. වසර අවසානේ උක් වගාවෙන් ලබාගන්න ආදායම ඔවුන්ට ඉතිරි කරගන්න පුළුවන් වුණා. ඒ ආකාරයට මම ලාබ උපයලා පෙන්නුවා. ඊට පස්සේ කිරි නිෂ්පාදනය වැඩි වුණා. මම කිරි කර්මාන්තයට අත ගැහුවා. කිරි වැඩි වුණාට ගන්න කෙනෙක් හිටියේ නැහැ. පස්සේ යෝගට් හැදුවා, ඒත් කිරි ඉතිරියි. ඊට පස්සේ කිරි කර්මාන්ත ශාලාවක් හැදුවා, නමුත් තවත් කිරි ඉතිරි වුණ නිසා මම කිරිපිටි නිෂ්පාදනයට අත ගැහුවා. එකක් නෙමෙයි දැන් තුනක්ම තියෙනවා. අපි දැන් බටර් හදනවා. ලබන වසරේදී අපි බටර් පිටරටට යවන්න පටන් ගන්නවා.

දේශීය නිෂ්පාදනවලට ඇයි මේ රටේ තැනක් ලැබෙන්නේ නැත්තේ?
ඒක ඉතින් මේ මිනිසුන්ගේ අහේතුව. බුදු හාමුදුරුවෝ දේශනා කළා තමන්ගේ දේශයේ වැවෙන්නේ නැති ආහාර පරිභෝජනය කරන්නෙපා කියලා. මොකද ඒවා අපේ ඇඟට පත්තියං වෙන්නේ නැති නිසා. දැන් බලන්න හැමෝම පාන් කනවා, පාන් පිටි කෑම වර්ග තමා උදේට, රෑට වැඩිපුර කන්නේ. පුංචි දරුවගේ ඉඳන් දියවැඩියාව, නානාප්‍රකාර ලෙඩ රෝග. මම නම් ඔය පාන්පිටි කන්නේ නැහැ. අපේ රටේ ගොඩබිමට වටා තියෙන්නෙ ජලය. මහ මුහුදේ මාළු ටික ඉන්නවා. ඇළකට, ‍ෙදාළකට බිලී පිත්තක් දැම්මොත් මාළුවෙක් ඇමිණිලා එනවා. එහෙම තියාගෙන පිටරටින් ටින්මාළු ටොන් පිටින් ගේනවා. කොස් ගස්වල කඳ දිගේ තවමත් ගෙඩි හැදෙනවා, මඤ්‍ෙඤාක්කා ඉන්නක් නිකන් පොළොවේ ඇන්නත් පැළවෙලා අල බහිනවා, පලතුරු ටික හැදෙනවා. වී ටික පැළවෙනවා, වහිනකොට ඇළ වේලි ටික පිරෙනවා, මේ රට තරම් පෝසත් රටක් ලෝකේ කොහේවත් නැහැ. එහෙම තියාගෙන පිටරට දේම බලාගෙන ඉන්න පුරුදු වෙලා අපි.

මගේ පුතාලා දෙන්නා කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයට ගිහින් ඉගෙන ගෙන දැනුම ලබාගෙන ලංකාවට ඇවිත් මෙහේ මාත් එක්ක වැඩ කරනවා. වෙන අය වගේ මෙහේ ඉගෙන ගෙන පිටරට රස්සා හොයාගෙන ගියේ නැහැ.

දේශීය දේ අගය කරන ඔබ අඳින්නේ පලඳින්නේ දේශීය දේවල් විතරද?
මම පාවිච්චි කරන්නේ ඕර්එ ඉඥමඥද සීරිස් කාර් එකක්. මම මව්බිම සංස්ථා පදනමේ සභාපති තමයි, මම රැකියාවට කරන්නෙ ඩයිවින්. මම දේශීය දේ අගය කරනවා. මම ගෙදර ගිහින් අමුඩේ ගහගෙන වතුරේ බහිනවා වෙන්න පුළුවන්. නමුත් මට විදෙස් රටක සුද්දෝ ඉස්සරහා එහෙම හැසිරෙන්න පුළුවන්ද? මම නැවට යද්දි සුද්දා මාව දකින්න ඕනා එයාලගෙ මට්ටමින් මිසක් ඊට පහතින් නෙවෙයි. මම මේ බැඳන් ඉන්නේ රොලෙක්ස් ඔරලෝසුවක්. ඒක මිලියන ගාණක් වටිනවා. මම අඳින්නේ පලඳින්නේ හොඳ සන්නාමවල දේවල්. මොකද මට සරම් ඇඳන් නැව් නඟින්න බැහැනේ. තමන් කරන වෘත්තියට අදාළව අඳින පලඳින එක හොඳ දෙයක්.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon