බල අරගල නවතා රට ගැන හිතන්න

  👤  3432 readers have read this article !
By mawbima 2018-02-19

මහනුවර _ ගයා ශ්‍රී කාරියවසම්

රටේ පවතින අර්බුදකාරි තත්ත්වය හමුවේ තමන්ගේ බලය තහවුරු...කර ගැනීම නවත්වා රට ගැන සිතා කටයුතු කළ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියෝ පැවැසූහ.

අද රටේ පවතින තත්ත්වය පිළිබඳව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ලේඛකාධිකාරි හිමියෝ වැඩිදුරටත් මෙසේද සඳහන් කළහ.
"කලක් තිස්සේ මහජනතාව පුන පුනා බලා සිටි පළාත් පාලන මැතිවරණය පවත්වා දැන් සතියකට අධික කාලයක් ගත වෙනවා. ඒ මැතිවරණයෙන් රටේ මහජන තීන්දුව පැහැදිලිව ලබා දුන්නා. ඒ අතරතුර දේශපාලන පක්‍ෂ අතර තිබූ හැලහැප්පිලි අර්බුදකාරි තත්ත්වයන් මේ ප්‍රතිඵල හරහා ඉස්මතු වූ බවක් පෙනෙන්නට තිබෙනවා. ඉන් මේ රට රාජ්‍ය තන්ත්‍රය යම් අස්ථාවරභාවයකට පත්ව තිබෙනවා. එය ඉතා ඛේදජනක තත්ත්වයක්. අද යම් යම් වරප්‍රසාද හමුවේ දේශපාලන පක්‍ෂවල ඔළුගෙඩි එහාට මෙහාට මාරු කිරීමේ දේශපාලන බල ලෝභිකම් අමතක කර අප රටේ ආර්ථිකය දියුණු කළ යුතුයි. මේ තත්ත්වය තුළ රටට ආයෝජකයන් එන්නේ නෑ. ඒ නිසා විවිධ අර්බුදවලට රටක් ලෙස අපට මුහුණ දෙන්න සිදුවෙනවා.

මීට පෙර අස්ගිරි පාර්ශ්වයේ භික්‍ෂුන් වහන්සේ ලෙස රජයට රටට යම් පෙන්වාදීමක් සිදුකළා. මේ ඉදිරි ගමන් මාර්ගය කෙසේ ගමන් කළ යුතුද කියා අප සාකච්ඡා මාර්ගයෙන් සහ ලියවිලි හරහා රජයට ලබා දුන්නා. ජනතාවගේ ජීවන බර සහ රටේ කෘෂිකර්මයට අත්වී ඇති විපත් සහ එහි ඉරණම අප එහිදී පෙන්වා දුන්නා. ඒ වගේම විවිධ රාජ්‍ය නොවන සංවිධාන සහ ජාත්‍යන්තර මෙහෙයුම් හරහා අපේ ජාතිකත්වයට සම්බුද්ධ ශාසනයට බෞද්ධ සංස්කෘතිය මුල් කරගත් මාතෘ භූමියට සිදුවන අනර්ථකාරී, විනාශකාරී තත්ත්වයන් පිළිබඳව අප පැහැදිලි කර දුන්නා. නමුත් ඒ සඳහා කිසිවකු ඇහුම්කන් දුන් බවක් නම් පෙනෙන්නට තිබුණේ නෑ. ඒ නිසා අප තරමක් නිහඬ වුණත් මහජනතාව ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට නිවැරැදි තීරණයක් ලබාදී අනතුරු හැඟවීමක් සිදුකර තිබෙනවා.

නමුත් දැන් රටේ විශාල ලෙස අර්බුදකාරී තත්ත්වයක් පැනනැඟී පවතිනවා. මේ ජයග්‍රහණය ලැබූ මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශ්වයත්, ජනාධිපතිවරයා සහ අගමැතිවරයාත් මේ අවස්ථාවේදී මහජනතාවගේ සුබසිද්ධියත් රටේ ආරක්‍ෂාව පිළිබඳවත් කල්පනා කර රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව අවධානය යොමුකර රටේ ස්ථාවර තත්ත්වයක් පවත්වා ගෙන යෑමට කටයුතු කළ යුතුයි.

ඡන්ද ප්‍රතිඵල කුමක් වුවත් මහ සංඝරත්නය ලෙස අප ප්‍රාර්ථනා කරන්නේ මහජනතාවගේ සුබසිද්ධිය සහ රටේ ස්ථාවරභාවයයි. භික්‍ෂුන් වහන්සේ ලෙස තවදුරටත් මහා සංඝරත්නයට නිහඬව සිටීමට හැකියාවක් නෑ. ඒ නිසා මේ රටේ තවදුරටත් ස්ථාවරභාවයෙන් යුතුව රාජ්‍ය තන්ත්‍රය කටයුතු කළ යුතුයි. එසේ නැතිව කටයුතු කිරීමේ ආදීනව පිළිබඳව අපට නැවත සිතා බැලීමට සිදුවෙනවා. මෙවර මැතිවරණයෙන් මහජනතාවගේ කැමැත්ත කුමක්ද යන්න පැහැදිලිව නිරවුල්ව ප්‍රකාශ කර තිබෙනවා. කිසිදු පාර්ශ්වයක් ඒ බලයෙන් උද්දාමයට පත්විය යුතු නෑ. ඉන් කිසිවකු ආඩම්බර විය යුතු නෑ. උද්ධච්චකමින් හැසිරිය යුතු නෑ. දේශපාලන බල ලෝභය සඳහා තමන්ගේ පිල් මාරු කිරීම් ආදිය සිදු කිරීමෙන් මේ මහජන ඡන්දය කැමැත්ත අවභාවිතයට ගත යුතු නෑ. අප පැහැදිලිවම අපේක්‍ෂා කරන්නේ රටේ ස්ථාවර රජයක් පැවතිය යුතුයි කියන කාරණයයි. ඒ ස්ථාවර රජය පවත්වාගෙන යෑමේ වගකීම ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් අත්දැකීම් බහුල මහින්ද රාජපක්‍ෂ මහතාටත් තිබෙනවා. ඒ නිසා පොදු අපේක්‍ෂාවන් ඉටු වෙන ආකාරයට සියලු දෙනාම කටයුතු කළ යුතුයි." තමන්ගේ බලය තහවුරු කර ගැනීම නවත්වා රට ගැන සිතා මේ අවස්ථාවේදී කටයුතු කළ යුතු බවද ලේඛකාධිකාරී හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon