තලංගම යුවළට වෙඩි තැබුවේ වැරැදීමකින්ද?

  👤  3566 readers have read this article !
By mawbima 2018-02-19

කොළඹ පාතාලය යළි හිස එසවීමත් සමඟ ගත වූ දින හතරක කාලය තුළ මෝදර, කෙසෙල්වත්ත, තලංගම යන ප්‍රදේශවල සිදු වූ වෙඩි තැබීම්වලින් තිදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල තබා තිබේ.

මෙහි ආසන්නතම සිද්ධිය ඊයේ (18දා) තලංගම, විමලතිස්ස මාවත ප්‍රදේශයෙන් වාර්තා විය.
තලංගම, විමලතිස්ස මාවතේ ඊයේ (18දා) අලුයම ගිනි අවි රැගෙන නිවෙසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු, නිදා ගෙන සිටි අඹුසැමි යුවළකට සිදු කළ වෙඩි තැබීමකින් සැමියා මියගොස් බිරිය බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව තලංගම පොලිසිය පැවැසීය.
වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ වර්ණකුලසූරියගේ ක්‍රිස්ටින් ප්‍රනාන්දු (51) නමති දෙදරු පියෙකි. හතළිස් අට හැවිරිදි ඔහුගේ බිරිය අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවැසීය.

අලුයම දෙකයි තිහට පමණ මුහුණු වැසෙන ආරක්‍ෂක හිස් වැසුම් පැලැඳ යතුරුපැදියකින් පැමිණ ඇති වෙඩික්කරුවන් දෙදෙනකු නිවෙසෙහි ඉදිරිපස ‍ෙදාර පා පහරක් එල්ල කර, කඩා නිවෙසට ඇතුළු වී දෙවැනි කාමරය තුළ ඇඳෙහි නිදා සිටි අඹුසැමි යුවළට පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කර ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරීන් පැවැසීය.

එම වෙඩි ප්‍රහාරයෙන් සැමියාගේ පපු ප්‍රදේශයටත්, බිරියගේ උදර ප්‍රදේශයටත් බරපතළ තුවාල සිදු වී ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවැසීය.
වෙඩි තැබීමට ලක්වූ අඹුසැමි යුවළට දරුවන් දෙදෙනකු සිටින අතර වැඩිමහල් දියණිය විවාහ වී පිළියන්දල පදිංචිව සිටින අතර අනෙක් පුතු ඔවුන් සමඟ මේ නිවෙසේ පදිංචිව සිටින බව පොලිසිය පැවැසීය.

මේ සිද්ධිය වන අවස්ථාවේ ඔහු නිවෙසින් පිටතට ගොස් සිට ඇති බවත් පැවැසේ.
මෙම වෙඩි තැබීම අත්වැරැදීමකින් සිදු වූ එකක් බවද පාතාල මර්දන ඒකකය වෙත වාර්තා වී ඇත.
මෙම වෙඩි තැබීම සිදු වූ නිවෙසට යාබද නිවෙසක පාතාල නායක ලඩියාගේ ගෝලයකු සිට ඇති අතර ඔහු ඉලක්ක කර ගනිමින් වෙඩික්කරුවන් පැමිණ ඇති බවද එම ඒකකයන් වෙත තොරතුරු ලැබී තිබේ.

පාතාල නායක සමයංගේ පාර්ශ්වයේ පිරිසක් මෙම වෙඩි තැබීම සඳහා පැමිණ ඇති බවත් ලඩියාගේ ගෝලයා යැයි සිතා මෙම අඹු සැමි යුවළට ඔවුන් වෙඩි තබා ඇති බවට තොරතුරු වාර්තා වූ බව උසස් පොලිස් නිලධාරියෙක් 'මව්බිම'ට පැවැසීය.

සිදු කළ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලද අඹුසැමි යුවළගේ මර ළතෝනියත් සමඟ මඳ වේලාවකින් එම ස්ථානයට ළඟා වූ ප්‍රදේශවාසීන් කොළඹ ජාතික රෝහල වෙත ඔවුන් ඇතුළත් කර ඇත.

ඔවුන් දෙදෙනා නිදා සිටි ඇඳෙහි ලේ දහරාවන් ගලා ගොස් තිබූ අතර ඒ ආසන්නයේ පිස්තෝල සඳහා යොදා ගන්නා උණ්ඩ දෙකක් හා හිස් කොපු තුනක් වැටී තිබියදී පොලිසිය මඟින් සොයා ගෙන ඇත.

සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්‍ෂණ නිලධාරීන් පැමිණ පරීක්‍ෂණ සිදු කර ඇත.
ඉකුත් 16 වැනි දින පස්වරුවේදී කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ අධිකරණය ආසන්නයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් රිස්වාන් (39) නමැත්තා ඝාතනයට ලක් විය.

වෙඩි තැබීමට පැමිණි පුද්ගලයාට එම ස්ථානයෙන් පැන යෑමට ඉඩනොදී අල්ලාගත් ප්‍රදේශවාසීන් විසින් ඔහුටද පහරදී ඝාතනය කෙරුණි.
මෙම වෙඩි ප්‍රහාරය ඩුබායි සිට මෙරටට පැමිණ සිටින 'බයියා' නමැත්තා විසින් කොන්ත්‍රාත් මුදලකට සිදු කරන ලද්දක් බවටද පාතාල මර්දන ඒකකය වෙත තොරතුරු ලැබී ඇත.

එසේම ඉකුත් 15 වැනි දින මෝදර ප්‍රදේශයේදී වැල්ලේ සුරංග විසින් කාන්තාවකට වෙඩි තැබීමක් සිදු කරන ලදී. එම වෙඩි ප්‍රහාරයෙන් කාන්තාව බරපතළ තුවාල ලැබුවාය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්.ආර්. ලතීෆ්, කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර යන මහත්වරුන්ගේ අධීක්ෂණය හා උපදෙස් මත මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරේ.

නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් මත තලංගම පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අර්ජුන මාහිංකන්ද මහතාගේ අධීක්‍ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක අමිත් ජයමහ, සැරයන් රුවන් (48874), අමරසේකර (6731), ජයතිස්ස (50173), කොස්තාපල්වරුන් වන සරත් (65283), රණසිංහ (68536), කුමාර (84768), සුරේෂ් (86645), නවරත්න (12489), රත්නායක (88333), සම්පත් (75783) යන මහත්වරු පරීක්‍ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon