නැමී ගිය කොන්ද කෙළින් කරගන්න උදවු ඉල්ලන සොපියා මාතාව

  👤  3156 readers have read this article !
By mawbima 2018-02-19

ඉතා මෑතකදී නැමී ගිය කොන්ද යළි කෙළින් කරවා ගැනීමට ප්‍රතිකාර සඳහා වැය වන මුදල ඉල්ලා හැට හැවිරිදි මාතාවක් තම අපහසුතාවන් පවසා ආධාර පතයි.
ඩබ්ලිව්. ජී. සොපියා නමැති මෙම මාතාව ඇකිරිය, මාකෙම්පේ ග්‍රාමයේ වෙසෙන්නියකි. ඇය මෙසේ පවසා සිටී. 'අපිට හරි හැටි ඉන්ට තැනක්වත් නැහැ. අපි හරිම දුප්පත් පවුලක්. මගේ ස්වාමියා මිය ගිය විට අපිට මිනිය තියන්නවත් තැනක් නැති නිසා මළගෙදර කටයුතු පවා සිදු කළේ අසල්වැසි නිවෙසක අයගේ උපකාරයෙන්. මමත් ස්වාමියත් කුලී වැඩ කරලයි ජීවත් වුණේ.

මට මේ මෑතක ඉඳන් කුලී වැඩ කරන්න වෙලා තියෙන්නේ හරිම අමාරුවෙන්. මොකද කොන්ද අමාරුවක් නිසා කොන්ද කෙළින් තබා ගන්න බැහැ. නිදා ගන්නෙත් ඇලේකට. ඇවිදගෙන යන්නෙත් කොන්ද නමාගෙන බිම බලාගෙන. මට මේ ලෙඩේට බෙහෙත්වලට තෙවරකට රු. 25,000ක විතර මුදලක් වැය කරනවා නම් සුව කරන්න පුළුවන්ලු. දරු තිදෙනකුගේ මවක් වන මම දැන් ඉන්නේ බාලම පුතා ළඟයි. පුතා කුලී වැඩට ගිහිල්ලා හොයන ආදායම අපි දෙන්නට එදා වේලටත් මදි. කුලී වැඩත් අඩුයි. බඩු හරිම මිලයි. ඉතින් මට කොන්ද කෙළින් කර ගත්තොත් ආයෙත් වැඩකට ගිහින් කීයක් හරි හොයා ගත්තැකි. මට කවුරුහරි මේ බේත් ටික ගන්න උදවු කරනවා නම් නිර්වාණ සම්පත්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

බාල පුතා ඉතා අමාරුවෙන් ගෙදර පොඩ්ඩක් හදා ගත්තා. අනේ තවම ජනෙල් ‍ෙදාරවල් දාගන්න පුළුවන්කමක් නැහැ. වැස්ස පින්න විතරක් නෙවෙයි මදුරුවොත් දුප්පත් අපිටමයි හිරිහැර කරන්නේ. බාල පුතා මම නිසා විවාහයක්වත් වෙන්නෑ ආදායම නෑ කියලා. කිව්වට අහන්නෙත් නැහැ. තවත් පිරිමි දරුවො දෙන්නෙක් ඉන්නවා. ඒ අයත් විවාහ වෙලා එදා වේල හොයාගන්නේ කුලී වැඩ කරල. පදිංචිය අෑතක.

අනේ මා ගැන අනුකම්පා කරලා මට පුළුවන් උදව්වක් දෙන්න. නැත්නම් අපේ දුක බලන්නට ගෙදරට එන්න. එහෙමත් බැරි නම් මට ටෙලිෆෝන් කරලා ඉවර වෙලා මම පින් දුන්නට පස්සේ කැමැත්තක් කරන්න. මගේ ලිපිනය ඩබ්ලිව්. පී. සොපියා මාකෙම්පේ, ඇකිරිය. දුරකතනය 0712028327 රිකිල්ලගස්කඩ ලංකා බැංකුවේ 4878597 ඉතිරිකිරීමේ ගිණුම. පුතාගේ ටෙලිෆෝන් නම්බරය 0714838212 නම රත්නායක.'

රිකිල්ලගස්කඩ -
ටී. ඇම්. සෝමපාල

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon