දෙමළ ප්‍රගතිශීලී සන්ධානය එජනිස ආණ්ඩුවකට සහාය දෙන්නේ නැහැ

  👤  4139 readers have read this article !
By mawbima 2018-02-20

ලක්ෂ්මී ජයකොඩි

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට කිසිවිටක සහාය ලබා නොදෙන බව එම සන්ධානයේ කම්කරු සංගමයේ නායක පලනි තිගාම්බරම් මහතා අවධාරණය කරයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා හිටපු ජනාධිපති ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට සහාය දැක්වීමට නියමිත බවට පැතිර යන දේශපාලන ආරංචි පිළිබඳ "මව්බිම" කළ විමසීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය

තමා හෝ තම සන්ධානයේ නායකයා ඇතුළු කිසිදු මන්ත්‍රිවරයකු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවකට සහාය ලබා නොදෙන බවත් ඉදිරි වසර දෙක සඳහාත් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවට සහාය ලබාදෙන බවත් හෙතෙම කීය.

විවිධ මාධ්‍ය අදහස් දක්වන පරිදි අග්‍රාමාත්‍යවරයාට එම ධුරයෙන් ඉවත්වීමට අවශ්‍යතාවක් නොමැති බවත් 2020 වනතෙක් රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අගමැති ධුරය හොබවනු ඇති බවත් ඒ මහතා පැවැසීය.

පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුවට විශාල ජයග්‍රහණයක් හිමිනොවුණේ ජනතා පොරොන්දු ඉටු නොකිරීම නිසා බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
තිගාම්බරම් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසුවේ මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව පරාජයවීමේ වගකීම ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ මුළු අමාත්‍ය මණ්ඩලයටම භාරගත යුතුව ඇති අතර ආණ්ඩුවේ වැරැදි නිවැරැදි කරගනිමින් ඉදිරි දෙවසරක කාලයේදී ආණ්ඩුව ජනතාවට උපරිම සේවයක් සිදුකළ යුතු බවයි.
මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයට අමාත්‍ය ධුර දෙකක්, රාජ්‍ය අමාත්‍ය ධුරයක් හා පාර්ලිමේන්තු මන්ත්‍රි ධුර 03ක් හිමිව තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon