පින්නවලින් ලෝක වාර්තාවක්

  👤  4268 readers have read this article !
By mawbima 2018-02-20

මාවනැල්ල - කේ.වී. බණ්ඩාර
අද වනවිට ලෝකයේ වැඩිම අලි උපත් සංඛ්‍යාවට හිමිකම් කියන්නේ පින්නවලයි. මේ වනවිට (ආරම්භයේ සිට මේ දක්වා) අලි උපත් 71 මෙහි සිදුවී තියෙනවා යැයි ජාතික සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා රේණුකා බාලසූරිය මහත්මිය පැවැසුවාය.

පින්නවල අලි අනාථාගාරයේ 43 වැනි සංවත්සරයට අලි - ඇතුන් වෙනුවෙන් කිරිබත් සහ පලතුරු සංග්‍රහයක්ද එහිදී පැවැත්විණි. මේ අවස්ථාවට විශේෂිත ආරාධිතයන් සේම දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් එක්ව සිටිනු දැකගැනීමට හැකිවිය. දේශපාලන අධිකාරියේ සහභාගිත්වය මෙවර දක්නට ලැබුණේ නැත.
මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ ජාතික සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා රේණුකා බාලසූරිය මහත්මිය උත්සවය අමතමින් මෙසේ පැවැසුවාය.

අපි මේ ස්ථානය මුලින්ම පටන් ගත්තේ අනාථ වෙච්ච අලි ඇතුන් ගෙනැවිත් තබා එක්රැස් කරලා තිබෙන සංරක්ෂණ මධ්‍යස්ථානයක් විදියට. නමුත් 1984 දී අපේ පළමු අලි උපතත් සමඟ මේ ස්ථානය අභිජනන මධ්‍යස්ථානයක් විදියට නම් වුණා. අද වනවිට ලෝකයේ වැඩිම අලි උපත් සංඛ්‍යාවට හිමිකම් කියන්නේ අපි. මේ වනවිට අලි උපත් 71ක් මෙහි සිදුවෙලා තියෙනවා. ඒ විදියට බලපුවාම මේක තාමත් කාටවත් කඩන්න බැරිවුණු සංඛ්‍යාවක්. කොහොම නමුත් මේ ස්ථානය අපි අභිජනනීය මධ්‍යස්ථානයක් ලෙස තමයි සලකන්නේ. මෙහි සංරක්ෂණාගාරයක්, අධ්‍යාපනික මධ්‍යස්ථානයක් විදියටත් සහ විනෝදාස්වාද ලබාදෙන ස්ථානයක් හැටියටත් ලංකාවේ ආර්ථිකයට මෙන්ම කෑගල්ලේ මේ කලාපයේ සංචාරක පරාදීසයක් බවට පත් වීමටත් මේ ස්ථානය පිටිවහලක් වෙලා තියෙනවා.

වසරකට මේ ස්ථානයෙන් මිලියන 800ක ප්‍රමාණයක් ලංකාවේ ආර්ථිකයට අපි එකතු කරනවා. අපේ සේවක මහතුන් රටට, ජාතියට ණය නැති අය. අපේ සේවක මහතුන් මෙන්ම මේ ස්ථානය නැරැඹීමට එන සියලු දෙනාගේ දායකත්වය නිසා තමයි මේ ස්ථානය මේ තරම් දියුණු වූයේ. මේ ස්ථානයේ සේවක මහතුන් මේ සතුන් හොඳින් රැක බලා ගත්තේ නැත්තම් අලි ඇතුන් බැලීමට මේ තරම් සෙනඟක් එන්නේ නැහැ යැයි පැවැසීය.

1975 පෙබරවාරි 17 වැනි දින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පින්නවල අලි අනාථාගාරය ආරම්භ කරන ලදී. එවක සමඟි පෙරමුණු රජයේ සංචාරක කටයුතු අමාත්‍ය පී.බී.ජී. කලුගල්ල මහතාගේ යෝජනාවක් අනුව මෙය ආරම්භ කර ඇත.

ගතවූ වසර 40 තුළ මෙහි වරින් වර අලි ඇතුන් දෙසීයකට වැඩි දෙනකු රැකවරණය ලද අතර අද දවසේ මෙහි රැකවරණය ලබන අලි ප්‍රමාණය 89කි. දිවයිනට පැමිණෙන සංචාරකයන්ගෙන් සියයට 87ක් මෙහි පැමිණෙන බව මෑතකදී සිදුකරන ලද සමීක්ෂණයකින් පවා හෙළිවී ඇත.

ගතවූ වසරේ පමණක් පින්නවල අලි අනාථාගාරය නැරැඹූ විදෙස් සංචාරකයන් ගණන දසලක්ෂය ඉක්මවයි.
මෙම සත්ත්ව උද්‍යානයේ අලි අභිජනන කාර්යය සාර්ථක වෙමින් 1984 ජූලි 5 වැනිදා ප්‍රථම වරට කුමාරි නමැති ඇතින්න "සුකුමලි" බිහි කළාය. 2011 දක්වා අලි පැටවුන් 69 දෙනෙක් ඉපදී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon