කොත්මලා ඔයට පෙරළුණු මෝටර් රථයේ සිටි දෙදෙනා ගම්පහ සමුපකාරයේ සේවකයන් බවට හඳුනාගෙන

  👤  4275 readers have read this article !
By mawbima 2018-02-20

නෝර්වුඩ් - රිද්මි මිලින්දිකා,
හාවාඑළිය - චන්ද්‍රසිරි මහගම

කොත්මලා ඔයට පෙරළුණු මෝටර් රථයේ සිට ජීවිතක්ෂයට පත් දෙදෙනා ගම්පහ විවිධ සේවා සමුපකාර සමිතියේ සේවය කරමින් සිටි දෙදෙනකු බව අනාවරණය වී ඇතැයි තලවාකැලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රසික වත්තේගම මහතා පැවැසීය.

නුවරඑළියේ සිට ගම්පහ දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් පෙරේදා (18දා) පස්වරු 3ට පමණ හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ තලවාකැලේ බෙයාර්විල් ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයක වූ කොත්මලා ඔයට පෙරළී තිබිණි.

ඔයේ අඩි 30ක් පමණ ගැඹුරකට පෙරළී තිබූ මෝටර් රථය තලවාකැලේ ප්‍රදේශයේ තරුණයන් පිරිසක් හා වතුකම්කරුවන් එක්ව කොත්මලා ඔයේ කිමිදී මෝටර් රථයේ අගුළුලා තිබූ පැති ‍ෙදාරවල් කඩා මුලින්ම කාන්තා මළ සිරුරත් මෝටර් රථය ගොඩට ගෙන පිරිමි මළ සිරුරත් පිටතට ගනු ලැබීය.
එම සිරුරු මහෙස්ත්‍රාත්
පරීක්ෂණය සඳහා ලිඳුල රෝහල වෙත ගෙනගොස් තිබේ.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ගම්පහ යක්කල පාරේ පදිංචි රත්නායක කලුආරච්චිලාගේ වසන්ත රත්නායක නමැති 32 හැවිරිදි දෙදරු පියකු වන අතර ඔහු ගම්පහ විවිධ සේවා සමුපකාර සමිතියේ ක්ෂේත්‍ර නිලධාරියෙකි. මියගිය කාන්තාව වන පියුමිශාන් ප්‍රසාදි පෙරේරා (24) අවිවාහක වන අතර ඇය එම සමිතියේ ලිපිකාරිනියක් බව තලවාකැලේ පොලිසිය කීය. අනතුරට පත් මෝටර් රථය මියගිය කාන්තාවගේ නමට ලියාපදිංචි කර ඇති අතර මෝටර් රථය අනතුරට පත්වන අවස්ථාවේ ඇය විසින් ධාවනය කර ඇති බවටද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මියගිය කාන්තාව ඉකුත් 17දා අවමංගල්‍ය උත්සවයකට සහභාගි වීමට යන බව පවසා නිවෙසෙන් පැමිණ ඇති බව දැනට
පොලිසිය විසින් කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon