අගමැති පත්කිරීමේ බලය ජනපති සතුව තිබියදී කල් වැරීම උපක්‍රමයක්

  👤  4184 readers have read this article !
By mawbima 2018-02-20

අගමැතිවරයකු පත්කිරීමේ සම්පූර්ණ බලය ජනාධිපතිවරයා සතු බවත් නීතියේ බාධකයක් කෘත්‍රිමව නිර්මාණය කරමින් එසේ නීතිමය බාධකයක් පවතිනවා යැයි පවසමින් කල් ගැනීම කල් වැරීමේ උපක්‍රමයක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් පවසයි.
ඔහු මේ බව පැවැසුවේ ඊයේ (19දා) බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඒ මහතා එහිදී මෙසේද පැවැසීය.

මේ යන්නේ අයාලේ යන ගමනක්. රටේ තීරණ සහ වගකීම් ගන්න කවුරුත් නැහැ. මේක නිරාකරණය කිරීමේ බලය තිබෙන්නේ ජනාධිපති අතේ පමණයි.
අද එජාපය උත්සාහ කරනවා තවදුරටත් ආණ්ඩු බලයේ ඉන්න. මේ ඡන්දෙන් ඔවුන්ට 32%ක බලයක් පමණයි හිමි වුණේ. ඒ වගේ පිරිහුණු නායකයෙක් හා පක්ෂයක් තවදුරටත් ආණ්ඩු බලයේ ඉන්නවා නම් එය ජනබලයට පයින් ගැසීමක්. ජනබලය සත පහකට මායිම් නොකොට ජනබලය ප්‍රතික්ෂේප කොට සියලු ප්‍රජාතන්ත්‍රවාදී අගයන් හා සම්ප්‍රදායන්වලට ඍජුව පටහැනිව කරගෙන යන වැඩපිළිවෙළක් විදියටයි ඒක දකින්නේ.

මෙතැනදී කළ යුත්තේ පැලැස්තර දැමීම් නෙවෙයි. මේක පුද්ගලයකු පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශ්නයක්. රනිල්ද, කරුද, සජිත්ද කියන ප්‍රශ්නයක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා අස්වෙන්න සූදානම් නෑ. එයා අයින් කරලා වෙන කෙනෙක් පත් කිරීමෙන් මේ ප්‍රශ්නය කිසිසේත් විසඳෙන්නෙ නැහැ.
ජනතාව ප්‍රතික්ෂේප කර ඇත්තේ එජාපයේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තියයි. රටේ කිසිම ජනප්‍රියත්වයක් නැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වැඩපිළිවෙළකට අවතීර්ණ වීමයි. මේ රටේම පමණක් නෙවෙයි ආසියාකරයේම නොදැකපු මහ පරිමාණ දැවැන්ත මහ බැංකු මගඩියත් ඒ අතර තිබෙනවා.

මේ සියල්ලත් එක්කයි එජාපය මේ විදියේ පරිහානියකට ලක් වුණේ. එම නිසා අපි මවිත වෙනවා, ශ්‍රී ලනිපයේ ඇතැම් ඇමැතිවරු අද ගෙන යන වැඩපිළිවෙළ ගැන. ඔවුන් අරලියගහ මන්දිරයේදී අගමැති හමු වී ඔහු හා රාත්‍රි භෝජන සංග්‍රහයක් භුක්ති වින්දා. ඒ සියලු දෙනා තමන්ගේ කොට්ඨාස අන්ත පරාජයට පත්වුණු අය. පක්ෂ ලේකම්වරු දෙදෙනාම ඇතුළු කැබිනට් ප්‍රකාශක ඇතුළු ශ්‍රී ලනිපයේ බොහෝ අයව ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි. දැන් ඔවුන් යළි සිය තනතුරු රැකගැනීමට හා වරදාන භුක්ති විඳීමටයි රනිල් වික්‍රමසිංහ හා එක්වන්න සාකච්ඡා කරන්නේ.

මැතිවරණයට පෙර ජනාධිපතිතුමා අපේ පෙරමුණ නියෝජනය කරන ශ්‍රී ලනිපයේ සංවිධායකවරුන්ගේ සංවිධායක ධුර අහෝසි කළා. ඒවා එතුමා හඳුනාගත් නව පුද්ගලයන් රැසකට පිරිනැමුවා. එසේ අයින් කළ සෑම කෙනෙක්වම ජනතාව උඩින්ම දිනවලා දුන්නා. මේ මැතිවරණයේදී රටේම තිබුණේ එක මතයක්, නිගමනයක්. මෙය සම්පූර්ණයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණයක්. වෙන කිසිම සාධකයක්, එතැන නැහැ.

පසුගියදා (18දා) රාත්‍රියේ සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර නිල වශයෙන් ලිඛිතව ජනාධිපතිව දැනුවත් කරලා තියෙනවා, සන්ධානය එකමුතු ආණ්ඩුවෙන් ඉවත් වෙනවා කියලා. ආණ්ඩුවේ සංයුතිය පිළිබඳ මූලික වෙනසක් දැන් සිදුවෙලා තියෙන්නේ. එහෙම නම් මේ ආණ්ඩුවට පැවැත්මක් නෑ. පදනම දෙදරලා ගිහින් අලුත් ආණ්ඩුවක්, අලුත් කැබිනට් මණ්ඩලයක් පත් කිරීමේ අවශ්‍යතාව දැන් ජනිත වෙලා තියෙනවා.

ආණ්ඩුව තීරණය කළා කවුද සභානායක, කවුද විපක්ෂ නායක කියලා. විපක්ෂයට තිබුණේ ආසන 16යි. අපට තිබුණා 54ක්. විපක්ෂ නායකතුමා කවදාවත් මේ රජය විවේචනය කළේ නැහැ. අවුරුදු 3ක අය - වැය ලේඛනය කිසිදු සංශෝධනයකින් තොරව සම්මත වුණා. විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ලබා දුන්නා ආසන 6ක් තිබුණු ජවිපෙට. මේ තුළින් පාර්ලිමේන්තුව තුළ තිබුණු තත්ත්වය හා බිම් මට්ටමේ යථාර්ථය අතර අහසයි පොළවයි වගේ වෙනසක් පේනවා.
ඒ නිසයි අපි බල කරන්නේ කිසිම ප්‍රමාදයකින් තොරව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට විරුද්ධ පක්ෂයේ නායකකම දෙන්න කියලා. එවිට පාර්ලිමේන්තුවේ යම්කිසි යථාර්ථවාදී ස්වරූපයක් ඇති වේවි.

ඒ වගේම පසුගියදා (18දා) සවස ජනාධිපතිවරයා යම් කිසි ගැසට් පත්‍රයක් මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට යැව්වා. ඒකෙන් එතුමා බලාපොරොත්තු වුණේ පාර්ලිමේන්තු රැස්වීම් තාවකාලිකව මාර්තු 20 පමණ තෙක් අත්හිටුවීමට. අභිනව රජයකට මඟපෑදීමට ගන්නා පියවරක් මේක. නමුත් පැය කිහිපයක් තුළදී මෙතුමා මේක යළි වෙනස් කළා. ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු රජයේ මුද්‍රණාලයට එය නවතාලන්න දැනුම් දීමක් කළා. එතැනදී මේ තීරණයේ යම්කිසි වෙනසක් වුණු බව හැඟෙනවා. මෙතැනදී ගැටලුවක් ඇති වෙනවා. ජනාධිපති කැමතියිද රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අගමැතිත්වය යටතේ නැවත මේ රජය ගෙනියන්න. සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ප්‍රකාශයක් කරලා තියෙනවා සති අන්තය වන විට එජාපය ඉවත් කොට නව ආණ්ඩුවක් හදන්නේ නැතිනම් ඒ මැතිතුමා ඇතුළු 15 දෙනකු ඒකාබද්ධ විපක්ෂයට එකතු වන බවට.
ඒ නිසයි අපි කියන්නේ මේ තත්ත්වය තුළ කිසිම විකල්පයක් නැහැ. ඒ නිසා ඉතා කඩිනමින් පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරය ලබාගෙන පාර්ලිමේන්තුව විසුරුවා තමන් කැමැති ආණ්ඩුවක් පත් කර ගැනීමේ අවස්ථාව ජනතාවට දෙන්න.

ඒකාබද්ධ පොදුජන පෙරමුණේ ජයග්‍රහණයේ විශේෂ ගෞරවය බැසිල් රාජපක්ෂ මැතිතුමාටත් ලැබිය යුතුමයි. පසුගිය මාස 18 තුළ දිවා රෑ නොබලා ඔහු ඉමහත් අධිෂ්ඨානයෙන් යුතුව කළ කැපකිරීම සියලු දෙනා අගය කළ යුතුයි. ලබන වසර වන විට අපි මේ ආණ්ඩු බලය ගන්නවා. ඒ ගැන කිසිදු සැකයක් නැහැ.

හර්ෂනී අර්සකුලරත්න
ඡායා - නුවන් අමරවංශ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon