කණ්ඩායම පවුලක් වගේ කටයුතු කිරීමත් කුසල්ගේ වෙනසත් අපට යහපතක් වුණා

  👤  4163 readers have read this article !
By mawbima 2018-02-20

ශ්‍රී ලංකා කණ්ඩායම නව පුහුණුකරු හතුරුසිංහ සමඟ සහභාගි වූ පළමු සංචාරයේදී මුහුණ දුන් තරගාවලි තුනෙන්ම ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් වූ අතර එහිදී විශේෂ ලක්‍ෂණයක් ලෙස දැකගත හැකි වූයේ පසුගිය ඉන්දීය සංචාරයේදී කණ්ඩායමෙන් පවා ඉවත් කර සිටි කුසල් මෙන්ඩිස් පිතිකරුවකු පමණක් නොව ආරම්භක පිතිකරු ලෙසද සාර්ථක වූ ආකාරයයි. කෙසේ වෙතත් තරගාවලිය අවසන් කරමින් පැවැති විස්සයි-20 තරගාවලියේදී කුසල් මෙන්ඩිස් එම තරගාවලියේ වීරයා වන්නටද සමත් වූ අතර පසුව පැවැති මාධ්‍ය හමුවට නායක චන්දිමාල් සමඟ සහභාගි විය.

බංග්ලාදේශයේදී පැවැති ටෙස්ට් තරගාවලිය, තුන්කොන් එක්දින තරගාවලිය මෙන්ම විස්සයි-20 තරගාවලියද ජයගැනීමට ශ්‍රීලංකාව සමත් වූයේ කණ්ඩායමේ සියලු දෙනා මේ වනවිට පවුලක් ලෙස එකට බැඳී ඇති බැවින් බව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසයි.

"පසුගිය වකවානුවේදී අපි අමාරු කාලයක් ගෙව්වා කියලා දන්නවා. අපි දැන් ක්‍රීඩා කරන්නේ කණ්ඩායමක් ලෙස නොවෙයි. එක පවුලක සාමාජිකයන් වගෙයි. හොඳ ජේ‍යෂ්ඨයන් හා නවකයන් පිරිසක් දැන් කණ්ඩායම තුළ ඉන්නවා. ඒක තමයි සාර්ථක වීමට ප්‍රධානම හේතුව" යැයි සඳහන් කළ ශ්‍රී ලංකා නායකයා කුසල් මෙන්ඩිස් ගැන විශේෂ සඳහනක්ද කළේය.

"මෙම තරගාවලියට පෙර කුසල් සීමිත තරග සංඛ්‍යාවකට විතරයි ආරම්භක පිතිකරුවකු ලෙස සහභාගි වුණේ. මේ සම්බන්ධයෙන් අපි ඔහු සමඟ කතා කළා. අනිත් එක වමත් හා දකුණත් පිතිකරු සුසංයෝගයක් අපට අවශ්‍ය වුණු නිසයි කුසල් ආරම්භක පිතිකරුවකු විදියට යොදාගත්තේ. ඒක ඉතාමත් සාර්ථක වුණා වගේම කණ්ඩායමටත් එයින් යහපතක් වුණා" යැයිද ශ්‍රී ලංකා නායකයා සඳහන් කර තිබිණි.

මේ අතර බංග්ලාදේශය සමඟින් පසුගියදා අවසන් වූ දෙවැනි විස්සයි-20 තරගයෙන් පසු මාධ්‍යට අදහස් දැක්වූ කුසල් මෙන්ඩිස් පවසා සිටියේ පුහුණුකරු හා නායකයා තමාට කණ්ඩායම තුළ නිදහසේ කටයුතු කිරීමට ඉඩ ප්‍රස්තා ලබා දුන් හෙයින් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් තමන්ට පූර්ණ සහයෝගය ලබා දීමට හැකි වූ බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon