පුෂ්පකුමාරට හා නිලානිට නිලධාරීන් හරස් වෙයි

  👤  3976 readers have read this article !
By mawbima 2018-02-20

විචිත්‍ර වීරසිංහ

44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලට අදාළව නුවරඑළියේ පෙරේදා (18දා) අවසන් වූ රට හරහා දිවීමේ තරගාවලියේදී වි:33:22.44ක කාලයක් සටහන් කළ සමන්ත පුෂ්පකුමාර පිරිමි අංශයේ පළමු තැනත්, වි:39:33.29ක කාලයක් සටහන් කළ නිලානි රත්නායක කාන්තා පළමු ස්ථානයත් හිමිකරගත්තද තරගාවලියේ නිල ප්‍රතිඵල ලේඛනයට ඔවුන් ඇතුළත් නොකිරීම හේතුවෙන් දෙදෙනාටම රන් පදක්කම් අහිමි කිරීමට අදාළ බලධාරීන් තීරණය කර තිබිණි.

නුවරඑළිය ගොල්ෆ් පිටියේදී පැවැති මෙම තරගාවලියේදී ජයග්‍රහණය කළ දෙදෙනාට (පුෂ්පකුමාර හා නිලානි) තරගාවලියේ රන් පදක්කම් අහිමි වුවද ඔවුන් දෙදෙනාට ලබන මස 15 වැනිදා චීනයේදී හා එම මාසයේම 26 වැනිදා භූතානයේ පැවැත්වෙන දකුණු ආසියානු ආසියානු රට හරහා දිවීමේ තරගාවලියට වරම් හිමිව තිබේ.
ආසියානු ක්‍රීඩා උළෙලට පෙරහුරුවක් ලෙස පසුගියදා ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරදී පැවැති මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් දිනාගත් මොවුන් දෙදෙනා සිකුරාදා මධ්‍යම රාත්‍රියේදී යළි දිවයිනට පැමිණෙන විට මෙම තරගාවලියේ ලියාපදිංචිය අවසන් වී තිබීම මෙම ගැටලුවට පාදක වී තිබිණි.

ඔවුන් දෙදෙනා මෙම තරගාවලියට පෙර දින (17දා) ලියාපදිංචි වීමට උත්සාහ ගත්තද එය අසාර්ථක වූයේ එම තරගාවලියට පැමිණ සිටි පළාත් ක්‍රීඩා නිලධාරීන්ගෙන් එයට දැඩි විරෝධතාවක් එල්ල වූ බැවින් බවද පැවැසේ. ඒ අනුව තෝරාගැනීමේ තරගයක් ලෙස සලකා පුෂ්පකුමාරට හා නිලානිට තරගය සඳහා ඉඩ ලබා දුන්නද එම පළාත් ක්‍රීඩා නිලධාරීන්ගේ තීරණය පරිදි පුෂ්පකුමාරගේ හා නිලානිගේ ස්ථාන නිල ප්‍රතිඵල ලේඛනයට ඇතුළත් කර නොගැනීමට තීරණය ඇත.
ඒ අනුව පිරිමි අංශයේ රන් පදක්කම වි:33:24.74ක කාලයක් වැය කළ මධ්‍යම පළාතේ එස්. චන්ද්‍රදාසන්ටත්, රිදී හා ලෝකඩ පදක්කම් පිළිවෙළින් මධ්‍යම පළාතේ ලයනල් සමරජීවට (වි:33:31.20) හා උෟව පළාත නියෝජනය කළ එරන්ද තෙන්නකෝන්ටත් (වි:33.33.41) හිමිවිය.


කාන්තා තරගයේ රන් පදක්කම වි:39:48.94ක කාලයක් සටහන් කළ නැඟෙනහිර පළාතේ මධුෂානි නන්දසේනටත් රිදී හා ලෝකඩ පදක්කම් පිළිවෙළින් වි:40:11.32ක කාලයක් සටහන් කළ උෟව පළාතේ අනුෂා ළමාහේවගේට හා වි:40:19.31ක කාලයක් සටහන් කළ මධ්‍යම පළාතේ ලක්මිණී අනුරාධිටත් හිමිව තිබිණි.
කෙසේ වුවත් තරගාවලියේ ජයග්‍රහණය කළ පුෂ්පකුමාර හා නිලානිට අමතරව පිරිමි හා කාන්තා දෙඅංශයේම රන්, රිදී හා ලෝකඩ පදක්කම් දිනාගත් තිදෙනා මාර්තු මස 26 වැනිදා භූතානයේදී පැවැත්වෙන දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලියට සුදුසුකම් ලබා තිබීමද විශේෂත්වයකි.

කෙසේ නමුත් මෙම තරගාවලියේ පිරිමි කණ්ඩායම් ශූරතාව මධ්‍යම පළාටත්, අනු ශූරතාව උෟව පළාතට හා තෙවැනි ස්ථානය උතුරු මැද පළාතට හිමිවෙද්දී කාන්තා කණ්ඩායම් ශූරතාව මධ්‍යම පළාටත්, අනු ශූරතාව තෙවැනි ස්ථානය පිළිවෙළින් බස්නාහිර හා උෟව පළාත්වලට හිමි විය.
ඡායාරූප _ තිළිණ ප්‍රනාන්දු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon