ජනපතියි අපියි තීන්දුවක් ගත්තා

  👤  4433 readers have read this article !
By mawbima 2018-02-20

හර්ෂනී අර්සකුලරත්න,
සිදත් මෙන්ඩිස්

"ඉදිරියේදී ගන්නා තීන්දුවේදී ජනාධිපති හා අපි කණ්ඩායමක් ලෙස නොසෙල්වී ඉන්නවා. කරන්න බලාපොරොත්තු වන සියල්ල සිදු වෙනවා" යි තනි ආණ්ඩුවක් පිහිටුවීමට කෙරෙන දේශපාලන සාකච්ඡා සම්බන්ධයෙන් සමාජ සවිබල ගැන්වීමේ ඇමැති එස්.බී. දිසානායක මහතා ඉඟියක් කරයි.

මේ කාරණය නීත්‍යනුකූලව, ව්‍යවස්ථානුකූලව නිවැරැදිව කළ යුතු නිසා ඒ සඳහා වන උපදෙස් අදාළ නීති විශාරදයන්ගෙන්, නීතිපතිතුමාගෙන්, නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලැබී තිබේ. ඒ අනුව දැන් වැඩ කරගෙන යනවායි, සිදුවන්නට යනවායි කියන වෙනස ගැන ඇමැතිවරයා ජනතාවට අනියමින් සහතිකයක්ද දෙයි.
දිසානායක ඇමැතිවරයා මේ සඳහන කළේ ඊයේ (19දා) පෙරවරුවේ ජනාධිපතිවරයා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට කරුණු දක්වමිනි.

ඇමැතිවරයා මාධ්‍යට මෙසේද කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය හැටියට අපි ගත් තීන්දු තීරණ ගැන කතා කළා.
පළමුවැනියටම කියන්න කැමැතියි අපි ශ්‍රී ලනිප සන්ධානයේ කට්ටිය නොසෙල්වී දිගටම එකට ඉන්නවා. කිසිම කෙනෙක් එහාට මෙහාට පැනලා ලැයිස්තුවලට එකතු වෙන්නේ නැහැ.

දෙවැනි එක ආණ්ඩුව තුළ ප්‍රබල වෙනසක් කරන්න තීරණය කළා. ඒ පිළිබඳව අදාළ අයගෙන් ඉල්ලීම් කළා. ඒ පිළිබඳව අදාළ අයගේ ප්‍රතිචාර හොඳ නෑ.
නමුත් ඒ වෙනස්කම් කරන තීරණයේ එලෙසම ඉන්නවා. ඒකට අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඒක නීත්‍යනුකූලව කරන්න අවශ්‍ය ශක්තිය ශ්‍රී ලනිපයට, සන්ධානයට දෙන්න පාර්ලිමේන්තු සගයන් සහාය පළ කරලා තියෙනවා.
ඒ තීන්දුව එලෙසම ක්‍රියාත්මක කරගෙන යනවා. සන්ධාන අගමැතිවරයකු පත්කිරීම එක විකල්පයක් පමණයි. ඒ විකල්පය එහෙම්මම තියෙනවා. ඒකට අපට ශක්තිය තියෙනවා. ඒ අපේ දෙවැනි විකල්පය.

අපට බලය පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නෑ. අපට ශක්තිය හොඳටම තියෙනවා. රටේ සාමය, සමඟිය, සංහිඳියාව ආරක්ෂා වන විදියට අපි අරමුණු කරා යනවා.
ජනාධිපති හා අපි කතා කළ අරමුණු ගැන ජනාධිපති අදාළ අයට කතා කරලා ඒ අයගේ එකඟත්වයක් නැත්නම්, පක්ෂවලට එකඟ කරගන්න අමාරු නම් අපි අදාළ කටයුතු කරනවා.

අපි ගන්නා තීන්දුවේදී ජනාධිපති හා අපි නොසෙල්වී ඉන්නවා. කණ්ඩායමක් ලෙස අපි නොසෙල්වී ඉන්නවා. කරන්න බලාපොරොත්තු වුණු සියල්ල සිදු වෙනවා.
මේ කාරණය නීත්‍යනුකූලව, ව්‍යවස්ථානුකූලව නිවැරැදි කළ යුතු නිසා ඒ සඳහා වන උපදෙස් අදාළ නීති විශාරදයන්ගෙන්, නීතිපතිතුමාගෙන්, නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලැබී තිබෙනවා. ඒ අනුව දැන් වැඩ කරගෙන යනවා.

අපිට ශක්තිය හා විශ්වාසය හොඳින් තියෙනවා. අපි ජනාධිපතිතුමා සමඟ එකටම ඉන්නවා.
නීතිපති ලබාදුන් උපදෙස්වලට අදාළ කාරණා කිව නොහැකියි. කිව හැක්කේ ගත් ස්ථාවරයේ දිගටම ඉන්නවා කියලයි.
මේ අතර එම සාකච්ඡාවට සහභාගි වූ ශ්‍රී ලනිප ජේ‍යෂ්ඨ ඇමැතිවරයකු කීවේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉවත් කරන ලෙසට තමන් ගෙන යන අරගලය නතර නොකරන බව ජනාධිපතිවරයාට ප්‍රකාශ කළ බවයි.
අදාළ ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට හැකියාවක් නොමැති වුවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළදී අවසන් තීරණයක් ගන්නා බව මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බවද එම ජේ‍යෂ්ඨ අමාත්‍යවරයා "මව්බිම"ට පැවැසීය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon