විහාරාධිපති හිමිනමක් සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාසයක

  👤  3911 readers have read this article !
By mawbima 2018-02-21

වැල්ලවාය - ජී. අයි. රොෂාන්, බුත්තල - නයන කුමාර

තම ආරණ්‍ය සේනාසනය ආසන්නයට කසළ ගෙනැවිත් දැමීමට විරෝධය පළ කරමින් විහාරාධිපති හිමිනමක් විසින් පෙරේදා (19දා) සවස සිට සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර තිබේ.
සියඹලාණ්ඩුව කරඹගොඩෂල්නා ලෙන ආරාමයේ රජවැල්ලේ ධම්මසිරි හිමි මෙලෙස උපවාසයක් ආරම්භ කර තිබේ. එය දෙවැනි දිනටත් ඊයේ (20දා) ක්‍රියාත්මක විය.
උන්වහන්සේ මේ විරෝධතාව ආරම්භ කර ඇත්තේ සියඹලාණ්ඩුවේ වෙනත් ස්ථානවල කසළද මේ ස්ථානයට ගෙනැවිත් දැමීම සිදු කිරීමෙන් බරපතළ පරිසර විනාශයක් සිදුවනු ඇති බවට අදහස් පළ කරමිනි.

මේ සම්බන්ධයෙන් අප මහකලුගොල්ල පොලිස් ස්ථානයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයකු පවසා සිටියේ දැනට රැගෙන එන කසළ සියල්ල වළ දැමීම සිදුකරන බවත් විකල්ප ස්ථානයක් යෝජනා වී ඇති බවත් මේ සිදුවන හානිය වළක්වා ගැනීමට මෙසේ විරෝධතාවක් ආරම්භ කර ඇති බවත්ය.

මේ භික්ෂුන් වහන්සේ කියා සිටිනුයේ මේ කසළ බැහැර නොකරන බවට ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ලිඛිත පොරොන්දුවක් දෙන තෙක් උපවාසය නතර නොකරන බවයි.
කෙසේ වෙතත් පෙරේදා (19දා) රාත්‍රියේ සියඹලාණ්ඩුව සහකාර ප්‍රාදේශීය ලේකම් එම්.කේ. සමන්ත මහතා පවසන්නේ නැවත ප්‍රාදේශීය සභාව පිහිටුවන තෙක් මේ ස්ථානයේ කුණු දැමීම නතර කරන බවට ලිඛිතව ලබා දුන් ලියවිල්ල පිළිගැනීම උපවාසයේ නියුතු හිමි ප්‍රතික්ෂේප කළ බවයි.

ගම්වාසීන් කිහිපදෙනකු පැවැසුවේ අද දවස ඇතුළත මේ සඳහා ප්‍රාදේශීය ලේකම්වරයා නිසි ක්‍රියාමාර්ගයක් නොගතහොත් ප්‍රදේශවාසීන්ද මේ උපවාසයට එක් වෙන බවයි. මේ ස්ථානයේ කුණු දැමීම සිදු කර ඇත්තේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ අනුමතයකින් කියති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon