නව නිපැයුම් රැසක් එළි දැක්වූ ගාමිණි ‍ෙදාලොස්වලගෙන් යාන්ත්‍රික උදැල්ලක්

  👤  3881 readers have read this article !
By mawbima 2018-02-21

වැල්ලවාය - ජී.අයි. රොෂාන්

යාන්ත්‍රික උදැල්ලක් නිර්මාණය කළ නව නිර්මාණකරුවකු අපිට හමුවූයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තෙලුල්ල ජනපදයේදීය. ඔහු අයි.ඒ. ගාමිණී ‍ෙදාලොස්වලය.

ගතවන සෑම මොහොතකම නව නිර්මාණයක් තනන්නට වෙනස් විදියේ දෙයක් අත්හදා බලන්නට උත්සාහ දැරූ මොහු කුඩා කල සිටම විවිධ නිර්මාණ කිරීමට උනන්දුවක් දැක්වූ අයෙකි. තම මිතුරන් වෙල්යායේ සරුංගල් යවන විට මොහු උත්සාහ කළේ හෙලිකොප්ටරයක් නිර්මාණය කර ගුවන්ගත කිරීමටය.
ඒ ආකාරයේ විවිධ නිර්මාණයන් අත්හදා බලමින් සිටි ඔහු වැල්ලවායට පැමිණි පසු වරෙක ත්‍රිරෝද රථයේ එන්ජිමකට සිදුකළ වෙනස් කිරීමකින් පසු එය වැල්ලවායේ සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 233ක දුරක් ධාවනය කර තිබුණේ භූමිතෙල් ලීටර් හයක් පමණක් වැය කරමිනි.

අපූරු අත්හදාබැලීම් රැසක් පිරි ඔහුගේ මේ නිර්මාණ ගොන්න අතරට අලුතින්ම එක්ව තිබුණේ යාන්ත්‍රික උදැල්ලකි. එය වල්කපන මැෂිමකින් නිර්මාණය කර තිබූ අතර අනෙක් නිර්මාණය කුඩා මෝටරයකින් ධාවනය කරවන උදලු තල දෙකක් යෙදූ යාන්ත්‍රික නිර්මාණයකි.
මේ අපූරු නිර්මාණකරුවා "මව්බිම"ට අදහස් දක්වමින් මෙසේ කීය.

අපේ උපන්ගම නිවිතිගල ගාල්ලගෙ මණ්ඩිය. පුංචිකාලේ ඉඳලම මට විවිධ දේවල් අත්හදා බලන්න ආසාවක් තිබුණා. ඒක නිසා මම පහේ හයේ පන්තිවල සිටම විවිධ නිර්මාණ කළා. පස්සේ පතල් රස්සාව කළා. රසකැවිලි නිෂ්පාදනය කළා. බේකරි රස්සාව කළා. විවිධ රැකියා කළා. නමුත් අවසානයේ යාන්ත්‍රික වැඩ කරන්න පටන් ගත්තා. ඒකත් අලුත් විදිහට කරන්න උත්සාහ කළා. අලුත් අත්හදාබැලීම් නිර්මාණ රැසක් කරන්න මට හැකිවුණා. මට ඕන විදියට යන්ත්‍ර හැදුවා. ඒ අනුව මම යාන්ත්‍රික උදැල්ලක් හැදුවා. ඒක මදි කියලා හිතුණ නිසා කුඩා මැෂිමක් සකස් කරලා තල දෙකක් සවිකරලා වෙනස් එකක් හැදුවා. මේක වැඩිදියුණු කළොත් ටැක්ටරයක නඟුල් වෙනුවට උදලු තල සවිකර විශාල කාර්යයක් සිදුකරගැනීමට හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි මම තවත් නිර්මාණ රැසක් අත්හදා බලමින් තියෙනවා. කුරුල්ලන් එළවන්න ටකය වෙනුවට විසිල් එකක්, ඉන්ධන භාවිතයෙන් තොරව ධාවනය වන එන්ජිමක්, තත්පර කිහිපයකින් සම්පූර්ණයෙන්ම සුවවන හිසේ කැක්කුමට ඔෟෂධයක් ආදී නිර්මාණ රැසක් තියෙනවා. මේ මොන දේ කරන්නත් මුදල් අවශ්‍යයි. ආර්ථික ශක්තියක් නොමැති තැන ඒ නිර්මාණ එළියට එන්නේ නෑ. අපිත් ඒ හැටි සල්ලි තියෙන අය නෙවෙයි. අමතර විශාල මුදලක් මේ සඳහා වැයවෙනවා. මම ඉල්ලන්නේ මේ වැඩ කරන්න ආධාරයක් මිස ණයක් නෙවෙයි. මේ නිර්මාණ කරන්න මගේ පුතා තුසිත ජයනාත් මට නිරන්තරයෙන්ම උදවු කරනවා. අපේ මේ නව නිපැයුමට පේටන්ට් බලපත්‍රය ලබාගන්නත් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අවශ්‍ය සහාය මඟපෙන්වීම ලැබේවි යැයි මම විශ්වාස කරනවා.

දිස්ත්‍රික්කයෙන් බිහිවූ අපූරු නිර්මාණකරුවකු වූ ගාමිණී මහතාගේ මේ සොයාගැනීම් සම්බන්ධයෙන් අප මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඩී.එස්. පද්මකුලසූරිය මහත්මියගෙන්ද විමසීමක් කළේ ඔහුට උදවු කරන්නට හැකියාවක් ඇතිදැයි දැනගැනීමේ අරමුණින්.

ඇය අදහස් දක්වමින් මෙසේ කියා සිටියාය.
මමත් ඒ නිර්මාණය බලන්න ගියා. සැබවින්ම එය අගය කළ යුතු නිර්මාණයක්. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඔහුට උදවු කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඒ වගේම මේ සම්බන්ධයෙන් මම බැංකු කිහිපයකටත් වෙනත් ආයතන කිහිපයකටත් කතා කළා . ඔවුන්ගෙන් ඉහළ ප්‍රතිචාර ලැබී තිබෙනවා. අප මැදිහත් වී ඔහුගේ නිර්මාණය වැඩිදියුණු කිරීම සඳහා ආධාර උපකාර කිරීමට කටයුතු සූදානම් කරමින් තිබෙනවා. එවැනි නිර්මාණකරුවන් දිස්ත්‍රික්කයට සම්පතක්. නිරන්තරයෙන් අපි එවැනි නව නිපැයුම්කරුවන් අගය කරන්නත් දිරිගන්වන්නත් කටයුතු කරනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon