මුහුණ සමඟ තරහ වී නහය කපාගත් ඡන්ද දායක ජනතාව ඉල්ලා අස්විය යුතුයි

  👤  4148 readers have read this article !
By mawbima 2018-02-21

පළාත් පාලන මැතිවරණය අවසන් විය. පොදුජන පෙරමුණ නමින් මෑතදී පිහිටුවා ගත් ජී.ඇල්. පීරිස්ගේ සභාපතිත්වයෙන් යුත් පක්ෂයට පළාත් පාලන ආයතන 231ක පමණ බලය ලැබිණි. මෙය අනවශ්‍ය ප්‍රමාණයට උඩ දමන්නටත් අවශ්‍ය ප්‍රමාණයට වඩා අවතක්සේරු කරන්නටත් අප සූදානම් නැත.
පළමුව කිවයුතු වන්නේ 'පොදුජන පෙරමුණ' යනු අන් පක්ෂයක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 'මහින්ද පාර්ශ්වය' බවය. පක්ෂ දේශපාලනයේ මනා පරිචයක් තිබෙන මහින්ද පාර්ශ්වයේ උදවිය 2015 ජනවාරි 9 සිට කල් බලමින් පසුවූයේ මෙබඳු වික්‍රමයක් කරන්නටය. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන්ට හිතැති කොටස් කඩා වෙන්කර ගැනීම සඳහා පොදුජන පෙරමුණ පිහිටු විණි.

මෛත්‍රි හා එක්ව සිටි ශ්‍රී ල.නි.ප යේ පිරිස රැඳී සිටියේ වරදාන වරප්‍රසාද හේතුවෙනි. අනෙක් අතට ඔවූහු සියල්ලන්ම පාහේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ අය වූහ. එබැවින් තම පාක්ෂිකයන් සංවිධාන ගත කොට මැතිවරණයකට මුහුණදීමේ හැකියාවක් ඔවුන් වෙත නොවූ බව ශ්‍රී ලනිප නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට හරිහැටි තේරුම් නොයෑම වටහාගත නොහැකිය.

දිරච්ච ලණු
අනෙක් කාරණය වන්නේ මැතිවරණ සමය තුළ පැවැති වාතාවරණයයි. එහිදී සම්මුතිවාදී ආණ්ඩුවේ සියලු නීති රීති කඩා බිඳ දමමින් එජාප - ශ්‍රී ලනිප පාර්ශ්ව දෙක එකිනෙකා වෙත බරපතළ චෝදනා එල්ල කර ගනිමින් වෙන වෙනම මැතිවරණ වාසි ගන්නට උත්සුක වූහ. පෙරට ගත යුතු බොහෝ දේ තිබියදී බැඳුම්කර වාර්තාව පමණක් එළියට දමා පුහු ඝෝෂා කර එජාප හොරුන් මට්ටු කළ හැකි යැයි කවුරුන් හෝ උපදේශකයෙක් ජනාධිපතිවරයාට දිරච්ච ලණුවක් දුන්නා වන්නටත් පුළුවන. එබන්දක් නොවන්නටත් පුළුවන.

ජනතාව අතර ආන්දෝලනයට තුඩුදුන් කරුණු කාරණා කොතෙකුත් තිබියදී ඒවා කෙරෙහි කිසි සැලකිල්ලක් නොදක්වා බැඳුම්කරය පසුපස එළවීම තමන්ගේ රංචුවට කළ ප්‍රහාරයක් ලෙස එජාපය කල්පනා කිරීම කොහෙත්ම පුදුමයක් නොවේ. මෙය හොඳ හැටි වටහාගත හැක්කේ රවි කරුණානායක මන්ත්‍රිවරයා බැඳුම්කරය අරබයා දිගින් දිගටම කළ ප්‍රකාශ විශ්ලේෂණය කිරීමෙනි.

විස්මිත හොරකම
අප මෙයින් උත්සාහ කරන්නේ බැඳුම්කරය වැනි මහ දවල් කළ විස්මිත හොරකම්වලට පිටුපා යා යුතුය කියන්නට නොවේ. හොරකම ගැන කතා කරන්න ගන්නේ අනවශ්‍ය වේලාවක බව කියන්නටය. එයින් වූයේ ජනාධිපතිවරයා එම පුටුවට ගෙන ආ ප්‍රධාන බලවේගයේ සියලු පිරිස් ජනාධිපතිවරයාට එරෙහිව ඒකරාශි වීමය. මෙතැනින් ඉදිරියට කවර පියවරක් තබන්නට ජනාධිපතිවරයා කල්පනා කළත් ඒ කිසිදු පියවරක් ඔහුට අවශ්‍ය පරිදි හසුරුවා ගත හැකිදැයි සැක සහිතය.

ආරම්භයේ සිටම ජනාධිපතිවරයා ස්වකීය පාක්ෂිකයන් එනම් ශ්‍රී .ල.නි. පාක්ෂිකයන් ඔහු වටා ගොනු කර ගැනීමට බලවත් උත්සාහයක් දැරීය. සැමට පෙර පක්ෂය' වැදගත් බව පවසමින් ඔහු ඒ වෙනුවෙන් වැර දැරූ නමුත් සිදුවූයේ ජනවාරි 8 ඔහුට කැමැත්ත ප්‍රකාශ කළ ඇතැම් සිවිල් සංවිධානද, වෙනත් ප්‍රගතිශීලී බලවේගද ඔහුගෙන් දුරස් වීමය. යම් යම් වරදාන, තනතුරු ලද සිවිල් සංවිධානවල නිලතල දරන්නන් කිහිප පොළක් ජනපති වටා ඒකරාශි වුවද ඒවා පොදු ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ සිවිල් සංවිධාන වූ බව එම ක්ෂේත්‍රයේ ප්‍රකටය. ඒවායෙහි ප්‍රමුඛ කාරණ වූයේ ව්‍යවස්ථාවට කර ගැසීම, තොරතුරු පනතට උර දීම, පොලිස් කොමිසම බලගැන්වීම ආදියයි. ඒවා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අත්‍යවශ්‍ය කාරණ බව සැබෑය. ඔන්න ගෙනාවා, මෙන්න ගෙනාවා තත්ත්වයෙන් පැවැති ව්‍යවස්ථාව කවදා කෙදිනක ගෙන එන්නට ලැබේදැයි දන්නා කිසිවකු යටත් සිවිල් සංවිධානවලින් වත් දැන් සොයාගත හැකිද? තොරතුරු පනත බලාත්මක වීමෙන් ලැබුණු කෙංගෙඩිය කවරේද? ඒ යටතේ එක්නැලිගොඩ ඝාතනයට අදාළ තොරතුරු යුද හමුදාවෙන්, ලසන්ත ඝාතනයට අදාළ තොරතුරු පොලිසියෙන් ලබාගත හැකිද? ඒවා රාජ්‍ය ආරක්ෂාවට අවශ්‍ය රහස් තොරතුරු බැවින් ලබාගත නොහැකිද? මේවා දත නොහැකි තොරතුරු පනතක් යනු කිසිවෙක් කැපිය නොහැකි ජනපතිගේ කඩුවට සමාන කළ හැකි නොවන්නේද?

දූෂණයට දඬුවම් දෙන්නට තමාට බලතල දෙන්නැයි ජනාධිපතිවරයා අගමැතිගෙන් ඉල්ලා සිටියේ මැතිවරණ වේදිකාවලදීය. විධායක බලතලවලට වැඩි බලතල කුමක්දැයි මෙරට කිසිවකු නොදන්නා බව ස්ථීරය.

අච්චරට මෙච්චර
කෙසේ වෙතත් ඒ කිසිවක්ම දැන් නොලැබේ. හේතුව සම්මුතිවාදීන් බෙලහීනව සිටීමය. අච්චරට මෙච්චර නම් මෙච්චරට අච්චරක් වේදැයි බලයේ සිටින අය දැනගත යුතුමය. එසේ නොදැන සිටීමේ විපාකය ඔවුන්ම විඳවූවා වේ. එනමුත් ජනතාව විඳවිය යුතු නැත.

පොදුජන පෙරමුණේ ඒකරාශී වී සිටින සියල්ලන් සිතා සිටින්නේ දැන් 'මල්ල කරේ' බවය. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව ඔවුන් හඬ නඟමින් කියා සිටින්නේ දැන් ඉතින් අගමැති ධුරයෙන් රනිල් ප්‍රථමයෙන් අස්විය යුතු බවය. ආණ්ඩුව ගෙදර යා යුතු බවය. බලයේ සිටින ආණ්ඩුවක් පළාත් පාලන ඡන්දයක් පැරදුණේ ප්‍රථම වතාවට විය හැකි නමුත් එම නිසා ආණ්ඩුව ගෙදර යා යුතුයැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කවර වගන්තියකවත් ලියැවී ඇතිදැයි අප දැනගත යුත්තේ ජී.ඇල්. පීරිස් ගෙන්ද? අනෙක් අතට බලය තිබියදී ආණ්ඩුව පරාජය වූයේ මැතිවරණයට රාජ්‍ය බලය නොයොදා අපක්ෂපාතීව පැවැත්වීම හේතුවෙන් යැයිද, එය යහපාලනයේ පලයකැයිද තර්කයක් ගොඩනැඟීමට අවකාශ තිබේ.

එකම කාසියේ දෙපැත්ත
කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව පරාජය වෙන්නට හේතු වූ කාරණ බෙහෙවි. සමස්තයක් ලෙස ජනතාවට බලපාන කරුණු කාරණා පිළිබඳව නොසලකා ක්‍රියා කිරීම ප්‍රධානය. පාසල් නිල ඇඳුම් වවුචරයේ සිට ගොවියාට දෙන පොහොර සහනාධාරය දක්වාද, හාල් පොල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පිම්මේ ඉහළ යෑමද, සයිටම්, පෝර්ට් සිටි, උමා ඔය ආදී අර්බුදවලට නිසි විසඳුම් නොදීමද, ජනවාරි 8 පොරොන්දු ඉටු නොකිරීමද, එක්නැලිගොඩ, තාජුඩීන්, ලසන්ත, රොෂේන් ශානක ආදීන්ට යුක්තිය ඉටු නොවීමද ආදී බොහෝ දීර්ඝ ලැයිස්තුවක් දක්වන්නට පුළුවන.

එකම කාසියේ දෙපැත්තේම තිබෙන්නේ එකම වටිනාකමකි. එය නොදන්නා ජනතාවකට දේශපාලනය කියා දීම නිරර්ථක ක්‍රියාවකි. ඔවුන් කරන්නේ මුහුණ හා තරහ වී නහය කපා ගැනීම වැනි තිරශ්චීන ක්‍රියාවන්ය. ජර්මනියේ විසූ බර්ටෝල්ට් බේ‍රෂ්ට් වරක් ප්‍රකාශ කළේ "අප විසින් කළ යුත්තේ මේ ජනතාව ඉවත් කොට වෙනත් ජනතාවක් පත් කර ගැනීමය" යනුවෙනි. ඔහු ඒ ප්‍රකාශය කළේ ශ්‍රී ලංකාවේ ඡන්ද දායක ජනතාව වෙනුවෙන් යැයි සිතුවද වරදක් නොපෙනේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon