අනතුරින් මියගිය දෙදෙනාම පැමිණ ඇත්තේ නිවෙස්වලට බොරු කියා බව හෙළි වෙයි

  👤  4461 readers have read this article !
By mawbima 2018-02-21

හාවාඑළිය -
චන්ද්‍රසිරි මහගම

පසුගිය 18දා සවස නුවරඑළිය - හැටන් මාර්ගයේ ලිඳුල, බෙයාවේල් ප්‍රදේශයේදී මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන කොත්මලා ඔයට පෙරැළීමෙන් මියගිය දෙදෙනාම සිය නිවෙස්වලට බොරු කියා පැමිණ තිබෙන බව ඊයේ (20දා) නුවරඑළිය මහ රෝහලේ රෝහල් පොලිසිය තුළ පැවැති සාක්ෂි විභාගයේදී අනාවරණය විය.
එම අනතුරින් මියගොස් සිටි දෙදෙනාම ගම්පහ සමුපකාර සමිතියේ මුදුන්ගොඩ කාර්යාලයේ සේවය කළ අයවලුන්ය. එහි ක්‍ෂේත්‍ර නිලධාරියකු ලෙස සේවය කළ යක්කල, කිරිඳිවැල පාරේ පදිංචිව සිටි වසන්ත රජිත්චන්ද්‍ර වනසිංහ (34) යන අය වයස අවුරුදු 7ක සහ 5ක දරුවන් දෙදෙනකු සිටින පියෙකි.

ඔහුගේ බිරිය වන සුරේඛා රුවනි රත්නායක මහත්මිය සාක්ෂි විභාගයේදී පවසා සිටියේ තම සැමියා කුරුණෑගල ප්‍රදේශයට යන බව පවසා ඉරිදා උදෑසන 4ට පමණ නිවෙසින් පිටව ගිය බවයි. එදින සවස තමාට ලැබුණු පණිවුඩයකට අනුව රූපවාහිනි ප්‍රවෘත්ති බලන විට මෝටර් රථ අනතුරින් තම සැමියා වැනි කෙනෙක් ඔසවාගෙන යනු දුටු බවකි. ඉන් පසු දැන ගත් තොරතුරුවලට අනුව ලිඳුල රෝහලට ගොස් තම සැමියාගේ සිරුර හඳුනාගත් බවය.
එසේම දැනට මාස දෙකක පමණ කාලයක සිට තම සැමියාගේ හැසිරීමේ යම් වෙනසක් දැනුණු බවත් ඒ ගැන ඇති වූ සැකයක් මත එය සැමියාගේ අයියාට කියූ බවද ඇය පැවැසුවාය.

මියගිය තරුණිය වන ගම්පහ, නැඳුන්ගමුවේ පදිංචිව සිටි හලාවතගේ පියුමිශාන් ප්‍රසාදි පෙරේරා (24) ගේ පියා වන හලාවතගේ සමන් ප්‍රසන්න පෙරේරා (55) මහතා සාක්ෂි විභාගයේදී පැවැසුවේ දියණියගේ කාර්යාලයේ වැඩ කරන අයකුගේ ඥාතියකුගේ මළ ගෙදරකට සහභාගි වීමට කාර්යාලයේ අය යන බැවින් තමාද ඒ අය සමඟ යන බව පවසා ඇයගේ මෝටර් රථය රැගෙන පාන්දර 4ට පමණ නිවෙසින් පිටව ගිය බවයි.

නුවරඑළිය වැඩබලන මහෙස්ත්‍රාත් විජේවික්‍රම මහතාගේ නියෝගයකට අනුව මිය යෑමට හේතු අධිකරණයට වාර්තා කිරීම සඳහා මෙම මරණ පරීක්ෂණය ඊයේ (20දා) නුවරඑළිය මහ රෝහලේ මෘත ශරීරාගාරයේදී සිදු කෙරිණි. එහිදී නුවරඑළිය මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය මුදිත කුඩාගම මහතා විසින් මෙය දියේ ගිලීම නිසා හුස්ම හිරවීමෙන් සිදු වූ මරණ දෙකක් බවට නිගමනය කොට තිබිණි.

ලිඳුල පොලිසියේ රථවාහන අංශයේ සැරයන් ශිවරාජ් (36698) සහ පොලිස් කොස්තාපල් රාජපක්ෂ (77573) යන මහත්වරු සාක්ෂි මෙහෙයවූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon