පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩුවට අවාසි වුණත් රටට වාසිදායක එකම විකල්පය එයයි

  👤  3963 readers have read this article !
By mawbima 2018-02-21

අද මෙරට නායකයන් බලලෝභී ලෙස තනතුරු අල්ලාගෙන සිටින බවත් තනතුරුවල ස්ථාවර වීමට පුද්ගලයන් දරන උත්සාහයෙන් ආණ්ඩුවත් රටත් අස්ථාවර වී ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසයි.
මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ ඊයේ (20දා) පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
මන්ත්‍රිවරයා එහිදී මෙසේද පැවැසීය.

'මීට පෙර බි්‍රතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සිය ධුරයෙන් ඉවත් වුණෙත් තමන්ට එරෙහිව ඡන්ද 54%ක් තියාගෙන. අද අපේ රටේ ජනාධිපතිවරයාගේ පක්ෂය ජනතාවගෙන් 87%ක්ම ප්‍රතික්ෂේප කරලා ඉවරයි. අගමැතිගේ පක්ෂයත් අගමැතිවත් ජනතාවගෙන් 68% දෙනෙක්

ප්‍රතික්ෂේප කරලා. එහෙම
ප්‍රතික්ෂේප වෙලත් ඉතාම මුරණ්ඩු විදියට, බලලෝභී විදියට ඔවුන් මේ තනතුරු අල්ලගෙන සිටිනවා. මේකට තියෙන එකම විසඳුම අගමැති ඉවත් වීමයි. ඉන් ප්‍රශස්තම විසඳුම වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් කරා යෑමයි.
නමුත් මේ පාර්ලිමේන්තු මැතිවරණයකට යෑම ප්‍රායෝගික නෑ. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 150ක් ඒ සඳහා එකඟ විය යුතු නිසා. අපේ 52 නම් හරිම කැමැතියි ඡන්දයකට යන්න. හැබැයි පසුගිය ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලනිපය හා එජාපය ලැබූ බරපතළ පරාජයත් දෙමළ ජාතික සන්ධානය උතුරේදී ලැබූ පරාජයත් එක්ක ඔවුන් මේ සඳහා එන්නෙ නෑ.

මේ රටේ මාධ්‍ය දකුණේ පරාජය ගැන කතා කළා මිසක් විපක්ෂ නායකවරයා උතුරේ ලැබූ පරාජය ගැන කතා කළේ නැහැ. විශේෂයෙන් ඊපීඩීපී පක්ෂය, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය දැවැන්ත ජයග්‍රහණයක් උතුරේ ලබාගෙන තිබෙනවා. අද දෙමළ ජාතික සන්ධානයට ඒ පක්ෂවල උදව්ව නැතිව කිසිම ආයතනයක බලය පිහිටුවාගන්න බැරි වෙලා තියෙනවා.

ඉතින් මොවුන් නැවත ඡන්දෙකට එන්නෙ නෑ. 150ක් අවශ්‍ය වුණත් ඇත්තටම ඉන්නේ 52ක් පමණයි. ඉතිරි 98 හොයාගන්න එක කළුනික හොයනවාටත් වඩා අමාරුයි. කෝඳුරු තෙල් හත් පට්ටය සොයනවාටත් වඩා අමාරුයි. ඒ නිසා අපි මේ ආණ්ඩුවට බල කරනවා තමන්ට කෙතරම් අවාසිදායක වුණත් රටට වාසිදායක විකල්පය වන පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියලා.

වත්මන් දේශපාලන අර්බුදය පිළිබඳ පසුගියදා (19දා) විවාදයේදී ආණ්ඩුව පත්කරගත් විපක්ෂ නායකයන් මොකද කළේ. ආණ්ඩුව රකින එකයි කළේ. විපක්ෂ නායකවරයා ඉල්ලා සිටිනවා ජනපතියි අගමැතියි එකතු වෙලා සමඟිව ආණ්ඩුව කරගෙන යන්න. නැතිනම් ඒක ජනවරමට පටහැනියි කියලා. සාමාන්‍යයෙන් විපක්ෂ නායකයාගේ ප්‍රමුඛතම අභිලාෂය විය යුත්තේ ආණ්ඩු පෙරළීම විනා ආණ්ඩුව රැකගෙන ඉදිරියට ගෙන යෑම නෙවෙයි. නමුත් මේ විපක්ෂ නායකවරයාගේ
අභිලාෂය කාටත් පේනවා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජවිපෙ නායකයා ඊට හපන්. ජනාධිපතියි අගමැතියි 2020 ජනපති සිහිනේ ඉන්න නිසා තමයිලු ගැටුම් ඇති වෙලා මෙහෙම ප්‍රතිඵලයක් ඇති වුණේ. දැන්වත් ඒ සිහින අත්හැරලා සමඟිව කටයුතු කරන්න කියලා ඔහු අවවාද අනුශාසනා කරනවා.
මේ දෙදෙනාගේම අරමුණ ආණ්ඩුව පැරැදීම නොව ආණ්ඩුව රැකගැනීම කියන එක ඊයේ හැන්සාඩ් වාර්තාව බැලුවොත් ඕන කෙනකුට පැහැදිලියි.

අපි වසර 3ක් නඟමින් තිබූ චෝදනාව මොවුන් අමුවටම සනාථ කර අවසන්. තවදුරටත් විපක්ෂයේ තනතුරු දරන දෙමළ ජාතික සංවිධානයටත්, ජවිපෙටවත් ඒවායේ තනතුරු දරන්න අයිතියක් නැහැ. ඒ නිසා ඒවායින් ඉවත් වී ආණ්ඩු
පෙරළන්න කතා කරන ඒකාබද්ධ
විපක්ෂය නැතිනම් ජනතාවගේ සැබෑ විපක්ෂයට එම තනතුරු භාර දිය යුතුයි කියලා අපි කතානායකවරයාට තරයේ කියා සිටිනවා.

පසුගිය පුංචි ඡන්දෙදී ජනතාව සනාථ කළා පාර්ලිමේන්තුවේ විශාලතම
විපක්ෂය ඒකාබද්ධ විපක්ෂය කියලා. මේක දෙකේ පන්තියේ ළමයකුට වුණත් තේරෙන දෙයක්. 16ටයි, 6ටයි වඩා 52 ලොකුයි කියන එක.
ඒ වගේම ජවිපෙ නායකතුමා කියනවා සෑම ආයතනයකටම ස්වාධීන මැතිවරණයක් තිබෙනවා. ඒවායේ බල හුවමාරු වෙන්නේ ඒ ආයතනයට අදාළ මැතිවරණයේදී පමණයි කියලා. පුංචි ඡන්දයෙන් අගමැති මාරු කරන්න බැරි නම් 2015 ජනවාරියේදී ජනාධිපතිවරණයෙන් ජනපති මාරු කිරීමෙන් නොනැවතී අගමැති ඇතුළු ඇමැති මණ්ඩලය මාරු කළේ කොහොමද කියා අපි අනුර කුමාර මැතිතුමාගෙන් ප්‍රශ්න කරනවා. එතුමාගේ ලොක්කා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අගමැතිකම් ලැබෙන විට වෙනත් ඡන්දයකින් අගමැති මාරු කිරීම හොඳයි. එතුමාගේ ලොක්කට අගමැතිකම අහිමි වෙන විට වෙනත් ඡන්දයකින් අගමැති මාරු කිරීම නරකයි. මේ වෙලාවේ කළයුතු දේ තමයි පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ජනතාවට වැඩ බැරි ආණ්ඩුවක් වෙනුවට වැඩ හැකි ආණ්ඩුවක් පත් කරගැනීමේ අවස්ථාව ලබා දීම. මහනායක හිමිවරු මේ ගැන ගැඹුරින් කල්පනා කරලා තමයි කියලා තියෙන්නේ සියලු පාර්ශ්ව එකතු වී විසඳුමක් ලබාදිය යුතු කියලා.
හැබැයි මල්වතු මහනාහිමි කියන්නේ ජනපති අගමැති එක් වී වැඩ කරගෙන යන්න කියලා. ඒ පණිවුඩයෙන් කියවෙන්නෙ පවතින ආණ්ඩුව ඒ ආකාරයට කරගෙන යන්න කියන දේ. හැබැයි රාමඤ්ඤ මහා නිකායේ මහා නාහිමි කියන්නේ ජනපති, අගමැති හා මහින්ද රාජපක්ෂ එකතු වී මේ අර්බුදය විසඳන්න කියලා.

මේ තුන්දෙනාටම ගේන්න පුළුවන් විසඳුම තමයි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ 52ත් ජනාධිපතිගේ 43ත් අගමැතිතුමාගේ 106ත් එකතු කරලා පාර්ලිමේන්තුවේ 150 සම්පූර්ණ කරලා පාර්ලිමේන්තුව විසුරුවා හැර තමන් කැමැති ආණ්ඩුවක් පත් කිරීමට ජනතාවට අවස්ථාව දීම. ජනතාවට අවශ්‍ය නම් ජනාධිපතිගෙ අගමැතිගෙ
පක්ෂවලට යළි බලය දෙන්න පුළුවන්. එදා 2015 ජනවාරි 8 වැනිදා අපි විවිධ තර්ක ගෙනත් දිනුවා කියන්න ගියේ නෑ. නිල ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන්න කලින් එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එකතු වී බල හුවමාරුව කතා කළා. නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ නිල ඡන්ද ප්‍රතිඵලය අවසන් කිරීමටත් පෙර උදෑසන මන්දිරයෙනුත් පිටවී අවසන්. මේ එතුමාගේ බලය අත්හැරීමේ පුරුද්ද. මේ පුරුද්ද ජනපතිටත් අගමැතිටත් තියෙනවා නම් මේ අර්බුදය මෙතරම් උත්සන්න වෙන්නෙ නෑ.

ශ්‍රී ලනිප මන්ත්‍රිවරු වක්‍රව කිව්වා රනිල් වික්‍රමසිංහ අගමැති ඉවත් කිරීමේ ක්‍රියාවලිය සාර්ථක නොවුණේ ඒකාබද්ධය ඇමැති ධුර භාර ගැනීම ප්‍රතික්ෂේප කළ නිසා කියලා. ඒක පට්ටපල් බොරුවක්. අපි ජනාධිපති හමු වී කිව්වා, මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කරනවා නම් අපි තනතුරු භාර ගැනීමට සූදානම් කියලා. ඒකට හේතුව අපි මේ පුංචි ඡන්දෙදිත් පාර්ලිමේන්තු ඡන්දෙදිත් ජනවරම ඉල්ලුවේ මහින්ද අගමැති කරවන්නයි. ඔහුව අගමැති කරන්න දෙවරක් ජනවරමක් ලබාගත්ත අපට, එතුමාව ගෙදර තියලා අපට ගිහින් ඇමැති ධුර භාරගන්න බැහැ. අපි ඇමැති ධුර භාරගත යුතු නම් මහින්ද අගමැති කළ යුතුයි.

රටට තියෙන ලොකුම තර්ජනය තමයි වර්තමාන අගමැතිවරයා. ඉතින් ආණ්ඩුවට සහාය දී හෝ වැඩි නපුර නැති කරන්න අඩු නපුරක් එකතු වීම ගැටලුවක් නෙවෙයි.
කොහොම වුණත් මට කියන්න තියෙන්නේ බුදුරාජාණන් වහන්සේ මේ දිනවල වැඩ සිටියා නම් මනී පුබ්භා ගමා ධම්මා, මනී පුබ්භා මනෝමයා, මනී සෙට්ඨා මනී මයා කියලා. මොකද අද ඒ තරමටම සියල්ලටම මුල්වෙලා තියෙන්නේ මුදල්. ඉතින් මන්ත්‍රිවරු මුදලට විකිණෙන්නට ඉඩ තියෙනවා. ඉතින් ඩොලරයේ අගය වගේම මන්ත්‍රිවරුන්ගේ අගයත් මේ දිනවල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. ඔබ අවධානයෙන් ඉන්න ඔබ පත්කරන නියෝජිතයන් විකිණෙනවාද නැද්ද කියලා.
පළාත් සභා මැතිවරණය පැවැත්වෙන්නෙ කවදද කියලා අපි අගමැතිගෙන් ඇහුවා. ඔහු දුන්නු පිළිතුරට අපි කිව්වේ වාචික පොරොන්දුවක් විදියට මදි නිසා හැන්සාඩ්ගත වෙන්න පාර්ලිමේන්තු සභා ගර්භයේදී මේ ගැන ප්‍රකාශ කරන්න කියලා.

අනේ මේ අගමැති උගුල ඇතුළට ඇවිදගෙන ගිහින් පාර්ලිමේන්තුවේදී කිව්වා 2018 මාර්තු 31 දිනට පෙර මැතිවරණය පවත්වනවා කියලා. ඒ 2017 සැප්තැම්බර් 20දා. මාර්තු 31ට තව දින 39යි. මැතිවරණය එදාට පැවැත්වීම කෙසේ වෙතත් එදිනට සීමා නිර්ණ වාර්තාවවත් සම්මත කරගත නොහැකි බවයි අපට පේන්නේ. මට නම් කියන්න තියෙන්නේ අගමැතිතුමනි ඔබතුමා පාර්ලිමේන්තුවේදී ජාතියට දුන් පොරොන්දුව ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි මට කියලයි.

හර්ෂනී අර්සකුලරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon